අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020,2025 වනවිට සම්පූර්ණයෙන්ම ණය ගෙවා අවසන් කරනවා- අගමැති

    ජූලි 23, 2017

    පවතින ගැටලු සඳහා මූලික විසඳුම් ලබාදී පසුව සංවර්ධන කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් 2020, 2025 වනවිට සම්පූර්ණයෙන්ම ණය ගෙවා අවසන් කර ණය ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නැති කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

    කොළඹ, අරලියගහ මන්දිරයේදී ඊයේ (22) බියගමින් දේශපාලන ගමන අරඹා වසර 40 ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට උරදුන් බියගම එජාප බලමණ්ඩල සාමාජික සාමාජිකාවන් සමඟ පැවැත්වූ සහෘද සම්භාෂණය හා දිවා භෝජන සංග්‍රහයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

    එම සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.


    "1977 වසරේ ජුලි 22 වැනි දා අලුයම වැඩි ඡන්ද 6700 ක් ලැබූ මා බියගම පළමුවෙනි මන්ත්‍රීවරයා ලෙස තේරීපත් වී මගේ දේශපාලන ගමන ආරම්භ කළා. එදා තේරීපත්වූ අය අතර වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්නේ මාහැර විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මැතිතුමාත්, ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමාත් පමණයි. මා පමණක් අඛණ්ඩව පාර්ලිමේන්තුව වසර 40 ක් නියෝජනය කර තිබෙනවා. එම නිසා පළමු වෙන්ම මගේ දේශපාලන ගමන ඇරැඹිමට උපකාර කළ අද ජීවතුන් අතර සිටින ඔබ සියලූදෙනා මුණගැසෙන්නට මට අවස්ථාවක් ලැබී තිබෙනවා. මට මහත් සේ උපකාර කළ ඔබ සැමට ස්තූතිවන්ත වීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

    මාගේ මෙම ගමන සඳහා මා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ට දෙයාකාරයකින් ණයගැතියි. පළමුවැන්න නම් මා තරඟකාරී දේශපාලනයට ඇදගැනීමයි. දෙවැන්න නම් ජේ.ආර්. ජයවර්ධන මහතා කළ විප්ලවයේ කොටස්කරුවෙකුවීමට මට අවස්ථාව දීමයි. එමෙන්ම මා මෙහිදී ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමන්ට ස්තූතිය පුද කනරවා. එතුමාත්, මට එම විප්ලවය ඉදිරියට ගෙන යාම සඳහා අවස්ථාව ලබාදුන්නා. මට ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් විජේතුංග මැතිතුමන්ටත් ස්තූතිය පුද කරනවා.

    මගේ ගමනට උදව් කළ එහෙත් වර්තමානයේ ජීවතුන් අතර නැති බොහෝ පිරිසක් සිටිනවා. මගේ මව්පියන්, පෝල් පෙරේරා මැතිතුමා, පක්‍ෂයේ හිටපු සභාපති එන්.ජී.පී. පණ්ඩිතරත්න මැතිතුමා, එමෙන්ම මට උදව් උපකාර කොට මා බියගමට ගිය විට කැලණිය ආසනය භාරගෙන තරග කළ සිරිල් මැතිතුමා මෙහිදී සිහිපත් වනවා. එමෙන්ම සුරනිමල රාජපක්‍ෂ මැතිතුමා මිය යනතුරුම මා සමග සිටියා. සීමන් බාලසිංහ, මට කාර්යාලය ලබාදුන් ලයනල් විජේසිංහ, ඊට පෙර මට කාර්යාලය ලබාදී මෙහි පැමිණීමට උපකාර කළ එස්.ඒ. පෙරේරා, කේ.ඩී. ඩැනියල් මහත්වරුන් ප්‍රමුඛ විශාල සංඛ්‍යාවක් මට සිහිපත් වනවා. ඒ සියලුම දෙනාගේ නම් මෙහිදී සඳහන් කිරීමට අපහසුයි. නමුත් නම් කී නොකී සියලූම දෙනාට මා ස්තූතිවන්ත වනවා.

    මගේ ගමනේ ඇරැඹුමේ සිට මා සමඟ වැඩ කළ බොහෝ පිරිසක් අද මෙතැන සිටිනවා. ඇන්ඩෲ සිල්වා, ජගත් කරුණාරත්න, හෙන්ඬි ගුණසේකර, සුනිල් ගුණසේකර, ෂෙල්ටන් සෙබෙස්තියන් ආදී විශාල පිරිසක් සිටිනවා. මා කැලණියේ සංවිධායක වූදා පටන් ඔවුන් මා සමග මේ ගමනට එක්වුණා. වල්ගම, මල්වාන, උඩුපිල, කදුබොඩ, දෙල්ගොඩ ආදී ප්‍රදේශවල සියලූම දෙනා එක කණ්ඩායමක් ලෙස සිතා ඉදිරියට ගියා. එකළ ඡන්ද සමයේ මට උපකාර කළ අය අද මෙහි සිටිනවා. ඒ සියලූම දෙනාට මම යළිත් ස්තූතිය පළ කරනවා.
    මා බියගම සංවිධායකවරයා ලෙස කටයුතු කළ සමයේ එක්සත් ජාතික පක්‍ෂ බලමණ්ඩලයේ ලේකම් වන ඇන්ඩෲ සමරතුංග මැතිතුමා මට කතා කොට මෙම උත්සවයට පැමිණීමට බොහෝ සතුටින් සිටින බවත්, අසනීප තත්ත්වය නිසා පැමිණිය නොහැකි බවත්, දැනුම් දුන්නා.  මා සමඟ එකට ඡන්ද වැඩ කළ ටියුඩර් ගුණසේකර මැතිතුමාත්, සරත් චන්ද්‍රරාජකරුණා මැතිතුමාත් මා මෙහිදී සිහිපත් කරනවා. ගම්පහ චන්ද්‍රා ජයකොඩි මැතිතුමාත් මට මතක් වෙනවා. ඔවුන් පිළිබඳව සඳහන් කොට මට විරුද්ධව මැතිවරණයට ඉදිරිපත් වූ ඩේවිඩ් හපන්ගම සභාපතිතුමා ගැනත් සඳහන් කළ යුතුම වෙනවා.
     
    කෙසේ හෝ අපි අපේ ගමන ආරම්භ කළා. බියගම ආසනය ජයග්‍රහණය කරා මෙහෙයවූවා. වසර 40 ක් දේශපාලනයේ ඉදීවියැයි මා සිතුවේ නැහැ. ඔබ සමග එක්ව බියගම විශාල සංවර්ධනයකට ගෙන යාමට මට අවස්ථාව ලැබුණා. එයින් මට විශාල අත්දැකීමක් ලැබුණා. පළමු වසර දෙකේදී මා බැණුම් ඇහුව්වා. කරන්නේ මොනවාදැයි ඇසුවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මහවැලි ව්‍යාපාරය ආරම්භ කළා. කටුනායක වෙළෙඳ කලාපය ආරම්භ කළා. ඔබ කරන්නේ මොනවාදැයි ජේ.ආර් ජයවර්ධන මැතිතුමා මගෙන් ඇසුවා. අපි සියලූදෙනා එක්ව බියගම දියුණු කිරීමට සැලැස්මක් හැඳුවේ ඒ යුගයේදීයි. එය මට අදත් හොඳ අත්දැකීමක්. දැනුත් මට ඇතැමුන් බනිනවා. වසර දෙකක් කළේ මොනවාද? පොරොන්දු ඉටු නොකළේ ඇයි දැයි අහනවා.

    එදා අපට විශාල අභියෝගයකට මුහුණදීමට තිබුණා. එදා ගම්පහ දිස්ත්‍රික්කයෙන් නොදියුණුම පළාතක් ලෙස බියගම ප්‍රදේශය පැවතුණා. යන්න පාරක් නැහැ. මේ පළාතේ දියුණුව වෙනුවෙන් කරන්නේ කුමක්දැයි අප ඇන්ඩෲ සිල්වා, ඩැනියල්, සීමන්, ලයනල් ආදී කණ්ඩායමක් සමග සාකච්ඡා කළා.

    බියගම විවෘත ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කොට වෙළෙඳ කලාපයක් ඇති කර ඉදිරියට යාමට සූදානම් බව මා එහිදී පැවසුවා. එම අභියෝගය භාරගැනීමට මා කැමැති වුණා. මා හීන දකිනවා යැයි එදා බොහෝ අය සිතුවා. නමුත් අපි සිතූ පරිදි ඒ වැඩකටයුතු කළා. අප වෙළෙඳ කලාපය ඉදිකිරීමට ස්ථානයක් සොයාගත්තා.

    වෙළෙඳ කලාප ඉදිකරන්නට පෙර බියගම පැවැතියේ කෙසේදැයි මට මතක් වෙනවා. ගෝනි සේදීමේ කර්මාන්තයක් එහි තිබුණා. තවත් සමහරුන් බීඩි එතුවා. කසිප්පු පෙරුවා. ඒ සමගම තෙල් පිරිපහදුවක් පමණක් තිබුණා. ඒ තත්ත්වය වෙනස් කිරීමට මට අවශ්‍ය වුණා. වර්තමානයේදී කර්මාන්තශාලා සියයකට වඩා තිබෙනවා. කොකා කෝලා කම්හල තිබෙනවා. බීර නිෂ්පාදනය කරනවා. නොයෙක් ආකාරයේ කර්මාන්ත ශාලා තිබෙනවා. අපගේ දියුණුවේ ප්‍රතිඵලයක් ලෙස බියගම තත්ත්වය මෙලෙස නවීකරණයට පත්වී තිබෙන බව කිව යුතුයි.
     
    වෙළෙඳ කලාප සමග එදා මාර්ගයක් තිබුණේ සපුගස්කන්ද වනතුරු පමණයි. එතැන් සිට සමෘද්ධි මාවත ඉදිකළා. කඩුවෙලින් පාලම ඉදිකළා. බැලුම්මහර දක්වා මාර්ගය හැඳුවා. මහවැලියේ විදුලි බලය බෙදන කේන්ද්‍රස්ථානය හෙයියන් තුඩුවේ ඉදිකර, ඩීසල් විදුලි බලාගාරය සපුගස් කන්දේ ඉදිකළා. බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කළා. එමෙන්ම බියගම වෙළෙඳ කලාපය ආරම්භ කළා. ඒ අනුව එම ප්‍රදේශයේ දියුණුව ආරම්භ වුණා. සපුගස්කන්ද අලූත් නගරයක් බවට පත් කළා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සපුගස්කන්ද ගෙනාවා. සපුගස්කන්දේ පොලිස් ස්ථානයක් ඉදිකළා. බියගම වෙනුවෙන් වල්ගම අලූත් පොලිස් ස්ථානයක් ඉදිකළා. හැම ගමකටම, හැම පාරකටම විදුලි බලය ලබාදුන්නා. මාබිම කන්දේ සිට ජල නල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළා. දුරකථන පහසුකම් දීමට පටන් ගත්තත් එය අවසන් කර ගැනීමට බැරි වුණා. ඒ මගේ වරදක් නිසා නොවේ. ඊට පෙර මෙරටට ජංගම දුරකථන පැමිණියා. ඊටපසු කාගෙත් අතේ ජංගම දුරකථන තිබුණා. ඉන්අනතුරුව සපුගස්කන්දේ ලින්ඩන් වෙළෙඳ කලාපය ආරම්භ කළා. බියගම කර්මාන්ත සඳහා වෙන් කළා. සමෘද්ධි මාවතේ සියඹලාපේ ප්‍රදේශය කර්මාන්ත සඳහා වෙන් කළා.
     
    සංවර්ධනය කිරීමට නොහැකි යැයි බොහෝ දෙනා පැවසු කඩවත නගරය සංවර්ධනය කළා. ගම්පහට නව වෙළෙඳපොළක් ලබා දුන්නා. මම කඩවත නගරය අලුතින් සංවර්ධනය කළහොත් දිවි නසා ගන්නවායැයි ඇතමෙකු ප්‍රකාශ කළා මට මතකයි.  නමුත් ඔවුන් දිවිනසා ගත්තේ නම් නැහැ සංවර්ධනය වූ කඩවත නගරයෙන්ම ඔවුන් මුදල් උපයාගත්තා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා ලෙස ඊළඟ පියවරත් ආරම්භ කරමින් මධ්‍යම අධිවේගී මාර්ගය කඩවතින් ආරම්භ කිරීමට මට හැකියාව ලැබුණා.

    එම කඩවත අධිවේගී මාර්ගයේ පළමු අදියර චීන සමාගමක් හරහාත්, දෙවන අදියර ශ්‍රී ලංකාවේ සමාගමක් හරහාත් තුන්වන අදියර ජපන් සමාගම් හරහාත් 2020 වන විට සාදා නිමකරනවා. එවිට කඩවත ඉඩකඩම් හිමි අයට පරම්පරා ගණනක් රැක බලාගැනීමට හැකි වන මට්ටමට නගරය දියුණු වනවා.


    එකළ රු. 50 ක් රු. 100 ක් වටිනා ඉඩම් අද කොතරම් මුදලකට අලෙවි වනවාද? අපි පාසැල් දියුණු කිරීමට කටයුතු කළා. එවකට සුරනිමල රාජපක්‍ෂ ඇමැතිතුමා විශාකා විද්‍යාලය ඇති කළා. රෝහල් ‍‍ක්ෂේත්‍රය දියුණු කළා. තරුණ සේවා සභාව හෙයියන් තුඩුවට රැගෙන ගියා. බියගම ආර්ථිකය ආරක්‍ෂා කිරීමට රන්මුතුගල කමල් ජයකොඩි මැතිතුමාගේ පියාගේ ඉඩමේ එස්.ටී.එෆ් මූලස්ථානය ඇති කළා. පොලිස් ස්ථාන දෙකක් ද මෙම ප්‍රදේශයට ලබාදුන්නා. නිවාස ඉදිකර දුන්නා. ගම්පහ දියුණු කිරීමට අප නොකළ දෙයක් නැහැ. තවමත් ඉතිරිව තිබෙන්නේ රෝහල සාදාදීම පමණයි. අප එයත් සාදා දීමට කටයුතු කරනවා.

    මේ ප්‍රදේශය දියුණු කිරීම සඳහා කළ වැඩකොටසේදී මට විශාල අත්දැකීමක් ලැබුණා. එම අත්දැකීම් හරහා කර්මාන්ත ඇමැතිවරයා ලෙස සීතාවක, කොග්ගල, පල්ලේකැලේ ආදී වෙළෙඳ කලාප ඇති කිරීමට හැකියාව ලැබුණා. නමුත් 1994 මහ මැතිවරණයෙන් පසුව ප්‍රේමදාස ජනාධිපතිතුමා ගේ ඝාතනයෙන් පසුව ඉන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්‍ෂයේ බළ කොටුව වන මා පදිංචිව සිටි කොළඹ දිස්ත්‍රික්කයට පැමිණ තරග කිරීමට මට සිදු වුණා. සුරනිමල රාජපක්‍ෂ මැතිතුමාට බියගම ආසනය භාරදී මම කොළඹ දිස්ත්‍රික්කයට පැමිණියා. එතුමාගේ අනතුරුව බියගම ආසනය රුවන් විජේවර්ධන මහතාට භාර ගෙන තිබෙනවා. කැලණිය ආසනයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත් කර තිබෙනවා.

    මට උදව් උපකාර කළ කැලණිය විජිත මහා නායක ස්වාමීන් වහන්සේ, බොල්ලෑගල නායක ස්වාමීන් වහන්සේ ඇතුළු බොහෝ දෙනෙක්ද මම මේ අවස්ථාවේදී සිහිකළ යුතුයි. එදා මාත් සමග කටයුතු කළ ස්වාමීන් වහන්සේලා අතුරින් අද ජීවත්ව සිටින්නේ ගොළුමහර නායක ස්වාමීන් වහන්සේ සහ ගංගාරාමයේ නායක ස්වාමීන් වහන්සේයි පමණයි. අපි දීර්ඝ ගමනක් පැමිණියා. අද මම මෙතැනට පැමිණියේ එම ගමනට දායක වූ ඔබට ස්තූති කිරීමට.


    ඒ වාගේම මට විශාල අත්දැකීමක් ලැබුණා. ඒ හරහායි අද මම රටේ අගමැතිවරයා ලෙස ක්‍රියා කරන්නේ. පළමු වසර දෙක තුළ මට පැවරී තිබෙන්නේ රටට හානිවූ සියලුදේ ගොඩනැගීමටයි. අපට ලැබුණේ ණයබරින් මිරිකුණු ආර්ථිකයක්. එදා ණය ගෙවීමට හැකියාවක් තිබුණේ නැහැ. අද කෙසේ හෝ ණය ගෙවමින් අප ඉදිරියට යනවා. 2020, 2025 වනවිට අප සම්පූර්ණයෙන්ම ණය ගෙවා අවසන් කර ණය ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නැති කරන බව මම මේ අවස්ථාවේදී කියන්න කැමැතියි. පවතින ගැටළුවලට මූලික විසඳුම් ලබාදී පසුව සංවර්ධන කටයුතු සිදුකිරීමටයි අප බලාපොරොත්තු වන්නේ.

    ඒ වගේම අප මේ වන විට කුණුකන්දේ අර්බුදයත් විසදා අවසන්. නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ද අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. නොදියුණු බියගම ප්‍රදේශය ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානම නගරයක් කිරීමට අපට හැකි වුණා. ඒ වගේම දළුගම, මාකොළ, සපුගස්කන්ද, කඩවත ආදියත් විශාල නගර බවට පත් කළ හැකියි. එදා මෙම ප්‍රදේශය දියුණු කරමින් කර්මාන්ත කලාපයක් ද අප ඇති කර තිබෙනවා. ඒවගේම මධ්‍යම අධිවේගී මාර්ගයේ එහා කෙළවරේ පිහිටා තිබෙන මහනුවර නගරය සංවර්ධනය කිරීමේ සැලසුම් සහිතව අප ඉදිරියට යනවා. මහා මාර්ග සෑදීම සඳහා අවශ්‍ය නව තාක්‍ෂණය අප ගෙන එනවා.
     
    කුරුණෑගල, බිංගිරිය, ඉරණවිල ප්‍රදේශයන්හි සංචාරක හා කර්මාන්ත කලාප ඇති කිරීම සම්බන්ධව ද මේ වන විට අප සාකච්ඡා සිදු කරමින් පවතිනවා. බස්නාහිර සංවර්ධන හා මහානගර අමාත්‍යංශය හරහා කොළඹ ඇති කරන දියුණුව තවත් අවුරුදු දෙකකින් පමණ අපට දැක බලාගැනීමට හැකි වනවා. ඒවගේම කළුතර තවත් කර්මාන්ත කලාපයක් ඇති කිරීම සඳහා මලික් සමරවික්‍රම ඇමැතිතුමාගේ අමාත්‍යංශය සමග සාකච්ඡා කරමින් සිටිනවා.

    හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුමට අගෝස්තු මාසය වන විට අත්සන් කරමින් මත්තල ගුවන් තොටුපොළත් මේ වසර අවසන්වීමට පෙර නව ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කරන බවත්, මම මේ අවස්ථාවේදී කියන්න කැමැතියි. ඒ සම්බන්ධව ඇති විවිධ ගැටළු විසදාගැනීමට මහින්ද සමරසිංහ, නිමල් සිරිපාල ඇමැතිවරුන් කටයුතු කරනවා. ගාල්ල දිස්ත්‍රික්කය ඇතුළුව සමස්ත දකුණු ප්‍රදේශයේම අක්කර 3000 ක් පමණ භූමි ප්‍රදේශ අප සංචාරක කර්මාන්තයට වෙන්කර තිබෙනවා. එය දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා යටතේ ක්‍රියාත්මක වනවා. මෙම සංවර්ධන වැඩකටයුතු අප ඉදිරියට ගෙනයාමට බලාපොරොත්තු වනවා. මෙම පදනම සකස් කිරීමට වසර දෙකක් පමණ ගත වුණා. එම පදනම ගොඩනගා ගත් විට රට දියුණු කිරීමට අපට හැකියාව තිබෙනවා.
    නැගෙනහිර සංවර්ධනයේ විශාල වැඩකොටසක් අපට සිදු කිරීමට තිබෙනවා. පිබිඳුණු පොළොන්නරුව, රජරට සංවර්ධන වැඩසටහන ආදිය ජනාධිපතිතුමා යටතේ ක්‍රියාත්මක වනවා. මොරගහකන්ද, මල්වතු ඔය, ආදී වැඩසටහන් රාශියක් ද මේ වන විට ආරම්භ කර තිබෙනවා. අපට ඉතා හොදින් සහයෝගය ලබාදෙන බදුල්ල දිස්ත්‍රික්කයේ උමාඔය ව්‍යාපෘති හේතුවෙන් ඇති වී ඇති අර්බුදය විසදා දෙමින් එම ප්‍රදේශයත් සංවර්ධනය කිරීමට අප බලාපොරොත්තු වනවා. බදුල්ල ප්‍රදේශයත් අපි අමතක කර නැහැ.
    යුද්ධයෙන් විනාශ වූ උතුරු නැගෙනහිර ප්‍රදේශත් දියුණු කිරීම සඳහා සංචාරක ව්‍යාපාරය ඇතුළු වැඩසටහන් රාශියක් අප සතුයි. ත්‍රිකුණාමල නගරය ද දියුණු කිරීමට අවශ්‍ය වැඩසටහන් සැලසුම් කර තිබෙනවා. මේ සියලූදේ සඳහා අවශ්‍ය අත්දැකීම් ලැබුණේ බියගමින් ලද පදනම නිසායි.
    1977 විප්ලවය වැනි තවත් විප්ලවයක් අපි සිදු කළා. එනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පළමු වතාවට අපි ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමයි. 1977 දී අපට හයෙන් පහක බලයක් ලැබී තිබුණා. අද රටේ සංවර්ධනයට අපි සියලු දෙනාම එකතුවී එක මතයක් නිර්මාණය කරමින් සිටිනවා. මැතිවරණ සඳහා අපට තනිව ඉදිරිපත් විය නොහැකියි. නමුත් ජාතික ආණ්ඩුවක් ඇති කිරීම හරහා අප සිදු කළේ විශාල විප්ලවයක්. ජාතික ආණ්ඩුවේ වැදගත් කම තිබෙන්නේ එතැනයි.
     
    එසේ නම් මේ වසර දෙක තුළ ආර්ථිකය ගොඩනගන අතරම, අපි මාධ්‍යයට සම්පූර්ණ නිදහස ද ලබාදී තිබෙනවා. දේශපාලන නිදහස ද සම්පූර්ණයෙන්ම ලබාදී තිබෙනවා. ජාත්‍යන්තර සහයෝගය මේ වන විට අපට ලැබෙනවා. නව ව්‍යවස්ථාවක් පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටිනවා. මේ සියලූ කාර්යයන් සඳහා අවශ්‍ය ශක්තිය මට ලැබුණේ බියගමින් ලද පන්නරය මතයි. අධ්‍යාපන ඇමැතිවරයා වීමෙන් මට ඉතා විශාල පළපුරුද්දක් ලැබුණා. අද අපේ රජයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කරියවසම් මැතිතුමා යටතේ අපි අවුරුදු 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කර තිබෙනවා. අප මෙවැනි වැඩකටයුතු දැන් ආරම්භ කර අවසන්.


    මේ ආකාරයට රටේ සංවර්ධනයට අවශ්‍ය මූලික අඩිතාලම සැකසීමට වසර දෙකක් ගත වුණා. දැන් අපට ඉදිරියට යා හැකියි. එම ගමනට එකතු වන ලෙස සියලූදෙනාගෙන්ම මා ඉල්ලා සිටිනවා. මගේ දේශපාලන ගමන තුළ මට උදව් උපකාර කළ සියලූදෙනාටම මම ස්තූතිවන්ත වනවා.
     
    එදා දේශපාලන වැඩකටයුතු වලදී මා සමග සිටි මිත්‍රයන් බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර නැහැ. ගාමිණි අතුකෝරාළ, ගාමිණී දිසානායක, මාත් සමග එකට වැඩකටයුතු කරමින් පසුව පක්‍ෂයෙන් ඈත්වී ගිය ලලිත් ඇතුලත්මුදලි, වීරසිංහ මල්ලිමාරච්චි ආදී බොහෝ දෙනා දැන් ජීවතුන් අතරනැහැ.
     
    අපි මේ රට සංවර්ධනය කරන්නේ තරුණ පරම්පරාව වෙනුවෙන් එදා අපි බියගම සංවර්ධනය කළේ තරුණ පරම්පරාව වෙනුවෙන්. දැන් අපට ආර්ථිකය සංවර්ධනය කරමින් ඉදිරියට යාමට හැකිවී තිබෙනවා. එසේ නම් තරුණ පරපුරට ජීවත් විය හැකි රටක් අප නිර්මාණය කරමු. "

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya