අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවයකයා සිය සේවය රටත්, ජනතාවත් වෙනුවෙන් කැප කළ යුතුයි - ජනාධිපති

    අගෝස්තු 19, 2017
    රාජ්‍ය සේවයේ යම් අංශයක් ජනතා විරෝධයට සහ අප‍්‍රසාදයට ලක්වන්නේ නම් ඒ පිළිබඳ ව එම අංශවල ප‍්‍රධානීන් වගකිව යුතු බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේය. එමෙන්ම තම හෘදසාක්ෂියට අනුව අවංකව සහ කැපවීමෙන් සේවය කරන සියලු නිලධාරින් වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මහවැලි ජනපදිකයින් වෙත ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ වික්ටෝරියා සහ කොත්මලේ කලාපවල ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු ලබාදීම වෙනුවෙන් ඊයේ (18) පස්වරුවේ දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණ පරිශ‍්‍රයේදී පැවති උත්සවය අමතමිනි.
     
    රාජ්‍ය සේවයේ ඉඩම් අංශයේ කටයුතු පිළිබඳ දීර්ඝ කාලයක් පුරා මෙරට ජනතාව තුළ ඇත්තේ අපැහැදීමක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා මෙම අමිහිරි අත්දැකීම් ආදර්ශයට ගනිමින් කොතැනක හෝ සිදුවන වරද නිවැරදි කර ගනිමින් අද දවසේ කාර්යය සේම හෙට දවසේ සිය මහජන සේවාව නිසි ලෙස ඉටුකිරීමට එම සියලු නිලධාරින් කැපවිය යුතු බවද අවධාරණය කළේය.
     
    ඉඩමක උරුමය තම ජීවිතය මෙන්ම පරම්පරාවක උරුමයක් පිළිබඳ ප‍්‍රශ්නයක් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා එම උරුමය තහවුරු කිරීමට කටයුතු කිරීම රටේ පුරවැසියන් වෙනුවෙන් ඉටු කරන පරම යුතුකමක් බව ද කියා සිටියේය.
     
    රජයේ කටයුතු කරගෙනයාමේදී විවිධ චෝදනා සහ විරෝධතා එල්ලවන අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ලක්ෂණයක් බවත් රට තුළ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොමැති නම් එවැනි විරෝධතා ද ඇති නොවන බවත් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    රටේ ජනතාව තමන්ගේ අයිතීන් ඉල්ලා සිටීමට මෙන්ම දේශපාලනඥයින් තමන්ගේ දේශපාලන මතය ඉදිරිපත් කිරීමට ද බිය වූ යුගයක් අවසන් කර රට තුළ තහවුරු කර තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් නිසි ලෙස භුක්ති විඳිමින් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම සියලුදෙනාගේ වගකීම බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.
     
    මහවැලි ජනපදිකයින් දිගුකලක් තිස්සේ මුහුණ පා සිටින ගැටලුවකට විසඳුම් ලබාදෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි මෙම ඉඩම් ඔප්පු ප‍්‍රදානය සිදු කෙරේ. පසුගිය වසර පුරා සාර්ථකව ඉදිරියට පැමිණි එම වැඩසටහන මේ වන විට සියයට 85 ක් සම්පූර්ණ කර තිබෙන අතර ඉතිරි කටයුතු ද කඩිනමින් අවසන් කිරීම රජයේ අපේක්ෂාවයි.
     
    වික්ටෝරියා සහ කොත්මලේ කලාපවල මහවැලි ගොවීන් එක්දහස් තුන්සීය දෙදෙනෙකු වෙනුවෙන් මෙහිදී ඉඩම් ඔප්පු පිරිනැමුණු අතර එය සංකේතවත් කරමින් සිය දෙනෙකු වෙත ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය. පූජා ඔප්පු 06 ක් ද පිරිනැමිණි.
     
    මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී අනුනායක ස්වාමින්වහන්සේ, රාමඤ්ඤ මහනිකායේ ලේඛකාධිකාරී පූජ්‍ය අංකුඹුරේ පේමවංශ ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන්වන ලක්ෂ්මන් කිරිඇල්ල, එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න යන මහත්වරුන් ද මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු මධ්‍යම පළාත් සභාවේ මැති ඇමතිවරුන් මෙන්ම මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya