නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුමන විවේචන එල්ල වුවද සහජීවනයෙන් ජීවත් විය හැකි රටක් ගොඩනැගීමට කැප වෙනවා - ජනපති

    ජූනි 08, 2016

    ජාත්‍යන්තරයේ සියලු රටවල හොඳ හිත දිනාගනිමින් උත්සාහ කරන්නේ මෙතෙක් පරාජය කළ නොහැකි වූ ශී‍්‍ර ලංකාවේ ඊළාම් සිහිනය පිළිබඳ එල්.ටී.ටී.ඊ මතවාදය ජාත්‍යන්තරයෙන් තුරන් කර දැමීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    කුමන විවේචන සහ අපවාද එල්ල වුවද සියලු ජනතාවට සහජීවනයෙන් සහ සමානාත්මතාවයෙන් ජීවත් විය හැකි රටක් ගොඩනැගීමට කැපවන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

     

    දෙහිවල නගර ශාලාවේ පැවති සී.වී. ගුණරත්න ගුණ සමරු උත්සවයට එක් වෙමින් ඊයේ (07) ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

     

    රුදුරු ත‍්‍රස්තවාදී බෝම්බ ප‍්‍රහාරයකට ලක්ව දැයෙන් සමුගත් කෘතහස්ත දේශපාලනඥයෙකු වූ දිවංගත අමාත්‍ය සී.වී. ගුණරත්න මහතාගේ 16 වන ගුණ සමරුව නිමිත්තෙන් සී.වී. ගුණරත්න ගුණ සමරු කමිටුව විසින් උත්සවය සංවිධානය කර තිබුණි.

     

    එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය රට තුළ යුදමය වශයෙන් පරාජය වී තිබුණද ඔවුන්ගේ මතවාදයන් තවමත් ජාත්‍යන්තරය තුළ පරාජය වී නොමැති බව පැවසූ ජනාධිපතිතුමා පශ්චාත් යුද සමයක වගකීම් නිසි ලෙස ඉටු කරමින් එම මතවාදයන් ද පරාජය කර දැමීමේ වගකීම මේ වන විට වත්මන් රජය ඉටු කරමින් සිටින බව ප‍්‍රකාශ කළේය.

    රටක් සහ ජාතියක් ලෙස සහෝදරත්වයෙන් සහ සහජීවනයෙන් ජීවත්විය හැකි සමාජ ක‍්‍රමය තහවුරු කිරීමට මහා සංඝරත්නය ප‍්‍රමුඛ සියලු අන්‍යාගමික පූජකවරුන්ට මහඟු වගකීමක් පැවරී ඇති බවද පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා කැපවන ලෙස ද සියලු ආගමික නායකයින්ගෙන් ඉල්ලා සිටියේය.

     

    මිනිසුන්ට ආදරය කළ, මිනිසුන් ආදරය කළ විශිෂ්ට දේශපාලන චරිතයක් වූ සී.වී ගුණරත්න මහතා සියලු ජාතීන් අතර තිබිය යුතු එකමුතුකම සහ සහජීවනය ගොඩනැඟීමට විශිෂ්ට කැපවීමක් කළ නායකයෙකු බවත් නවක දේශපාලනඥයින්ට ලබාගත හැකි ආදර්ශයන් බොහොමයක් එතුමාගේ දේශපාලන චරිතය තුළ තිබූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

     

    ඒ මහතා ප්‍රකාශ කළේ දේශපාලන චරිතවල වටිනාකම් උරගා බලමින් හෙටට අවශ්‍ය දේශපාලන නායකයින් බිහිකිරීම යුගයේ අවශ්‍යතාවයක් බවයි.

     

    ජනාධිපතිතුමා විසින් දිවංගත සී.වී. ගුණරත්න මහතාගේ ඡායාරූපයකට මල්දමක් පළඳවා උපහාර පුද කිරීමෙන් අනතුරුව ගුණ සමරු උත්සවය ආරම්භ කෙරිණි.

     

    සී.වී ගුණරත්න ගුණ සමරු කමිටුව විසින් ප‍්‍රකාශයට පත් කරන ලද සී.වී. ගුණරත්න ගුණ සැමරුම් සමරු කලාපය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූණු අතර ගුණ සමරුව නිමිත්තෙන් නිකුත් කළ සමරු මුද්දරය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

     

    සී.වී. ගුණරත්න මහතා සමඟ දේශපාලන ක්ෂේත‍්‍රය තුළ කටයුතු කළ සමකාලීනයින් 15 දෙනෙකුට උපහාර තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    වෘත්තීය අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප‍්‍රදානයක් ද සිදු කෙරිණි.

    අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, අබ්දුල් හලීම් මොහොමඞ්, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද, සී.වී. ගුණරත්න ගුණ සමරු කමිටුවේ සභාපති අධිනීතිඥ කීර්ති උඩවත්ත මහතා ඇතුළු සාමාජිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya