බුදුන් වහන්සේගේ උතුම් තෙමඟුල සැමරෙන ශ‍්‍රී නාගානන්ද ජාත්‍යන්තර වෛශාඛ පුණ්‍ය මහෝත්සවය පුරා දෙදිනක් පුරා මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
එහි දෙවන දිනය වූ අද උදෑසන විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත විය.
විහාරස්ථානයේ ස්ථාපිත කළ තිලෝක ශාන්ති බුද්ධ ප‍්‍රතිමා වහන්සේ අබියස ධම්සක් පැවතුම් සූත‍්‍රය කෙටුම්පත් කළ ශිලා පවුර නිරාවරණය කිරීම ද සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.
අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මුදල් සහ බලය වෙත ඇදී යන සමාජය මිනිසාගේ යහපත් බව යටපත් කර ඇති බවයි. එබැවින් මෙවැනි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන මගින් ඉටු කෙරෙන මෙහෙවර ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය බෝදාගම චන්දිම ස්වාමීන් වහන්සේ සහ තායිලන්තයේ මහාචූලාලොන්කොන් විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ධර්මකෝෂාජාන් ස්වාමීන් වහන්සේ ද මෙහිදි කෙටි අනුශාසනාවන් සිදු කළහ.
මහාචාර්ය පූජ්‍ය දීගල්ලේ මහින්ද ස්වාමීන් වහන්සේ විසින් සහ ආචාර්ය ගාමිණි කාරියවසම් මහතා විසින් රචිත බෞද්ධ ග‍්‍රන්ථ ජනාධිපතිතුමා වෙත පිරිනැමීම ද සිදුවිය.
එමෙන්ම උත්සව අවස්ථාව සඳහා සපැමිණි විදේශීය රටවල ස්වාමීන් වහන්සේලා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණ පිළිගැන්විණි.
මෙම අවස්ථාවට අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය බෝදාගම චන්දිම ස්වාමීන් වහන්සේ, තායිලන්තයේ මහාචූලාලොන්කොන් විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ධර්මකෝෂාජාන් ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ඩුලිප් විජේසේකර ඇතුළු මැතිඇමතිවරුන් ද පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ද එක්ව සිටියහ.