මාර්තු 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූල්‍ය කළමනාකරණයේදී තිබිය යුතු පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බව ජනපති පවසයි

    ජූලි 17, 2017

    මූල්‍ය කළමනාකරණයේදී තිබිය යුතු පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය ආරක්ෂා කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (17) කොළඹදී ආරම්භ කෙරුණු මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපපීය කණ්ඩායමේ 20 වන වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය අමතමිනි.

    සාමාජික රටවල් 41 ක් සහ විවිධ අන්තර්ජාතික නිරික්ෂණ සංවිධාන රැසක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව අද සිට ජූලි 21 වනදා දක්වා කොළඹදී පැවැත්වෙයි.

    මෙහි සමාරම්භක අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සෑම රටක්ම මුහුණ දී තිබෙන අභියෝග ජය ගැනීමට නම් ඒ පිළිබඳ ජාතික සහ අන්තර්ජාතික වශයෙන් ඇතිකරගන්නා වූ බැඳීම්, එකඟතාවන් සහ ප‍්‍රඥප්තීන් නිසි අයුරින් කි‍්‍රයාත්මක කිරීමට සියලු රටවල් අවංකව කැපවිය යුතු බවයි.

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීම මගින් සෑම රටකම ජාතික ආර්ථිකය ශක්තිමත් වනවා සේම, අන්තර්ජාතික වශයෙන් ද මූල්‍ය කළමනාකරණයේදී එය ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    රාජ්‍ය මුදල් අවභාවිතය සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ කි‍්‍රයාත්මකවීම සඳහා ශී‍්‍ර ලංකා රජය ශක්තිමත් ව්‍යවස්ථාපිත හා නීතිමය ආයතන පිහිටුවා තිබෙන අතර ඒවා මේ වන විට ඉතා කාර්යක්ෂමව සහ සාර්ථකව කි‍්‍රයාත්මක වන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    මුදල් විශුද්ධිකරණය හරහා ත‍්‍රස්තවාදී සංවිධාන සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත විශාල වශයෙන් මුදල් ඇදී යන බව පෙන්වාදුන් ජනාධිපතිතුමා ජාතික වශයෙන් සේම අන්තර්ජාතික වශයෙන් ත‍්‍රස්තවාදයට දැඩි ලෙස විරුද්ධව කටයුතු කරන රජයක් ලෙස මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ වැදගත්කම මැනවින් හඳුනාගෙන සිටින බව පැවසීය.

    මුදල් විශුද්ධිකරණය පිළිබඳ ජාත්‍යන්තරව ඇතිකරගෙන තිබෙන එකඟතාවයන්, ප‍්‍රඥප්තීන් සහ ගිවිසුම් සඳහා අනුගතවෙමින් ඒවා නිසිලෙස කි‍්‍රයාත්මක කිරීමට ගත හැකි සෑම පියවරක්ම රජය ගන්නා බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

    මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම සිය සාමාජික රටවල මුදල් විශුද්ධිකරණය සහ ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිණිස ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මූල්‍ය කාර්ය සාධන බලකායේ නිර්දේශ 40 ක‍්‍රමවත් අයුරින් ස්ථාපනය කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ නිරීක්ෂණය කරයි.

    වර්තමානයේ සිදුවන මුදල් විශුද්ධීකරණය හා ත‍්‍රස්තවාදින්ට මුදල් සැපයීම සඳහා අනුගමනය කෙරෙන ක‍්‍රමවේදයන් සහ එහි ඇති අවදානම් තත්ත්වයන් සම්බන්ධයෙන් සිය සාමාජික රටවල් සහ මහජනතාව දැනුවත් කිරීම සඳහා තාක්ෂණික සහය, පුහුණුවීම් සහ උපාය මාර්ග අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබාදීම මගින් ද මෙම කණ්ඩායම සිය සාමාජික රටවලට සහාය ලබා දෙයි.

    2016-2018 වර්ෂයන් සඳහා මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ සහ සභාපතිත්වය ශී‍්‍ර ලංකාව විසින් දරන බැවින් මෙවර වාර්ෂික සමුළුව ශී‍්‍ර ලංකාවට අතිශයන් වැදගත් වේ.

    මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, නීතිපති ජයන්ත ජයසූරිය යන මහත්වරුන් ද, මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විධායක ලේකම් ගෝඩ්න් මහතා ඇතුළු එහි නියෝජිතයෝ මෙම සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya