අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් ගංවතුරෙන් දුෂ්කරතාවයට පත්ව සිටින ජනතාවට සහන සැළසීමට රජය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා

    ජූනි 21, 2017

    නියඟය, ගංවතුර හේතුවෙන් බලපෑමකට ලක් වී  දුෂ්කරතාවයට පත්ව සිටින ජනතාවට සහන සැළසීමට රජය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් අධි අවධානම් කලාපවල ජීවත් වන ජනතාවට විකල්ප ඉඩම් ලබාදීමටත් කටයුතු කරමින් සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    උතුරු නැඟෙනහිර,උතුරුමැද,වයඹ පළාතේ,කොටසකට නියඟය හේතුවෙන් බලපෑමකට ලක් වී තිබෙනවා.ඉන් දුෂ්කරතාවයට පත්ව සිටින ජනතාවට සහන සැළසීමට රජය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. උතුරු, නැඟෙනහිර සහ රජරට ප්‍රදේශවල ජාතික ජල සම්පාදන ක්‍රම මඟින් අඛණ්ඩව ජල සැපයුම් සිදු කෙරෙන නිසා එම ප්‍රදේශවල පානීය ජලය සැපයීමට බාධාවක් වී නෑ. උතුරු පළාතේ නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහනයක් වශයෙන් මේ වසරේ ජලය බෙදා හැරීම සඳහා රුපියල් මිලියන දෙකකට අධික මුදලක් වැය කර තිබෙනවා.

    කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් උතුර,උතුරු මැද සහ නැඟෙනහිර පළාත් මුල්කරගනිමින් කෘෂි ළිං ප්‍රතිසංස්කරණය කර ජල පොම්ප, ජල සම්පාදන කට්ටල ලබාදීම, සුළු වාරිමාර්ග අලුත් වැඩියා කිරීමේ කටයුතු සිදු කරමින් පවතිනවා.

    කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් උතුර, උතුරු මැද හා නැගෙනහිර පළාත්වල 2016/17 මහ කන්නයේ නියඟය නිසා වගාවන් හානි වූ හා වගාකිරීමට නොහැකිව අසරණ වූ වී හා අතුරු බෝග වවන ගොවි පවුල් ඒකකයක් සඳහා රු. 10,000/- බැගින් වන්දි මුදල් ලබාදීමට මේ වන විට කටයුතු කර තිබෙනවා.

    2017 යල කන්නයේ බෝග වර්ග 6 ක් සඳහා රු. 40,000/- බැගින් වූ රක්ෂණ ආවරණ ක්‍රමයක් ලබාදීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා. මේ වන විට එහි ප්‍රතිරක්ෂණ ක්‍රියාවලිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබෙනවා.


    පසුගිය දිනවල ප්‍රධාන වශයෙන් කලුතර, රත්නපුර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතිවුණු ගංවතුර හා නායයෑම් තත්වය ගැන පැවසීමේදී මා අවධාරණය කර සිටින්න කැමතියි රජය විසින් ගතයුතුව තිබූ සියළුම ක්‍රියාමාර්ග කඩිනමින් ගනු ලැබුවා. විශේෂයෙන්ම දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඇතුලු රාජ්‍ය නිලධාරීන් හරහා කඩිනම් සහන සැලසීමට රජය විසින් කටයුතු කරනු ලැබුවා. ගංවතුර තත්වය ඇතිවීම ආරම්භවීමත් සමඟ දිසාපති සම්මේලනය සඳහා කොළඹට පැමිණ සිටි දිසාපතිවරුන් වහාම ඒ ඒ දිස්ත්‍රික්කවලට පිටත් කර හැර අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස මා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා වෙත උපදෙස් ලබාදුන්නා.

    ඒ වගේම ගරු ජනාධිපතිතුමා ඒ ප්‍රදේශවලට ගොස් අදාල නිලධාරීන් සමඟ සාකච්ඡා කොට කඩිනම් පියවර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කළා. එසේම කිසිදු ආකාරයකින් ආපදා සහනයන් සඳහා මුදල් හිඟයක් ඇති නොවන ලෙස වගබලාගන්නා ලෙසත් අවශ්‍ය මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත කිසිදු ප්‍රමාදයකින් තොරව ලබාදෙන ලෙසත් ගරු ජනාධිපතිතුමා හා මා විසින් මුදල් අමාත්‍යාංශයට උපදෙස් දෙනු ලැබුවා.


    මෙම ආපදා තත්වය නිසා පවුල් 147,920 ක් බලපෑමට ලක්ව තිබෙන බවත් පුද්ගලයින් 213 ක් මියගොස් 77 දෙනෙකු අතුරුදන්ව තිබෙන බවත් නිවාස 3,115 ක් පූර්ණ වශයෙන් සහ නිවාස 19,996 ක් අර්ධ වශයෙන් හානියට පත්ව තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් වාර්තා කර තිබෙනවා.

    එසේම මා විදේශගතව සිට දිවයිනට පැමිණි පසු පසුගිය 15, 16 දිනවල බුලත්සිංහල, අයගම, නෙලුව, දෙනියාය, කොටපොල ප්‍රදේශවල සංචාරය කළා. ඒ සංචාරයේදී රාජ්‍ය නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලදී ඒ ප්‍රදේශවල සියලු අවශ්‍යතා සොයා බලා කටයුතු කරන්න මම උපදෙස් ලබාදුන්නා.

    මේ වන විට ගංවතුර හා නායයෑම් ආපදාවන්ගෙන් විපතට පත් වූවන් සඳහා ජාතික ස්වාභාවික ආපදා රක්ෂණාවරණ වැඩසටහන යටතේ රු.මිලියන 125 ක් වෙන්කර තිබෙනවා. එසේම හානි වූ නිවාස අලුත්වැඩියා කිරීම සඳහා මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන රු.මිලියන 250 ක් යොදා ගනිමින් කඩිනම් සහන සැලසීමට අවශ්‍ය කටයුතු කර තිබෙනවා. මීට අමතරව නිවාස ඉදිකිරීම සඳහා විදුලි සංදේශ අරමුදලින් රුපියල් බිලියන පහක මුදලක් ලබා දීමටත් ගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා.

    එසේම අග්‍රහාර අරමුදලෙන් රු. බිලියන පහලොවක මුදලක් වෙන් කර තිබෙනවා. කඩිනම් ආපදා සහන සේවා සඳහා ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් රු. බිලියන දෙකකට ආසන්න මුදලක් ලබා දී තිබෙනවා. ඒ යටතේ ආපදාවන්ට ලක්වූවන්‍ට පානීය ජලය ලබාදීම, පිසූ ආහාර ලබාදීම, වියළි සලාක ලබාදීම, අවමංගල්‍ය සහනාධාර ලබාදීම

    මෙන්ම කඳවුරු සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගෙන ලබාදීම සිදුකරනු ලැබුවා. නිවාස හානි තක්සේරු කර අදාල වන්දි මුදල් ලබාදෙන තුරු මූලික පහසුකම් සපයාගැනීම සඳහා විපතට පත් පවුල්වලට රු. 10,000/- බැගින් වූ අත්තිකාරම් මුදලක් ලබාදීමට අප මේ වන විට කටයුතු කරමින් පවතිනවා. ආපදා තත්වය බලපෑ ප්‍රදේශවල හානි තක්සේරු අයදුම්පත් ප්‍රාදේශීය ලේකම්වරුන් ජාතික රක්ෂණ භාර අරමුදල වෙත ඉදිරිපත් කළ පසු අදාල වන්දි මුදල් කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව මම ප්‍රකාශ කරන්න කැමතියි.

    පූර්ණ වශයෙන් හා පදිංචියට නුසුදුසු ලෙස නිවාස හානි වී ඇති පවුල් හා නායයෑම් අධි අවධානම් තත්වය හේතුවෙන් නිවාස වලින් ඉවත් කර ඇති පවුල් සඳහා මසකට රු. 7500/- බැගින් වූ ගෙවල් කුලී දීමනාවක් ජුනි, ජූලි, අගෝස්තු මාස සඳහා ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

    එසේම දැනට අධි අවධානම් කලාපවල ජීවත් වන ජනතාවට විකල්ප ඉඩම් ලබාදීමටත් කටයුතු කරමින් සිටිනවා. මේ සඳහා වැවිලි සමාගම්වල ඉඩම් හා වෙනත් රජයේ ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් හඳුනා ගෙන තිබෙනවා. එසේම ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජනතාව රජයේ හා පෞද්ගලික බැංකු වලින් ලබාගත් සියලුම ණය සඳහා මාස 03 ක සහන කාලයක් ලබාදීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබුවා. ඒ සඳහා අවශ්‍ය චක්‍රලේඛ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට නිකුත් කර අවසන්. එසේම හානියට පත් ප්‍රදේශවල සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගාසිටුවීම සඳහා අවශ්‍ය සහන ණය ලබාදීමට රු. බිලියන 02 ක මුදලක් වෙන් කරන ලෙස අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.

    මීට අමතරව හානියට පත් ප්‍රදේශවල අ.පො.ස.(සා.පෙළ) හාඅ.පො.ස. (උ.පෙළ) සිසුන් සඳහා පාඩම් සටහන් ඡායා පිටපත් කිරීමට දීමනාවක් ලබාදීමටත් අ.පො.ස.(උ.පෙළ) විභාගය සඳහා වැඩිපුර අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යතුමා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

    එසේම මෙම ආපදා තත්වය හේතුවෙන් සිදු වූ ආර්ථික බලපෑම පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කළා. එසේම ගංවතුර හා නායයෑම් තත්වය හේතුවෙන් සිදු වූ හානි පිළිබඳ තක්සේරු වාර්තාවක් ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව
    විසින් සකස් කළා. මෙම වාර්තා දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ලෝක බැංකුව හා වෙනත් ජාත්‍යන්තර ආයතන වෙත ලබාදී තිබෙන අතර ඉදිරියේදී ඔවුන්ගෙන් ලබාගත හැකි ආධාර උපකාර පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya