නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙට ලොව දෙස මෙත් සිතින් බලමු – ජනපති

    ජූනි 19, 2016

    ඉතිහාසයේ වරින්වර මතුවූ කිසිදු ආක්‍රමණයකට හෝ බලවේගයකට අපගේ ඒ සංස්කෘතික ආධ්‍යාත්මය බිඳ දැමීමට නොහැකි වූ බවද මේ උතුම් පොසොන් දිනයේදී සිහිපත් කරමින් ඒ නිර්මල දහමත් සුනිමල සංස්කෘතියත් සමඟ පිබිදුණු අපට අපගේ දුහුල් තැන් ලිහිල් තැන් විමසා බලා හෙට ලොව දෙස මෙත් සිතින් බැලීමට බාධාවක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදට (19) යෙදී ඇති පොසොන් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කරයි .

    අනුබුදු මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කර බුදුදහම හා බුදුසසුන ස්ථාපිත කරමින් බෞද්ධ සංස්කෘතියේ හා බෞද්ධ ශිෂ්ටාචාරයේ අපූර්ව ලක්ෂණවලින් සිංහල සංස්කෘතිය හා සිංහල සභ්‍යත්වය විචිත්‍ර කළ ඓතිහාසික මතක සටහන් සිහිපත් කෙරෙන පොසොන් පොහෝ දිනය අද බවත්, වසර දෙදහස් තුන්සිය විසිතුනක් (2323) සපිරි එම ඓතිහාසික සිදුවීම සිංහල සංස්කෘතියේ පුනරුත්පත්තිය ලෙස විද්වත්හූ අගයන බවත්,  එදා අනුරාධපුරය කේන්ද්‍ර  කර ගනිමින් ව්‍යාප්ත වූ බුදුදහම හා බෞද්ධ දර්ශනය තුළින් අප ලද අධ්‍යාත්මික ප්‍රබෝධයද සංස්කෘතික ආඪ්‍යත්වයද අසාමාන්‍ය  වු බවත් එම පණිවිඩය මගින් ජනාධිපතිතුමා පෙන්වා දී ඇත.

    බුදුදහමේ උතුම් සහනසීලත්වයෙන් හා මානව දයාවෙන් අපේ ජීවිත පුරවා ගැනීමට මේ උතුම් දිනයේ අදිටන් කර ගනිමු යයි සිය පණිවිඩයේ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කරයි.

     

     

    පොසොන් දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිකුත් කළ සම්පූර්ණ පණිවිඩය මෙසේය:-

     

                                                                                            පොසොන් පණිවුඩය

    අනුබුදු මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කර බුදුදහම හා බුදුසසුන ස්ථාපිත කරමින් බෞද්ධ සංස්කෘතියේ හා බෞද්ධ ශිෂ්ටාචාරයේ අපූර්ව ලක්ෂණවලින් සිංහල සංස්කෘතිය හා සිංහල සභ්‍යත්වය විචිත්‍ර කළ ඓතිහාසික මතක සටහන් සිහිපත් කෙරෙන පොසොන් පොහෝ දිනය අදයි. වසර දෙදහස් තුන්සිය විසිතුනක් (2323) සපිරි එම ඓතිහාසික සිදුවීම සිංහල සංස්කෘතියේ පුනරුත්පත්තිය ලෙස විද්වත්හූ අගයති. එදා අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාප්ත වූ බුදුදහම හා බෞද්ධ දර්ශනය තුළින් අප ලද අධ්‍යාත්මික ප්‍රබෝධය ද සංස්කෘතික ආඪ්‍යත්වය ද අසාමාන්‍ය විය.

     

    අවිහිංසාව, සහනසීලත්වය, මානවබන්ධුත්වය, සමානාත්මතාව හා අපිස් සරල චාම් ජීවන චර්යාවද අදීන චින්තනයද අපගේ ආඪ්‍ය සංස්කෘතික ලක්ෂණ බවට පත්වූයේ ද මහින්දාගමනයේ අග්‍රඵල වශයෙනි.

     

    සිංහල භාෂා සාහිත්‍ය මතු නොව සෞන්දර්ය කලා ශිල්ප යනාදියත් පෙර නොවු විරූ විචිත්‍රත්වයකින් හා භාව පූර්ණත්වයකින්ද උජ්වලිත වූයේ ඒ සංස්කෘතික පුනරුදය නිසාමය. අනුරාධපුර සමාධි පිළිමය, සඳකඩ පහණ, අවුකන පිළිමය වුවද ඒ සංස්කෘතික දායාදය සමස්ත ලෝකයටම හඬගා කියන සංකේත වැන්න.

     

    ඉතිහාසයේ වරින්වර මතුවූ කිසිදු ආක්‍රමණයකට හෝ බලවේගයකට අපගේ ඒ සංස්කෘතික ආධ්‍යාත්මය බිඳ දැමීමට නොහැකි වූ බව ද මේ උතුම් පොසොන් දිනයේදී සිහිපත් කළ මනාය. ඒ නිර්මල දහමත් සුනිමල සංස්කෘතියත් සමඟ පිබිදුණු අපට අපගේ දුහුල් තැන් ලිහිල් තැන් විමසා බලා හෙට ලොව දෙස මෙත් සිතින් බැලීමට බාධාවක් නැත. බුදුදහමේ උතුම් සහනසීලත්වයෙන් හා මානව දයාවෙන් අපේ ජීවිත පුරවා ගැනීමට මේ උතුම් දිනයේ අදිටන් කර ගනිමු.

       

    ඔබ සැමට බුදුදහමේ ශාන්තිය ද, අනන්ත බලය ද, තුණුරුවන්ගේ ආශිර්වාදය ද ලැබේවා !

     

         

        මෛත්‍රීපාල සිරිසේන

        2016 ජුනි මස 16 වන දින

     

    pmdnews

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya