මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ව්‍යවස්ථාව පිළිබඳව තවමත් සාකච්ඡා කරනවා-ව්‍යවස්ථාව සාර්ථක කර ගැනීමට සියලූ දෙනාගේ සහයෝගය අවශ්‍යයි

    ජූලි 10, 2017

    ''අප නව ව්‍යවස්ථාව සකස් කරනවා.මේ අලූත් ගමනක ගෙන යෑම එහි අරමුණයි.අප තවමත් නව ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කරනවා.අප මහානායක ස්වාමීන් වහන්සේලාගේ අදහස් ද ලබා ගන්නවා.මෙම ව්‍යවස්ථාව සාර්ථක කර ගැනීමට ඔබ සියලූම දෙනාගේ සහයෝගය අවශ්‍යයි'' යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මන්නාරම එළුදුර් ප්‍රදේශයේ ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් පැවසීය.

     

    මන්නාරම එළුදුර් ප්‍රදේශයේ ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

    මන්නාරමේ ජල යෝජනා ක්‍රමය විවෘත කිරීම නිසා දැන් මේ ප්‍රදේශයට පැය විසි හතරම ජලය තිබෙනවා. ඒ වෙනුවෙන් අපි රවුෆ් හකීම් ඇමැතිතුමාටත්, ජල සම්පාදන මණ්ඩලයටත් ස්තූති කළ යුතුයි. රවුෆ් හකීම් මහතා වියලි කලාපයට ජලය ලබාදීමට විශාල වැඩ කොටසක් කරනවා.

    හලාවත, පුත්තලම, මන්නාරම ප්‍රදේශ සියල්ලටම ජලය ලබාදීමට ක්‍රියාකර තිබෙනවා. දැන් විශාලතම ප්‍රශ්නය තිබෙන්නේ යාපනයටයි. එම ප්‍රදේශයටත් ජලය ලබාදීමට අලූත් ක්‍රමවේද පිළිබඳව සොයා බලනවා. එතුමා මුළු රටටම ජලය ලබාදෙනවා. විදුලි බලයෙන් පසුව අපට අවශ්‍ය වන්නේ ජලයයි. අපට විශාල වගකීමක් තිබෙනවා. එමෙන්ම විශාල වැඩ කොටසක් කරනවා. එම නිසා අප හකීම් මැතිතුමාට ස්තතූති කරමු. මෙම වැඩසටහන් සඳහා මුදල් ලබාදීම සම්බන්ධයෙන් ආසියා සංවර්ධන බැංකුවටත් ස්තූතිය පළ කළ යුතුයි.

    ඔවුන් 1977 න් පසු මෙරට දියුණුවට විශාල මුදලක් ලබාදී තිබෙනවා. මෙම ජල යෝජනා ක්‍රමය නිසා රිෂාඩ් බදියුදීන් ඇමැතිතුමාගේ මන්නාරම දියුණු කිරීමේ වැඩසටහනට විශාල රුකුලක් ලැබෙනවා. එතුමාට අවශ්‍ය වන්නේ මෙම මුළු ප්‍රදේශයට විශාල සමාජ, ආර්ථික දියුණුවකට ගෙන යාමටයි.

    ගිය මැයි මාසයේදී මා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කළා. මෙහි ඇති පැරණි ගොඩනැගිලි භාවිත කරමින් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අප සාකච්ඡා කර තිබෙනවා. දැන් මේ ප්‍රදේශයට ජලය තිබෙන නිසා අපට ආයෝජකයන් සොයා ගත හැකියි.

    යාපනය, මන්නාරම, ත්‍රීකුණාමලය, දඹුල්ල එකතු කර මාර්ගයක් ඉදිකිරීමට ආධාර උපකාර කරන බව ඉන්දියාව පවසා තිබෙනවා. ඒ සඳහා අපේ මහා මාර්ග අමාත්‍යංශය සැලසුම් ලබාදිය යුතුයි. ඒ මාර්ගය ඉදිවූ පසුව අපට පුනරීන් අලූත් නගරයක් ලෙස දියුණු කරන්නට හැකියාව තිබෙනවා. යාපනයේ ඉඩම් නැහැ. පුනරීන් ප්‍රදේශයේ සංවර්ධනය සඳහා ඉඩම් තිබෙනවා. ඒ සමාගම මුහුදු වෙරළ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා වෙන් කළ හැකියි. මන්නාරමේ සිට කන්කසන්තුරයට, යාපනයට, දූපත්වලට යාමට සංචාරකයන් සඳහා බෝට්ටු ව්‍යාපාරයක් ඇරැඹිය යුතුයි. අපට පරන්තන් වැනි ප්‍රදේශල කර්මාන්ත කලාප ඇති කළ හැකියි. මේ ප්‍රදේශයේත් කර්මාන්ත කලාප බිහි කරනවා.

     

    යුද්ධය නිසා උතුරේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම නැති වුණා. දැන් අප ඒ ආර්ථික දියුණුව ලබාදිය යුතුව තිබෙනවා. ආර්ථික දියුණුවෙන් පමණක් මේ ප්‍රශ්නය විසදෙන්නේ නැහැ. ආර්ථිකය නැති වුණේ යුද්ධය නිසයි. යුද්ධය ඇති වුණේ ආර්ථික ප්‍රශ්නයක් නිසා නොවේ. යුද්ධය ඇති වුණේ ජාතිවාදය නිසයි. ජාතිවාදයෙන් ඇතිවූ ත්‍රස්තවාදය නිසයි. බෙදුම්වාදය නිසයි. එසේ නම් එම ප්‍රශ්නයට අප විසඳුමක් දිය යුතුයි. යුද්ධය අවසන් වුවායැයි කියා ප්‍රශ්නය අවසන් වූයේ නැහැ. අවසන් වූයේ ත්‍රස්තවාදය පමණයි. ඉන්පසුව ජාතිවාදය තවත් වැඩි වුණා.

    එදා අප විපක්‍ෂයේ සිටියදී මේ ගැන කතා කළා. එක්සත් ජාතික පක්‍ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත්, ද්‍රවිඩ සංවිධානයත් එක්ව මෙම ප්‍රශ්නය විසඳන ආකාරය ගැන කතා කළා. හැමදාම විරුද්ධ පක්‍ෂයේ සිට හෝ ආණ්ඩු පක්‍ෂයේ සිට මේ ප්‍රශ්නය ඇදගෙන යන්න බැහැ.

    මෙම ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීමට අප කල්පනා කළා. එම දේශපාලන විසඳුම තුළින් සංහිදියාව ඇති කර සංවර්ධන යුගය ඇති කිරීමට අවශ්‍යයි. මේ පිළිබඳව අප රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, දිගම්බරම්, චම්පික රණවක මහත්වරුන් හා රතන හිමියන් සමග අප සාකච්ඡා කළා. ඒ අනුව මෙම ප්‍රශ්න විසදා ගැනීමට පොදු අපේක්‍ෂකයකු ජනපතිවරණයට ඉදිරිපත් කිරීමට තීරණය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිස් සමගත් අප සාකච්ඡා කළා. ඒ අනුව අප ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළා. එතුමා එම තනතුර බාර ගත්තේ ජීවිතයත් පරදුවට තබා බව කිව යුතුයි. දැන් අප සංහිදියාව ඇති කළ යුතුයි. අපගේ අරමුණ වූයේ එයයි.

    එම වැඩකටයුතු කිරීම සඳහා ලෝකය අපට උපකාර කළා. ජපානය, ඉන්දියාව, ඇමරිකාව, යුරෝපය, චීනය ආදී හැම රටක්ම දැන් අපට විශාල වශයෙන් උපකාර කරනවා. අපත් ඒ උපකාර ලබාගෙන ඉදිරියට යනවා.

    එම දේශපාලන විසඳුම ලබාගැනීම සඳහා අප නව ව්‍යවස්ථාවක් සකස් කරනවා. ඒ සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවකට පරිවර්තනය කරනවා. අප එම කාර්යය කළේ ජනතා වරමක් තිබූ නිසයි. මේ ප්‍රශ්නය විසැදිය හැකි ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර ඉන් පසුව දේශපාලන විසඳුම පදනම් කරගෙන සංවර්ධනය ඇති කිරීම අපේ අරමුණයි. ඒ සඳහා අපට ජනතා වරමක් ලැබී තිබෙනවා. සියලූම ජාතීන් එකමුතුව ඒ සඳහා වරමක් ලබාදී තිබෙනවා.

    බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් බහුතරයක් ජනතාව අපට ජන වරමක් දී තිබෙනවා. එමෙන්ම කාන්තා, පිරිමි වශයෙන් බහුතර ජනතාවක් අපට වරමක් දී තිබෙනවා. වැඩිමහල්, තරුණ වශයෙන් ගත්තොත් වැඩි බහුතරයක් අපට එම ජනවරම දී තිබෙනවා. අපට එම ජනවරමට ද්‍රෝහී වන්නට හැකියාවක් නැහැ. එම නිසා එම ජනවරම ගෙන අප ඉදිරියට යනවා. ඒ අනුව අප නව ව්‍යවස්ථාව සකස් කරනවා. මේ අලූත් ගමනක ගෙන යෑම එහි අරමුණයි. එම ව්‍යවස්ථාව සැකසීම සඳහා මෙහෙයුම් කොමිටියක් පත් කර තිබෙනවා. මමත් රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදින් ඇමැතිවරුනුත් එම කොමිටියේ සිටිනවා. අප තවම එම කොමිටියේ එක වාර්තාවක්වත් ඉදිරිපත් කර නැහැ. අනු කමිටු වාර්තා හයක් තිබෙනවා. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදීත් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා.

    අප තවමත් නව ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කරනවා. නොයෙක් විෂයන් පිළිබඳව යෝජනා ගණනාවක් පැමිණ තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව යෝජනා පැමිණ තිබෙනවා. එය අහෝසි කිරීම පිළිබඳව යෝජනා පැමිණ තිබෙනවා. පළාත් සභා ක්‍රමය පිළිබඳව යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. මේ අයුරින් බොහෝ යෝජනා ඉදිරිපත්වී තිබෙනවා.

    හැම විෂයක් සම්බන්ධයෙන්ම පැමිණ තිබෙන යෝජනා සලකා බලන ලෙස අප ලේකම් කාර්යාලයට දැනුම් දී තිබෙනවා. ප්‍රධාන විකල්ප ප්‍රමාණය සලකා බලන ලෙස දැනුම්දී තිබෙනවා. කමිටු සාමාජිකයකු යෝජනාවක් ලබා දුන්නොත් එතුමාගේ නැතිනම් පක්‍ෂයේ නම සඳහන් කරන ලෙස දැනුම් දී තිබෙනවා. ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් දැනුම් දී තිබෙනවා. මෙම ක්‍රමවේදය පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටිනවා.

    ඒ සියල්ල සලකා බැලීමෙන් පසුවත්, අප අවසන් වාර්තාවක් දෙන්නේ නැහැ. අප ඉදිරිපත් කරන්නේ අතුරු වාර්තාවක්. අප සාකච්ඡා කොට එකඟවූ මූලධර්ම පිළිබඳව එහි සඳහන්ව තිබෙනවා. සමහර අවස්ථාවල විකල්ප යෝජනා තිබෙනවා.

    විධායක ජනාධිපති ධූරය පිළිබඳ විකල්ප තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ බලතල ගැන විකල්ප යෝජනා තිබෙනවා. සෙනට් සභාව ගැන මූලධර්මය එකඟයි. එහෙත් එහි සංයුතිය ගැන විකල්ප තිබෙනවා. මෙම යෝජනා සභාවට ඉදිරිපත් කොට රට තුළ විශාල සංවාදයක් ඇති කරනවා. රටේ ජනතාව තවම මෙහි තිබෙන කරුණු දන්නේ නැහැ. මහා සංඝරත්නය, පියතුමන්ලා, පූජකතුමන්ලා සියලූම පාර්ශ්වයන් මෙම ව්‍යවස්ථාව දෙස බලා අදහස් පළ කළ යුතුයි. මෙය ඔබේ ව්‍යවස්ථාවක්, මගේ ව්‍යවස්ථාවක් නොවේ.

     

    අප මහානායක ස්වාමීන් වහන්සේලාගේ අදහස් ද ලබා ගන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා ලෙස මා ගොස් මහා නායක ස්වාමීන්වහන්සේලා මුණ ගැසෙනවා. දැනට උන්වහන්සේලාගේ අදහස් ලබාදී තිබෙනවා. අගරදගුරු තුමන්ලාගේ අදහස් දී තිබෙනවා. හින්දු, මුස්ලිම් ආගමික නායකයන්ගේ අදහස් ලබා ගන්නවා. වෘත්තීය වේදීන්ගේ අදහස් ගන්නවා. සියලූම දෙනා සමග කතා කරනවා. අපගේ කමිටුව කැමතියි සියලූම දෙනා මුණ ගැහෙන්න. අපි පාර්ලිමේන්තුවේ මේ ගැන විවාදයක් පවත්වමු. එහිදී මතුවන එකඟතා සියල්ල ගෙන අප අවසන් වාර්තාව සකස් කරනවා.

    බුදුන් වහන්සේ ලිච්ඡවී රජදරුවන්ට දුන් අවවාද අනුව වරින් වර රැස්වීමට, සාමයෙන් සාකච්ඡා කිරීමට, සාමයෙන් විසිර යන පදනම මත මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යනවා.

    ඊට පසුව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරනවා. මෙම ව්‍යවස්ථාව සාර්ථක කර ගැනීමට ඔබ සියලූම දෙනාගේ සහයෝගය අවශ්‍යයි. බුදු දහම අනතුරේ කියමින් ඇතැමුන් කෑගහනවා. බුදු දහම සම්බන්ධයෙන් අප තවම සාකච්ඡා කොට තීරණ ගෙන නැහැ. ඒ වගේම බුදු දහමට තිබෙන ස්ථානයට වෙනසක් වෙන්නත් බැහැ. ජනපතිත්, මමත්, එක්සත් ජාතික පක්‍ෂයත් සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් බුදු දහමේ ප්‍රමුඛස්ථානය ඒ අයුරින්ම තබා ගන්නා බවට තීරණය කර තිබෙනවා. හැම ආගමකටම ඇති අයිතිවාසිකම් පිළිබඳව සලකා බලනවා.

    වෙනත් ආගම්වලට පමණක් නොව බුදු දහමටත් ඇතැම් අවස්ථාවලදී ආණ්ඩු ඇගිලි ගසා තිබෙනවා. ආගමික නිදහස තහවුරු කළ යුතුයි. අපි ගිහින් ආගමික නිදහස කැඩීමට ඇගිලි ගහන්නේ නැහැ. අප ක්‍රියාත්මක කරන්නේ මෙම වැඩසටහනයි. ජනතාව කියනවානම් අත්හැරීමට පුළුවන්න. අපට වරමක් දුන්නේ ජනතාවයි. ඒ ජනවරමට විරුද්ධ වීමට අවශ්‍ය නැහැ. ඇතුළත් විය යුතු යෝජනා ගැන ඔබේ අදහස් ලබා දෙන්න. මුළු රටම අප ඒ සඳහා සම්බන්ධ කර ගන්නවා. 1972 සහ 1977 ව්‍යවස්ථා සැකසීමේදී ඊට රටවැසියන් සම්බන්ධ වුණේ නැහැ. දැන් අපි ජනතාවරම අනුව කටයුතු කරනවා. ඒ වරමෙන් ඈත් වන්නට හැකියාවක් නැහැ. අප එතැන් සිට ඉදිරියට යා යුතුව තිබෙනවා. මා පාර්ලිමේන්තුවේ කතා කරද්දී මන්ත්‍රීවරුන් ගණනාවක් ඒ බව පැවැසුවා. ඒ අනුව අතුරු වාර්තාව ලඟදීම සකස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යවස්ථාවෙන් අපේ ජනවාර්ගික ප්‍රශ්නය නැති වෙනවා නම් ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්න නැති කිරීමට මාර්ගයක් ලැබෙනවා. නම්, රට නොබෙදා ඒකීයබව ආරක්‍ෂා කිරීමට හැකි නම් ඉතිරි සංවර්ධන කාර්යයන් කිරීම ආණ්ඩුව සතුයි.

    එවිට අපට මීටත් වඩා ශීඝ්‍රයෙන් ඉදිරියට යාමට අවස්ථාව ලැබෙනවා. මේ ප්‍රදේශයේ දෙමළ මුස්ලිම් ජනතාව වින්ද දුක අප දන්නවා. ඒ අයට ප්‍රශ්න තිබෙන බව දන්නවා. ඒ ගැනත් අප සාකච්ඡා කර තිබෙනවා. නැවත පදිංචි කිරීම් විශාල සංඛ්‍යාවක් තිබෙනවා. එමෙන්ම යුද්ධයෙන් පසුව එම සටන්කාමී තරුණ තරුණියන්ගේ අනාගතය පිළිබඳව සොයා බැලිය යුතුයි. අප ඒ අයට අනාගතයක් දීමේ කාර්යභාරය තිබෙනවා. සියලූම තරුණ තරුණියන්ට අනාගතයක් දීමේ කාර්ය භාරය පැවරී තිබෙනවා. ව්‍යවස්ථාව පිළිබඳව වැඩිපුරම උනන්දු විය යුත්තේ තරුණ පරපුරයි. වත්මන් ව්‍යවස්ථාවේ අප දැන් වසර 40 ක් ජීවත්වී තිබෙනවා. ඉදිරියට එන්නේ අපේ කාලය නොවේ. දැන් තරුණ තරුණියන් ඔවුන්ට ව්‍යවස්ථාව හදා එහි ජීවත්විය යුතුයි. ඒ තරුණ බලාපොරොත්තු අප විසින් ඉටු කළ යුතුයි. ඒවාට ද්‍රෝහී වීමට හැකියාවක් නැහැ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya