අගමැතිවරයා ප්‍රකාශ කළේ එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ගත් නිර්භිත පියවර නිසා ආසියාවට ඉදිරියට යන්න හැකි වූ බවයි.
දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ 111 වන ඡන්ම දිනය නිමිත්තෙන් පසුගියදා කොළඹ, ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ පැවති සැමරුම් උත්සවයේදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
මීට දශක තුනහමාරකට පමණ පෙර එනම් 70 ව දශකයේ ලෝකයේ ආර්ථික වශයෙන් බලවත්ම රාජ්‍යයන් ලෙස පැවතුණේ ඇමෙරිකාව සහ යුරෝපය පමණයි. ඇමෙරිකාව, කැනඩාව, එංගලන්තය ඇතුළු බටහිර යුරෝපය හා සෝවියට් දේශය ඊට අයත් වුණා. එකල අසියාවේ ආර්ථික බලවතා වූයේ ජපානය පමණයි. නමුත් ඉන්දියන් සාගරය ඇතුළු වෙනත් ප්‍රදේශයන්හි හමුදා බලය හිමි වූයේ ඇමෙරිකාවට සහ සෝවියට් දේශයට පමණයි.
බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයටත් මේ හමුදා බලය තිබුණා. එදා ජපානයට විශාල හමුදාවක් තිබුණේ නැහැ. ආර්ථික බලය, හමුදා බලය සහ ජාත්‍යන්තර බලය ආදී සියලූ බලතල හිමි වී තිබුණේ 19 වැනි ශත වර්ෂයේ සිට ඇරඹුණු යුරෝපයට හා 20 වෙනි ශත වර්ෂයේ බිහි වූ ඇමෙරිකා නැමැති බලවත් රාජ්‍යයටයි. නමුත් අද වන විට ආර්ථික බලය හිමිවී ඇත්තේ ආසියාවටයි. ජපානය පමණක් නොව චීනය, ඉන්දියාව, දකුණු කොරියාව හා අග්නිදිග ආසියාව වැනි රටවල් ගණනාවකට එම බලය ලැබී තිබෙනවා. ඒ වගේම චීනය, ඉන්දියාව හා ජපානය අද වන විට හමුදා බලයෙන් ඉතාමත් ශක්තිමත් වී සිටිනවා.
Price Waterhouse Cooper වාර්තාවේ සඳහන් කර තිබෙන පරිදි මෙම ශත වර්ෂයේ මැද භාගය වන විට ලෝකයේ ශක්තිමත්ම ප්‍රධාන රාජ්‍යයන් 4ක් අයත් වන්නේ ආසියාවට. එනම් චීනය, ඉන්දියාව, ජපානය සහ ඉන්දුනීසියාව. එහි පළවෙනි රටවල් 31 අතරට පකිස්ථානය, බංගලාදේශය සහ මැලේසියාව ඇතුලත් වන බවට අපේ බලාපොරොත්තුවක් තිබෙනවා. වර්තමානය වනවිට මේ ආකාරයට ආසියාව වෙනස් වෙමින් තිබෙනවා.
හමුදා බලය පිළිබඳව සඳහන් කරන විට අද බ්‍රිතාන්‍යයට හමුදා බලය අඩුවන අතර චීනය, ජපානය, සහ ඉන්දියාව තුළ හමුදා බලය සහ නාවික බලය වර්ධනය වී තිබෙනවා. එදා බ්‍රිතාන්‍යයේ නාවික බලය තුලින් ඉන්දියාව යටපත් කරගත්තා. නමුත් තව දශක එක හමාරක දී ඉන්දියාවේ නාවික බලය මීට වඩා ශක්තිමත් වෙනවා. ඉදිරියේදී ඉන්දියාවට යුද නෞකා 200 ක් සහ චීනයට යුද නෞකා 300 ක් හිමිවන බවට වාර්තා පෙන්නුම් කර දෙනවා.
අද වනවිට සෝවියට් දේශය ද බිදවැටී තිබෙනවා. නමුත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ආරම්භ කළ ආර්ථික විප්ලවයත් සමග අද ආසියාව බලවත් වී තිබෙනවා.
එදා අප රටේ අගමැතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1977 දී මේ රටේ විවෘත ආර්ථිකයක් ඇති කළ යුතු බවට ප්‍රකාශ කළා. එතුමා එම පියවර නොගත්තා නම් අද වන විට ආසියාවේ මෙවැනි දියුණුවක් තිබේදැයි කියා ප්‍රශ්න කරන්න වෙනවා. ආර්ථිකය පිළිබඳ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1970 වට පෙර කාලයේදී විපක්‍ෂයේ සිටින අවස්ථාවේදී විවිධ අය සමග වාද කළා. එහිදී ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සඳහන් කළේ විවෘත ආර්ථිකයකින් තොරව රටක් දියුණු කළ නොහැකි බවයි. ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව දෙස බැලීමේදී ඔවුන් යුරෝපය හා සමානව දියුණු වී තිබෙනවා. නමුත් අපි කොතන ද ඉන්නේ, ඒ වගේම ඉන්දියාව, චීනය, ඉන්දුනිසියාව දෙස බලන්න. එසේ නම් අපටද ලෝක ආර්ථිකය සමග එකතු වීමට යා යුතු එකම මාර්ගය වන්නේ විවෘත ආර්ථිකයයි.
ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1977 ජූලි මාසයේ අගමැති ලෙස පත්වීමෙන් පසු නොවැම්බර් මාසය වනවිට විවෘත ආර්ථිකය අප රටේ ආරම්භ කළා. එතැන් සිට එහි ප්‍රතිඵල පෙන්නුම් කළා.
එතුමා ආරම්භ කළ පළමු විදේශ ආයෝජනය වන ප්‍රීමා සමාගමට ඊයේ දිනය වනවිට වසර 40 ක් සපිරුණා. ඒ වගේම වෙළඳ කලාපය ආරම්භ කළා. මමත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් පසුගිය සිකුරාදා කටුනායක වෙළඳ කලාපයට ගියා. එහි ප්‍රතිඵල දක්නට ලැබුණා. මේ ආකාරයට එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ගත් නිර්භිත පියවර නිසා ආසියාවට ඉදිරියට යන්න හැකි වුණා.
ඉන් පසු චීනයේ විශාල දේශපාලන වෙනසක් සිදු වුණා. 1978 නියෝජ්‍ය අගමැති ලෙස යළි බලයට පත් වූ ඩෙන් ෂියාඕ පිං මැතිතුමාත් තමාගේ බලය තහවුරු කර ගත්තා. චීනය ඉදිරියට යා හැකි එකම මාර්ගය විවෘත ආර්ථිකය බව එතුමාත් හඳුනා ගත්තා. චීනය කොමියුනිස්ට් රටක්. එකවර විවෘත ආර්ථිකය ඇති කළ නොහැකි නිසා ක්‍රමානුකූලව එතුමා විවෘත ආර්ථිකය ක්‍රියාත්මක කළා. එහිදී ලෝකයේ අනෙක් රටවල ආර්ථිකය දෙසට ද අවධානය යොමු කළා. ඒ අනුව ලංකාවට කණ්ඩායමක් එව්වා. එදා ලංකාව විවෘත ආර්ථිකය තුළින් ගත් ප්‍රතිඵල දෙස බලා එතුමා බය නැතුව ඉදිරි පියවර තැබුවා. විදේශ ආයෝජන වෙනුවෙන් වෙළෙඳ කලාපද ආරම්භ කළා. අපි අක්කර 300 ක් 400 ක් යොදාගෙන කටුනායක වෙළඳ කලාපය ආරම්භ කරන විට ඩෙන් ෂියාඕ පිං මැතිතුමා වර්ග සැතපුම් 1000 ක් යොදා ගෙන ෂෙන්ඡෙං විශේෂ ආර්ථික කලාපය ආරම්භ කළා.
ලංකාව දෙස අනෙක් රටවල ද අවධානය යොමු වුණා. සමහර ඉන්දියානුවන් අපිව විවේචනය කළා. නමුත් නරසිංහරාඕ මැතිතුමා අගමැති වූ පසු ලංකාව හා චීනය ද විවෘත ආර්ථිකය නිසා දියුණු වී ඇති බව තේරුම් ගත්තා. ඒ වනවිට බංකොළොත් වී පැවැති ඉන්දියාව ඉන් මුදවා ගැනීමට නම් විවෘත ආර්ථිකයක් ඇති කළ යුතු බව එතුමා පැවසුවා. ඒ අනුව නරසිංහරාඕ මැතිතුමා ඉන්දියාවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නා.
ඒ වනවිට ලංකාවේ දියුණුව ගැන බොහෝ රටවල් කතා කළා. ලංකා විදේශ ආයෝජන තුළින් දියුණු වුණේ කෙසේද යන්න හඳුනා ගැනීමට යුද්ධයෙන් විනාශ වී තිබූ වියට්නාමයේ කර්මාන්ත ඇමැති 1991 ලංකාවට පැමිණියා.
මට ද එතුමා හමුවීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව වියට්නාමයද විවෘත ආර්ථිකයට යොමු වුණා. මා සඳහන් කළ චීනය, ඉන්දියාව, වියට්නාමය ආදී රටවල් සීඝ්‍රයෙන් දියුණු වෙන්න පටන් ගත්තා. වියට්නාමය බලවත් වීම පිළිබඳ අද බොහෝ දෙනා කථා කරනවා.
ඉන්දුනීසියාව, තායිලන්තය, සිංගප්පූරුව, දකුණු කොරියාව, මැලේසියාව ද සීඝ්‍රයෙන් දියුණු වූ රටවල්. අද චීන සමාගම් විසින් යුරෝපයේ, ඇමෙරිකාවේ සමාගම් මිලදී ගන්නවා. ඒ වගේම චීනය විසින් ඉන්දියාව හා වියට්නාමය තුළ ද ආයෝජනය කරනවා. එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ දුර දක්නා නිර්භීත තීරණ නිසා මේ දියුණුව සිදුව තිබෙනවා. එතුමා බිය නොවී හිතකර ආකාරයට රට වෙනුවෙන් ක්‍රියා කළ යතු බව පැවසුවා. එතුමා බලයට පැමිණි වසර 2ක් අවසන් වනවිට රට වෙනුවෙන් ගත යුතු සියලූ තීරණ ගත්තා.
අපට රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයාමට හැකි වූයේ එම තීරණ නිසයි. එතුමා කිසිවිටෙක පසුබට වූයේ නෑ. අනාගතය ගැන හොඳ දැක්මක් තිබුණා. මෙම ශත වර්ෂයේ විවෘත ආර්ථිකයක් ඇති කරන්න කියලා එදා එතුමා අපට පැවසුවා. එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එසේ පැවසූ විට "මේ තියෙන්නේ ආයෝජන කලාප නොව ටේලර් සාප්පු" කියලා සමහර අය විවේචන එල්ල කළා. ඉතිං ලංකාව අද වනවිට ඇඟළුම් ක්ෂේත්‍රයේ විශේෂ තරගකාරීත්වයක් ලබාගෙන තිබෙනවා. මෙහි අත්දැකීම ලැබුණේ 1943 සිට පැමිණි දේශපාලන ගමන නිසයි.
අප රටේ ආර්ථිකය වෙනුවෙන් සාර්ථක ක්‍රමවේදයක් ඇති කිරීමට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට අවශ්‍ය වුණා. එම දියුණුව විවෘත ආර්ථිකයකට හෝ වෙළෙඳ කලාපයට සීමා කළේ නැහැ. ඊට සමගාමීව මහවැලි ව්‍යාපාරය ද ආරම්භ කළා. සිංහල රජකාලයේ තැනූ වැව් සියල්ලටම වඩා එතුමා ගොඩනැගූ වැව් විශාලත්වයෙන් සහ ජල ධාරිතාවයෙන් වැඩියි. එමගින් විදුලි බලය ලබාගෙන රට සංවර්ධනය කළ අතර, එම ජලයෙන් වී ගොවිතැන දියුණු කර අපේ රට සහලින් ස්වයං පෝෂිත කිරීමට ක්‍රියා කළා. එදා ලබාගත් විදුලියෙන් රටේ සංවර්ධනයට විශාල බලපෑමක් වුණා. මේ අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ද ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පියවර ගත්තා.
ත්‍රස්තවාදය අහිතකර ලෙස අපේ රටට බලපෑවා. නමුත් අවසානයේදී ඉන්දියාව ද මිත්‍ර කර ගැනීමට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට හැකියාව ලැබුණා. ඒ යුගය ලංකා ඉතිහාසයේ වැදගත් කාලයක් ලෙස හැදින්වීමට පුළුවන්.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තීරණ ගැනීම සඳහා බිය වුණේ නැහැ. එතුමා ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් විවෘත ආර්ථිකය කලාපයේ අනෙක් රටවල් ද අනුගමනය කළා. අද පවතින ආසියාව බිහි වුණේ එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ගත් තීරණ නිසයි. යුද්ධය නිසා අප රටට සමහර දෑ ළඟා කරගැනීමට නොහැකි වූ නමුත් ආසියාවේ කෝටි ගණනක ජනතාවගේ ජීවිත ගොඩනැගීමට හැකි වුණා. ඒ ජනතාව දුප්පත් කමින් මුදාගෙන තිබෙනවා.
මේ ගමන ආරම්භ කිරීමට මූලිකවූ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සිහිපත් කිරීමට අද අපි මෙසේ එක්රැස්වී සිටිනවා. මේ අතර කනගාටුවෙන් මතක් කළ යුතු දෙයක් තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ පුතණුවන් වන රවී ජයවර්ධන මැතිතුමා මේ වසරේදී අප අතරින් වෙන් වුණා. මීට පෙර එතුමා මෙවැනි අවස්ථාවලට සහභාගී වුණා. ඒ වගේම පියා වෙනුවෙන් වැඩ කටයුතු කළා. ඒ නිසා අද අපි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සහ රවී ජයවර්ධන මැතිතුමා ද ගෞරවයෙන් සිහිපත් කරනවා.