මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විෂමතා තුරන් කරමින් ප්‍රතිලාභ අහිමි වී ගිය ප්‍රදේශ සංවර්ධනයට වත්මන් රජයේ ප්‍රමුඛ අවධානය - ජනපති

    පෙබරවාරි 29, 2016

    පසුගිය රජය අනුගමනය කළ යම් යම් ප්‍රතිපත්ති හේතුවෙන් රටේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ අහිමි වී ගිය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා දශකයක් පුරා සිදු වූ සංවර්ධනයේ විෂමතා තුරන් කරමින් සංවර්ධනයෙන් අඩු ප්‍රදේශ සංවර්ධනය කරා ගෙන යාමට වත්මන් රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පොලොන්නරුව මහ රෝහලේ නව හෘද රෝග ඒකකය අද (28)  ජනතා අයිතියට පවරා දෙමිනි.

    පොලොන්නරුව මහ රෝහලේ පැවති දැඩි අඩුපාඩුවක් සපුරාලමින් නවීන උපාංග සහිතව ඉදිකර ඇති මෙම හෘද රෝග ඒකකය ඇදන් 48 කින් යුත් වාට්ටුවකින් සමන්විතය.

    එමෙන්ම රෝහලේ පැවති තවත් අඩු පාඩුවක් සපුරාලමින් රුපියල් මිලියන 47 ක වියදමින් ඉදිකළ නවීන පහසුකම් සහිත ආපන ශාලාව සහ රැදී සිටීමේ මධස්ථානයද අද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිනි.

    රුපියල් මිලියන 465 ක වියදමින් ඉදිකිරීමට අපේක්ෂිත හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය සඳහා මුල්ගල් තැබීමද මේ හා සමගාමීව ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ දිවයිනේ සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය රෝහල් වෙත අවශ්ය පහසුකම් නොඅඩුව ලබා දෙමින් ඒවා ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි.

    හොද සෞඛ්‍යය සේවාවක් ලබා ගැනීමට මෙන්ම හොද අධ්‍යාපනයක් ලබා ගැනීමට ජනතාව කොළඹට ඇදී ආ යුගය නිමා කර දිවයිනේ සෑම පළාතකටම එක ලෙස සංවර්ධනයේ ප්‍රතිලාභ ලබාදීම අරමුණ බවද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    එමෙන්ම විශේෂඥ වෛද්‍ය සේවාවේ සිට හෙද, පරිපූරක, තාක්ෂණික සියලු අංශවල පුරප්පාඩු සපුරාලමින් සෞඛ්‍යය සේවාව තුළ මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන්ද රජය විශේෂ අවධානය යොමු කර කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා පැවසීය.

    පොලොන්නරුව මහ රෝහලේ ප්‍රථම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම පසුගිය පෙබරවාරි 08 වනදා සාර්ථකව සිදු කෙරෙණු අතර ඒ සඳහා දායකත්වය ලබාදුන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායම ඇතුළු සියලු කාර්ය මණ්ඩලය වෙත ජනාධිපතිතමා මෙහිදී සිය ස්තූතිය පළ කර සිටියේය.

    උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිරිපාල ගම්ලත්, නාලක කොලොන්නේ, සෞඛ්‍යය සේවා අධ්‍යයක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, යන මහත්වරුන්ද, පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya