පාඩු ලබන රාජ්‍ය ආයතන වේ නම් ඒවායේ ආදායම් වර්ධනය කරමින් ලාභ ලබන තත්ත්වයට ගෙන ඒම සඳහා ගත යුතු තීන්දු තීරණ ගන්නා අතරම ඇතැම් විට ඒ පිළිබඳ පෞද්ගලික අංශය සමඟ සහයෝගයෙන් කටයුතු කළද කිසිවිටෙකත් එම ආයතන පෞද්ගලික අංශයට විකුණා නොදමන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ CFS 1 බහළුගත නැව් බඩු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (11) පෙරවරුවේ එක් වෙමිනි.
ජාතික ආර්ථිකයේ හදවත බදු කොළඹ වරාය රටේ ආර්ථික වර්ධනයට ලබා දෙන ඉහළ දායකත්වය මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ වරාය තව තවත් සංවර්ධනය කිරීමට රජයෙන් ලබාදිය යුතු සෑම දායකත්වයක්ම ලබා දෙන බවයි.
කොළඹ වරාය පාඩු ලබන ආයතනයක් නොවුවද එයින් ලැබෙන ආදායම පුර්ණ වශයෙන්ම හම්බන්තොට වරායේ ණය ගෙවීම සඳහා යෙදවීමට සිදුවීම එහි සංවර්ධනයට බාධාවක් වී ඇති බවද ජනාධිපතිතුමා පැවසීය.
රුපියල් කෝටි නව ලක්ෂයක ණය බර ද අද රටේ දියුණුවට බාධාවක් වුවත් අපගේ දේශීය කර්මාන්තයන් සහ අපනයනයන් වැඩි දියුණු කර රටේ ආර්ථික වර්ධනය ඉහළ නංවමින් රට දියුණු කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.
වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සේවයද මෙහිදී අගය කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ 2014 නොවැම්බර් 21 වනදා තමා පැවති රජයෙන් ඉවත්වී පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ සිට එතුමා තමා සමඟ එක්ව රටට අවශ්‍ය නව පරිවර්තනය උදා කර දීම සඳහා උර දෙමින් සිටින බවයි.
ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ අභිමානවත් 37 වන සංවත්සරයට සමගාමීව නැවත ගොඩනගන ලද CFS1 බහළුගත නැව් බඩු මධ්‍යස්ථානය මෙලෙස විවෘත කෙරිණි.
ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ සේවා දායකත්වයන් වෙත ප‍්‍රශස්ත සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයේ පහසුකම් පුළුල් කිරීමට පියවර ගෙන ඇති අතර වර්ග මීටර් 5400 ක ප‍්‍රමාණත්වයකින් යුතු මෙම බහලු මධ්‍යස්ථානය නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් ඉදි කර තිබේ.
වරාය අධිකාරිය වෙත පැමිණි ජනාධිපතිතුමා වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් මහත් හරසරින් යුතුව පිළිගත් අතර ජනාධිපතිතුමා විසින් සමරු ඵලකය නිරාවණය කර නව බහළු මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කළේය.
ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ නව වෙබ් අඩවිය විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
වකුගඩු රෝගින් සඳහා වු ජනාධිපති අරමුදල සඳහා රුපියල් ලක්ෂ 25 ක පරිත්‍යාගයක් සිදු කිරීමද මෙහිදී සිදු වූ අතර වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ද වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.