සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්මාන්තයෙන් රට සමෘද්ධිමත් කරනවා - ජනපති

    පෙබරවාරි 14, 2017

    ගොවි පවුලක ඉපදුන ජනාධිපතිවරයෙක් ලෙස ගොවි ආර්ථිකය නගා සිටුවමින් කෘෂිකර්මාන්තයෙන් රට සමෘද්ධිමත් කිරීම සඳහා තම ධූර කාලය තුළ ගතහැකි, ගතයුතු සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    මහ වැව් නිල් දියවරින් පුරවා ගොවි ජනතාවට යළි ජල ගැටලුවකට මුහුණදීමට සිදු නොවන අයුරින් ජල ගැටලුව විසඳීමට පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ වයඹ පළාත් ජනතාව දීර්ඝ කාලයක් පුරා ජලය ඉල්ලා හැඬූ කඳුළු කථාව නිමාකරමින් වයඹට ජලය ලබාදීමේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය වන වයඹ ඇළ ව්‍යාපෘතිය ඊයේ (13) සුබ මොහොතින් ආරම්භ කිරීමෙන් අනතුරුව ගලේවෙල, වැලමිටියාව විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේ පැවති ජන හමුව අමතමනි.

    දේශපාලන පක්ෂ බේදවලින් තොරව රටේ සංවර්ධනයට අත හිත ලබාදෙමින් රට ගොඩනැගීමට එක්වීම සියලුදෙනාගේ වගකීම බව ද මෙහිදී පැවසු ජනාධිපතිතුමා ආණ්ඩු හැදීමට සහ ආණ්ඩු වෙනස් කිරීමට මැතිවරණ සමයේ දී හැකියාව තිබෙන අතර අද කළ යුත්තේ සියලු වාද බේද අමතක කර රට ගොඩනැගීමට එක්වීම බව ද කියා සිටියේය.

    දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් අවංකව තම වගකීම් ඉටු කරන්නේ නම් රට අද තිබෙන ප‍්‍රශ්නවලින් ගොඩගැනීම අපහසු කාර්යයක් නොවන බව ද සඳහන් කළ ජනාධිපතිතුමා වත්මන් රජයේ අරමුණ සෑම විටම සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීම බවත්, කුමන අභියෝග හමුවේ වුවද විශිෂ්ට රාජ්‍යයක් ලෙස මාතෘ භූමිය ගොඩනැගීමේ වගකීම නොපිරිහෙළා ඉටු කරන බවත් මෙහිදී අවධාරණය කළේය.

    මී ඔය ඉහළ ජලාධාර පෝෂක ප‍්‍රදේශයට හා හක්වටුණා ඔය ජලාශයට මහවැලි ජලය හරවා කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ උතුරු ප‍්‍රදේශයන්හි පිහිටි වැව් ගණනාවක් පෝෂණය කර කෘෂි කර්මාන්තය නඟා සිටුවීමත්, ජල හිඟය හේතුවෙන් ඇතිවන පීඩාවන් අවම කිරීමත් අරමුණු කර ගනිමින් වයඹ ඇළ ව්‍යාපෘතිය මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ දායකත්වයෙන් කි‍්‍රයාත්මක කරනු ලබයි.

    ව්‍යාපෘතිය නිමා වීමෙන් පසුව මහවැලි ජලය අක්කර අඩි 105,000 ක් පමණ වාර්ෂිකව කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ උතුරු ප‍්‍රදේශයට ලබා ගැනීමට හැකියාව ලැබේ. ප‍්‍රදේශය තුළ පිහිටා ඇති කුඩා වැව් 300 ක් හා ප‍්‍රධාන වැව් 08 ක් මහවැලි ජලයෙන් පෝෂණය කෙරෙන අතර හක්වටුණා ඔය ජලාශය යටතේ හෙක්ටයාර් 2500කට පමණද, මී ඔය ජලාධාර පද්ධතියේ කුඩා වැව් යටතේ හෙක්ටයාර් 3500ක් ද ඇතුළුව ප‍්‍රදේශයේ මුළු ගොවි බිමි හෙක්ටයාර් 12,000 කට වඩා යල මහ දෙකන්නයේ වගා කටයුතු සඳහා වාරි ජලය සැපයීමට ද මෙමගින් හැකියාව ලැබේ.

    ප‍්‍රදේශයේ දැනට පවතින වකුගඩු රෝගය සඳහා ද හේතුවන උග‍්‍ර පානීය ජල ගැටලුවට පිළියම් ලැබීම හා ඉදිකිරීමේ හේතුවෙන් සෘජු හා වක‍්‍ර රැකියා අවස්ථා රැසක් උදා වේ. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 16000 ක් පමණ ඇස්තමේන්තු කර ඇති අතර ව්‍යාපෘතියේ කටයුතු 2024 දී අවසන් වීමට නියමිතය.

    වෑමැඩිල්ල වම් ඉවුරු ඇළ භූමියේ පළමු පස් පිඩැල්ල කපමින් ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ ආරම්භ කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවන පිරිස් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    අමාත්‍යවරුන් වන එස්.බී. නාවින්න, අනුර පි‍්‍රයදර්ශන යාපා, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තාරානාත් බස්නායක, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප‍්‍රධාන අමත්‍ය ධර්මසිරි දසනායක, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ප‍්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya