මිහිඳු පෙරහැර, මින්නේරි දේවාල පෙරහැර බිසෝබණ්ඩාර දේවාල පෙරහැර, ගගේ දේවාල පෙරහැර, කුඩා මින්නේරි දේවාල පෙරහැර, හිගුරක බණ්ඩාර දේවාල පෙරහැර, ශිව දේවාල පෙරහැර, පත්තිනි දේවාල පෙරහැර යන පෙරහැර හතකින් සමන්විත මෙම පොසොන් දළදා පෙරහැර අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් සහ නර්තන කණ්ඩායම් විවිධ සංස්කෘතික කණ්ඩායම් රැසකින් සමන්විතව වීම විශේෂත්වයකි.
පොලොන්නරුව වාර්ෂික පොසොන් දළදා පෙරහැර මෙවර පවත්වනු ලැබුවේ 44 වෙනි වතාවටය.
පොලොන්නරු සොළොස්මස්ථානාධිපති අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ ශ්‍රී උපාලි නාහිමියන්ගේ අනුශාසන පරිදි පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තමන්කඩුව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය ප්‍රමුඛව දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ව මෙම පොසොන් දළදා පෙරහැර සංවිධානය කරනු ලැබීය.
ඓතිහාසික පොලොන්නරුව වටදාගෙය අබියසින් ආරම්භවී පොලොන්නරුව නගරය, රෝහල හංදිය අසලින් රවුම් පාරට පිවිස නැවතත් පොලොන්නරුව සංචාරක පොලීසීය වට රවුම අසලින් පොලොන්නරුව නගරය ඔස්සේ ගමන්කොට වටදාගෙය අසලින් පෙරහැර ගෙවැදීණි.
මෙම අවස්ථාවට උතුරුමැද ප්‍රධානඅමාත්‍ය පේෂල ජයරත්න, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්එස්. සේනානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.
අද පෙරවරුවේ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ දිය කැපීමේ චාරිත්‍රයෙන් අනතුරුව පෙරහැර කටයුතු නිමාවට පත් කෙරිණි.
AP/DMU-Polonnaruwa