නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(23) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණුනු,ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත විවාදයේ අඳහස් දක්වමිනි.
වසර ගණනාවක් පුරා ඉංජිනේරු සභාවක් ස්ථාපිත කරන්න අපේ රටට නොහැකිවී ගියා. අපේ රටේ ඉංජිනේරු ක්ෂේත්රය මේ පනත හරහා විධිමත් වෙනවා. ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ ආයතනය 1906 වසරේ දී පිහිටුවා තිබෙනවා. එය 1968 දී පාර්ලිමේන්තු පනතක් මඟින් සංස්ථාගත වී තිබෙනවා. අපේ රටේ ඉංජිනේරු වෘත්තිය ආචාර ධර්ම, ප්රමිතීන් සහ වෘත්තියට අදාළ අධ්‍යාපනය සම්බන්ධයෙන් අවශ්‍ය විධිවිධාන සලසන්නට ජාතික ආයතනයක් නීතිමය වශයෙන් අවශ්‍ය බවට පෙනී ගියා. ශ්‍රී ලංකාව තුළ සුදුසුකම් ලැබුව ද විදේශයක දී සුදුසුකම් ලැබුව ද වෛද්‍යවරයෙකු ලෙස ශ්‍රී ලංකාවේ කටයුතු කිරීමට අවශ්‍ය බලපත්‍රය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ලබාදෙනවා. එක නීතියට යටත්වීම ඉතාම වැදගත්.
නීතිඥ වෘත්තියට අදාළව තනි ආයතනයක් නොමැති වුවත් 1902 සිට සංස්ථාගත නීති අධ්‍යාපන ආයතනය ක්‍රියාත්මක වෙනවා. නීතීඥ වෘත්තියට අදාළව විනය, බඳවා ගැනීම, ඉවත් කිරීම ආදිය සම්බන්ධයෙන් බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. ඒ නිසා මේ වෘත්තිය හා සම්බන්ධ ක්‍රියාවලිය වෙනස්. එම ආචාර ධර්ම පද්ධතිය අනුව කටයුතු කරන්නට නීතීඥවරුන් බැඳී සිටිනවා. ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තියට අදාළව මෙවැනි සභාවක අවශ්‍යතාවය තිබුණා. මේ පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරුණු කිහිපයක් පෙන්වා දී තිබෙනවා. මේ පනත හා සම්බන්ධ මූලික වූ පාර්ශවයන් පාර්ලිමේන්තුවේ දී රැස්වී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව සංශෝධනයන් සිදුකළා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පාදක වූ කරුණු යටතේ ඇති වැදගත් කොටස් තිබෙනවා.
මේ පනත අතහැර දමන්නට බැහැ. මෙය ඉංජිනේරු ක්ෂේත්රයේ අභිවෘද්දියට හේතුවන ඉතා වැදගත් පනතක්. එම ක්ෂේත්රයේ සැමට මේ පනත මඟින් රැකවරණය සැලසෙනවා. වසර දහස් ගණනකට පෙර ලෝව පුරෝගාමී වාරි ඉංජිනේරු කර්මාන්ත ඇතිකළ ජාතියක් අපි. එවන් තවත් ජාතියක් ඉන්නේ අතලොස්සක් පමණයි. අපේ මුතුන් මිත්තන් පිළිබඳව අදටත් සාක්ෂි තිබෙනවා. එදා සිට අද දක්වා ලබා තිබෙන ජයග්‍රහණ තුළ දේශීය ඉංජිනේරුවන් ද ඉන්නවා. නමුත් යම් යම් කරුණු නිසා අපේ රටේ ඉංජිනේරුවන්ගේ හපන්කම් ඉස්මතු වන්නේ නැහැ. නමුත් මේ කවුන්සලය පිහිටුවීම හරහා අපේ රටේ ඉංජිනේරුන්ට අලුත් ප්රගමනයක් ඇතිවෙනවා.
වෘත්තීමය ප්‍රමිතිය ආරක්ෂා කිරීම වැදගත් වෙනවා. ඉංජිනේරු ක්ෂේත්රයේ මුදල් ගෙවා සුදුසුකම් ලබාගැනීම සම්බන්ධ විශාල දියුණුවක් ලබා තිබෙනවා. සම්මත සුදුසුකම් ලබන අතරතුර දේශීය උපාධි පිරිනමන ආයතන සාර්ථකව ක්‍රියාත්මක වනවා පමණක් නොව ඒවාට නිසි පිළිගැනීම ද ලැබී තිබෙනවා. ලොව පිළිගත් ආයතනවල උපාධි ලබන්න අවස්ථාව ලැබී තිබෙනවා. ඉංජිනේරු අධ්‍යාපනය පිළිබඳන ලිබරල් අදහසක් ඇතිව තිබෙනවා. ඒ ලබාගන්නා ඉංජිනේරුමය සුදුසුකම් සහ එහි වටිනාකම පිළිබඳ තක්ෂේරු කිරීමට නොහැකි වන්නට පුළුවන්. එක් එක් සුදුසුකමට තක්ෂේරු වටිනාකමක් මේ හරහා ලබාගන්න පුළුවන්. මේ පනත මඟින් ඇතිකරන රෙගුලාසි හරහා ඉංජිනේරු අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ද සොයා බැලීම වැදගත් වෙනවා.
ගුණාත්මක බව ආරක්ෂා කිරීම උදෙසා අනෙක් සෑම වෘත්තියකටම අදාළව සභාවන් අවශ්‍ය වෙනවා. ඉංජිනේරුමය අධ්‍යාපනය පිළිබඳව සොයා බැලීමේ වගකීමක් රජයට මෙන්ම මේ සභාවට ද තිබෙනවා. මේ රටේ නිදහස් අධ්‍යාපනය ආරම්භ කිරීමට මූලික වූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර මහතා නියෝජනය කළ පක්ෂයේ සාමාජිකයෙක් වශයෙන් මේ රටේ නිදහස් අධ්‍යාපනය සහතික කළයුතු වෙනවා. නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපත්තිය එලෙසින්ම ක්‍රියාත්මක කළයුතු වෙනවා. මේ පනත් කෙටුම්පතට දායකවීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් සතුටට පත්වෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.