මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජලයට තනි අයිතිකරුවෙක් නොමැතිවීම බරපතල ගැටලුවක් - ජනපති

    ජූනි 24, 2017
     
     
    රටේ ජල සම්පතට වගකියන තනි ආයතනයක් නොමැතිවීම ජල කළමනාකරණයේදී බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව ජනාධිපතිතුමා පවසයි.
     
    භෞතික වශයෙන් අපේ භූමියට ලැබෙන ජල ප‍්‍රමාණය, අපේ රට මෙන් දස ගුණයක භූමියකට ප‍්‍රමාණවත් වුවද එය නිසි කළමනාකරණයකට ලක් නොවීම හේතුවෙන් ජල ගැටලුවලට මුහුණදීමට සිදුව තිබෙන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (23) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවති “සුපැන් ප‍්‍රජා අභිමානී සංසඳ සමුළුව” අමතමිනි.
     
    ශී‍්‍ර ලාංකීය ග‍්‍රාමීය ජනතාවගේ පිපාසය සංසිඳුවන ප‍්‍රජා මූල සංවිධාන බලසතු කොට නියාමන යාන්ත‍්‍රණය සැකසීම, ජනගත කිරීම හා ඇගයීම වෙනුවෙන් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය හා ජාතික ප‍්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
     
    සමුළුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ජලයට තනි අයිතිකරුවෙක් නොමැතිවීම මෙන්ම සාමාන්‍ය ජනතාව සහ රාජ්‍ය නොවන ආයතන ජල කළමනාකරණය, සුරක්ෂිතතාවය සහ අරපිරිමැස්ම පිළිබඳ අඩු වගකීමකින් කටයුතු කිරීම ජල කළමනාකරණයේ මූලික ගැටලු බවට පත්ව ඇති බවයි.
     
    ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම, ජල සුරක්ෂිතතාවය සහ පාරිසරික සංරක්ෂණය පිළිබඳ සියලුදෙනා සිය වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
     
    ප‍්‍රජා ජල සංවිධාන විසින් විශේෂ සංදේශයක් ද ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර එහි ඇති කරුණු අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර අවශ්‍ය ආයතනවල සහයෝගය ලබා ගනිමින් ඒවා ඉටුකිරීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
     
    පසුගියදා සිදුවූ ආපදා තත්ත්වයෙන් විපතට පත්වුවන්ට සහන සැලසීම සඳහා කොලොන් ග්ලෝබල් කොරියන් ආයතනය මගින් රුපියල් මිලියන 02 ක චෙක්පතක් ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් භාරදීම ද මෙහිදී සිදු විය.
     
    වකුගඩු රෝගය පවතින දිස්ති‍්‍රක්ක සඳහා ප‍්‍රතිආශ‍්‍රැත උපකරණ 70 ක් ලබාදීම, යුනිසෙෆ් ආධාර යටතේ ජල ටැංකි 100 කට අධික ප‍්‍රමාණයක් ප‍්‍රජා ජල සංවිධාන වෙත ලබාදීම, ලෝක ජල දිනය නිමිත්තෙන් පැවති තරගවලින් ජයග‍්‍රහණය කළ අය සඳහා ත්‍යාග සහ සහතික පිරිනැමීම ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා සංකේතාත්මකව ඊට එක් විය.
     
    අමාත්‍යවරුන්වන රවුෆ් හකීම්, චන්ද්‍රානි බණ්ඩාර, තලතා අතුකෝරළ,රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් ද, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් සරත්චන්ද්‍ර විතාන මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya