මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කිරීමට පෙළ ගැසෙන්න – ජනපති

    දෙසැම්බර් 18, 2015

    ආණ්ඩුවක් බලයට පත්වූ විට ඊට පසු දින සිට එම ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු නොකර රට සහ රටේ අනාගතය වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කිරීමට සියලූදෙනා කැපවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය තුළ පත්වන නව රජයට සියලූදෙනාගේ සහයෝගය ලබාදෙමින් රට ඉදිරියට ගෙන යාමට පෙළගැසීම ලොව බොහෝ රටවල දේශපාලන වැඩපිළිවෙළ වුවද අපේ රටේ දේශපාලනය තුළ පසුගිය දශක ගණනාව පුරා දක්නට ලැබුණේ බලයට පත්වූ දේශපාලනඥයින්ට චෝදනා කරමින් ඔවුන් එළවා දැමීමට කුමන්ත‍්‍රණ සිදු කිරීම බව ද ජනාධිපතිතුමා පැවසීය.

     

    කම්කරු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සමාජ කථිකාවත සහ වැඩපොළ සහයෝගිතා දීප ව්‍යාප්ත නිර්මාණ තරගාවලියේ ත්‍යාග සහ සහතික පත් ප‍්‍රදානෝත්සවය ඊයේ (17) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එම අවස්ථාව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

     

    නව රජයක් ලෙස නව දැක්මකින් යුතුව රටේ ආර්ථික සහ සමාජ සංවර්ධනය සදහා ඉදිරිපත් කරන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට නොව සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහය ලබාදීම රට වෙනුවෙන් යුතුකම් ඉටුකරන රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සියලූදෙනාගේ වගකීම බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

     

    නිෂ්පාදන කි‍්‍රයාවලිය හා සම්බන්ධ සේව්‍ය සේවක දෙපාර්ශවය අතර කාර්මික සම්බන්ධතාවය තහවුරු කිරීම අරමුණු කර ගනිමින් සමාජ කථිකාවත සහ වැඩපොළ සහයෝගිතා තරගාවලිය වාර්ෂිකව සංවිධානය කෙරේ.

     

    මෙම අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මෙරට නිෂ්පාදන කි‍්‍රයාවලිය අපේක්ෂිත මට්ටමින් පවත්වාගෙන යාමට සේව්‍ය සේවක දෙපාර්ශවය අතර සබදතාව හා කාර්මික සාමය මැනවින් පවත්වාගෙන යාම ඉතා වැදගත් බවයි.

     

    රාජ්‍ය අංශය තුළ පවතින බෙදීම් කඩිනමින් අවසන් විය යුතු බව ද පැවසූ ජනාධිපතිතුමා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවකයින් තුළ තිබිය යුතු සහෝදරත්වය සහ මිත‍්‍රශීලිභාවය ඉහළ නංවා ගනිමින් ගුණාත්මක සේවාවක් රට වෙනුවෙන් ලබාදීමට සියලූදෙනා කටයුතු කළයුතු බව ද ප‍්‍රකාශ කළේය.

     

    2015 සමාජ කතිකාවත සහ වැඩපොළ සහයෝගිතා දීප ව්‍යාප්ත නිර්මාණ තරගාවලයේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතිකපත් ප‍්‍රදානය කිරීමට ද ජනාධිපතිතුමා සංකේතාත්මකව එක් විය.

     

    කම්කරු හා වෘත්තිය සමිති සබදතා අමාත්‍ය ඩබ්.ඩි.ජේ. සෙනෙවිරත්න, රාජ්‍ය අමාත්‍ය රවින්ද්‍ර සමරවීර, අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න, කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya