අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය උවදුර වැළැක්වීමට ප්‍රධාන කරුණු දෙකක්

    ජූනි 28, 2017

    මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු දෙකක් තිබෙන බවත්  පිටරටින් මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීම සහ  ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය හා බෙදා හැරීම වැළැක්වීම බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


    බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවීම සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දින උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) මේ බව සඳහන් කළේය.

    අගමැතිවරයා සිදු කළ සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.

    " ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබෙනවා. 1984 වසරේ දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පිහිටුවීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සම්මත කර ගත් ආකාරය මට මතකයි. ඒ කාලයේ සිට වෛද්‍යාචාර්ය රවීන් ප්‍රනාන්දු මහතා යටතේ මෙම මණ්ඩලය ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් අප නැවත සිහිපත් කළ යුතු නැහැ.

    මෙම මණ්ඩලයත්, ජනාධිපති කාර්ය සාධන බලකායත් එක්ව මත්ද්‍රව්‍ය භාවිතය සහ වැටලීම සම්බන්ධව සාර්ථක වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. එම වැඩසටහන් මගින් මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව අවධානය යොමු කිරීමට, ඒ සම්බන්ධ දැනුම දියුණු කිරීමට, ඔවුන්ට ලබා දෙන වෛද්‍ය පහසුකම් ඇතුලූ අනෙකුත් පහසුකම් දියුණු කිරීමටත් මෙම මණ්ඩලය කටයුතු කර තිබෙනවා. මේ සියලූ වැඩ කටයුතු සම්බන්ධයෙන් මම අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මෙම මණ්ඩලයට ඇති සම්පත් සැලැස්මකට අනුව දියුණු කිරීමටත් අප බලාපොරොත්තු වනවා.
    නමුත් තවත් සිදුවීමක් තිබෙනවා. එනම්, ශ්‍රී ලංකාව මේ වන විට අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබීමයි. ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබෙනවා. මත්ද්‍රව්‍ය භාවිතය මේ වන විට ඇතැම් ග්‍රාමීය ප්‍රදේශ දක්වාත් පැතිරී ගොස් අවසන්. මෙය විශාල උවදුරක්.

    මාධ්‍ය ඇතුලු සියලු දෙනාගේ අවධානය වැඩි වශයෙන් යොමු වී තිබෙන්නේ සයිටම්, මුස්ලිම් ආගමික ස්ථානවලට පහර දීම්, ස්වභාවික ආපදා ආදී එදිනෙදා ගැටලුවලට පමණයි. මෙම මත්ද්‍රව්‍ය උවදුරේ බැරෑරුම්කම මාධ්‍යයෙන් සහ ජනතා මනසින් ඉවත් වී තිබෙනවා. එම නිසා රජයක් ලෙස අපට විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීම හා දැනුවත් කිරීම් වැඩි දියුණු කළ යුතු වෙනවා. ගත යුතු ප්‍රධානතම පියවර එයයි.

    නීතිය ක්‍රියාත්මක කරන විට පොලිසිය ඇතුලුව නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක බලකාය, ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය ආදී විවිධ අංශයන් ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධ අදාළ නීති වෙත අවධානය යොමු කරමින් අවශ්‍ය නව සංශෝධන සිදු කිරීමට දැන් අවශ්‍යව තිබෙනවා.
    පළමුව පොලිස් මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ සේවක පිරිස් ප්‍රමාණය වැඩි කළ යුතුයි. මුලූ රටේම මත්ද්‍රව්‍ය පාලනය කිරීමට දැනට සේවයේ යෙදී සිටින පිරිස ප්‍රමාණවත් නොවන බව මගේ මතයයි. මෙම සේවක සංඛ්‍යාව ඉහළ නංවන්නේ කෙසේදැයි මම සාගල රත්නායක ඇමැතිතුමාගෙන් විමසා සිටියා. ඔවුන් එකවර බඳවා ගත නොහැකියි. ඔවුන් සේවයට බඳවා ගත හැකි වන්නේ අවශ්‍ය මුදල් ලබා ගෙන පුහුණු කිරීමෙන් අනතුරුවයි. අවශ්‍ය ප්‍රතිසංවිධාන කටයුතු ඉක්මනින් සිදු කළ යුතුයි. ඒ සම්බන්ධ වාර්තා අමාත්‍යවරයාගෙනුත්, පොලිස්පතිවරයාගෙනුත් මම ඉල්ලා තිබෙනවා. එම කටයුතු සිදු කිරීමෙන් පසු මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධ පොලිස් සේවය ශක්තිමත් වෙනවා.

    ඉන් අනතුරුව අවධානය යොමු කළ යුතු තවත් ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. ඉන් පළමු වැන්න පිටරටින් මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමයි. දෙවැන්න ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය හා බෙදා හැරීම වැළැක්වීමයි.

    පිටරටින් මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීම සම්බන්ධව පොලිසිය, නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක බලකාය සැලකිය යුතු සාර්ථකත්වයක් ලබා තිබෙනවා. ඔවුන් රේගුව සමග ක්‍රියා කරමින් විශාල මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ඒම සම්පූර්ණයෙන් නතර වන්නේ නැහැ. එම නිසා අප මෙම සේවය තව තවත් ශක්තිමත් කළ යුතුයි.

    අද ඇෆ්ගන් යුද්ධය පවත්වා ගෙන යාමට හැකිව තිබෙන්නේත්, ඒ සඳහා ඇතැම් පාර්ශව වෙත ආධාර ලැබෙන්නේත් මත්ද්‍රව්‍ය නිසයි. ඒ නිසා එම යුද්ධය ඉදිරියට ගෙන යාමට නම් ඔවුන්ට මත්ද්‍රව්‍ය විකිණිය යුතුයි. බොහෝ විට මෙම මත්ද්‍රව්‍ය ඉන්දියාව හා පාකිස්ථානය හරහා මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එනවා. ඒවා වැටලීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් මුදල් ලබාදීමට අප කටයුතු කරනවා.

    රට තුළ ප්‍රධාන වශයෙන් සිදුවන ගංජා වගා කිරීමේ කටයුතු මැඩලීමට ගුවන් හමුදාව සහ විශේෂ කාර්ය බලකාය ක්‍රියා කරනවා. ඊට අමතරව යුද හමුදාවත් ඒ සඳහා යොදවනවා ද යන්න ඉදිරියේ දී තීරණය කිරීමට සිදු වේවි.

    අනෙක් කාරණය මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුළ බෙදා හැරීමයි. බොහෝ අවස්ථාවන්වල මත්ද්‍රව්‍ය බෙදා හැරෙන අවස්ථා වැටලීමට පොලිසියට හැකි වී තිබෙන නමුත් මත්ද්‍රව්‍ය බෙදා හැරීම තවමත් රට පුරා සිදු වෙනවා. උතුරු කොළඹ, මා නියෝජනය කරන මැද කොළඹ, කැළණි ගඟ සීමාව ආදී ප්‍රදේශවල මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වී තිබෙනවා. මේ හේතුවෙන් විශාල වශයෙන් සොරකම් සිදු වෙනවා. මේ මත්ද්‍රව්‍ය උවදුර නතර කරන්නේ කෙසේද? එම වැටලීමේ කටයුතු ඉදිරියට කර ගෙන යන්නේ කෙසේද? ඒ සඳහා පොලිසිය පමණක් නොව, ග්‍රාම සේවා නිලධාරීන්, සිවිල් ආරක්‍ෂක නිලධාරීන් ආදී රජයේ බිම් මට්ටමේ නිලධාරීන්ගෙන් සියයට 10 ක ගේ සහභාගීත්වය හෝ ලැබුණහොත් මෙම උවදුර පාලනය කිරීමට අපට හැකියාව ලැබෙනවා.
    ප්‍රධාන පොලිස්ථාන 50 – 100 ක් පමණ කේන්ද්‍ර කර ගනිමින් මෙම මත්ද්‍රව්‍ය භාවිතය සහ බෙදා හැරීමේ කටයුතු වැළැක්වීම සඳහා ක්‍රියා කළ යුතු වෙනවා. ඒ වගේම පවතින නීති ශක්තිමත් කළ යුතු වෙනවා. ප්‍රධාන පෙළේ අපරාධ කණ්ඩායම් මැඩලීම සඳහා ක්‍රියාත්මක කළ යුතු නීති පිළිබඳව මේ දිනවල සාකච්ඡා කරමින් සිටිනවා. එය පමණක් ප්‍රමාණවත් නොවන අතර ශ්‍රී ලංකාවට ඇතුලූ වීමේ දී බලපාන ආගමන විගමන නීති ශක්තිමත් කිරීමටත් අප කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධයෙන් සිංගප්පූරුව ආදී රටවල් ලබාදෙන දඩුවම් පිළිබඳ අප සලකා බැලිය යුතුයි. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා සාමාන්‍ය ආකාරයට කටයුතු කරනවා ද, එසේ නොමැති නම් ඒ සඳහා පොලිසියට විශේෂ බලතල ලබාදෙනවා ද යන්න අවධානය යොමු කළ යුතුයි.

    මෙය එක් වකවානුවක දේශපාලන ක්‍රමවේදයට යටත්ව තිබුණත් දැන් එවැනි තත්වයක් නැහැ. එසේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය දෙස අලූතෙන් බැලීමට අපට සිදුව තිබෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය බෙදා හරින ප්‍රධාන පුද්ගලයන් සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා විශාල කාලයක් ගත වෙනවා නම් එය ඔවුන්ට වාසිසහගත වෙනවා. එවැනි කරුණු සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතුයි. මම, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාට පැවසුවේ ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු වැඩ කටයුතු කඩිනම් කරන ලෙසයි. ඒ සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට අපි සූදානම්.
    ඒ වගේම මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රධාන රවටල් සමග එක්ව ක්‍රියා කිරීමත් වැදගත් වෙනවා. ලෝකයේ මත්ද්‍රව්‍ය විරෝධී රටවල් කිහිපයක්ම තිබෙන අතර එම රටවල් සමග තිබෙන සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් කර ගත යුතු වෙනවා. ඔවුන් සමග සාකච්ඡා කරමින් දෛනිකව සම්බන්ධතාවය පවත්වා ගත යුතුයි. මෙම වැඩ කටයුතු සිදු වනවා නම් දැනුම්වත් කිරීම, අධ්‍යාපනය ලබාදීම ආදිය වගේම නීතිමය වශයෙන් මත්ද්‍රව්‍ය වැටලීමේ දී අනුගමනය කරන ක්‍රියාමාර්ගත් සාර්ථක වන බව කිව යුතුයි.

    මත්ද්‍රව්‍ය විරෝධයට එරෙහි යුද්ධය තවත් කාලයක් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. එහිදී කෙටි කාලීන විසදුම් මෙන්ම මධ්‍යම කාලීන විසදුම් ද තිබෙනවා. මත්ද්‍රව්‍ය උවදුරට සාර්ථකව මුහුණදිය හැක්කේ එම විසඳුම් දෙවර්ගයම සාර්ථක වූ විටයි.

    අද වන විට මත්ද්‍රව්‍ය උවදුර ආසියාව සහ අප්‍රිකාව දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධව ලැබෙන සියලූ වාර්තාවලින් එය පෙන්නුම් කෙරෙනවා. මෙම වසර තුළ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමට අප විශේෂයෙන් කටයුතු කළ යුතුයි. ඒ වගේම සෞඛ්‍ය අංශය පිළිබඳව ගත යුතු නව නීතිරීති ද තිබෙනවා. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයත්, පොලිසියත් එක්ව මෙම තීරණ ගත යුතුයි. මෙම මණ්ඩලය සම්බන්ධ නීතිමය කරුණු සංශෝධනය කළ යුතු වෙනවා. ඒ වගේම එම නීති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංවිධන කටයුතු අප සිදු කරනවා.

    ඒ අනුව ඉදිරි වසර දෙක තුළ මත්ද්‍රව්‍ය උවදුර පැතිරීම වැළැක්වීමට අප ක්‍රියා කළ යුතුයි. එය එකවර වැළැක්වීම පහසු කටයුත්තක් නොවන අතර පාලනය කිරීම මගින් එය වැළැක්වීම සිදු කළ යුතුයි. ඒ සඳහා සියලු ආගමික නායකයන්ගේ ද ආධාර, උපකාර ලබාගෙන මුළු රටම එකතු වී මෙම උවදුර වළක්වා ගැනීමට කටයුතු කරමු.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya