නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍යවේදීන් නිරන්තරයෙන් අපහසුවට පත්වීම වැළැක්වීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අනුගමනය කරනවා

    දෙසැම්බර් 16, 2015

    වෘත්තීය ජනමාධ්‍යවේදීන් නිරන්තරයෙන් අපහසුවට පත්වීම වැළැක්වීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත් මාධ්‍යවේදීන්ගේ වෘත්තීමය අයිතිවාසිකම් තහවුරු කරමින් කුසලතාව වැඩිදියුණු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.


    ජාතීන් අතර වාර්ගිකත්වය හා ජාතිකත්වය ඉස්මතු වන අයුරින් වාර්තා කිරීම මාධ්‍ය විසින් කිසිදු මොහොතක සිදු නොකළ යුතු බවත් මාධ්‍ය ආචාරධර්ම හා මාධ්‍ය සදාචාරයට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත් අමාත්‍යවරයා පැවැසීය.

     

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව සඳහන් කළේ ජනමාධ්‍යවේදීන් නියෝජනය කරන සංවිධාන රැසක් සමඟ පාර්ලිමේන්තු සංකීර්ණයේදි අද (16) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

     

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ, වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ ගාස්තුව අඩු කිරීම සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලයේදි සාකච්ඡා කරන බවයි.පසුගිය රජය සමයේ ගෙන ඇති තීරණයකට අනුව වෙබ් අඩවියක් ලියාපදිංචි කිරී‍ම සඳහා රුපියල් 25,000 ක ගාස්තුවක් ගෙවීමට සිදු වන බව මාධ්‍ය සංවිධාන විසින් පෙන්වා දුන් අතර එම ගාස්තුව රුපියල් 15,000 දක්වා හෝ අඩු කරන ලෙස ද එම සංවිධාන ඉල්ලා සිටියේය. ඒ පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ, මේ පිළිබඳව සොයා බලා ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදි සාකච්ඡා කරන බව ය.

     

    එමෙන්ම දකුණේ මාධ්‍යවේදීන් කෙරෙහි මෙන්ම උතුරේ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බවත් දෙමළ
    මාධ්‍යවේදීන් වෙනුවෙන් ලබන වසරේ පෙබරවාරි මාසයේදි දෙදින වැඩමුළුවක් යාපනයේදි සංවිධානය කරන බවත්
    අමාත්‍යවරයා කීය.


    මෙම සාකච්ඡාවේදි පසුගිය දිනවල මාධ්‍යවේදීන් පිරිසක් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් සිදු කළ ප්‍රශ්න කිරීම
    සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ අතර නැවත එවැනි සිදුවීම් ඇති නොවන සේ කටයුතු කිරීම කෙරෙහිද අවධානය යොමු විය.
    එමෙන්ම යම් මාධ්‍ය වාර්තාවක් මඟින් කවරෙකුට හෝ අපහාසයක් සිදු වූ විට ප්‍රශ්න කිරීම් වෙනුවෙන් මාධ්‍යවේදීන්
    පොලිසියට ගෙන්වන බවත් අපහාස නීතිය ඉවත් කර ඇති හෙයින් එය සිදු කළ නොහැකි බවටත් මෙහිදී මාධ්‍ය ක්‍රියාකාරීහු
    පෙන්වා දුන්හ.

     


    විෂය බාර ඇමැතිවරු, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් හා මාධ්‍ය සංවිධාන නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවේදි
    වෘත්තීය ජනමාධ්‍යවේදීන් නිරන්තරයෙන් අපහසුවට පත්වීම වැළැක්වීම, උතුරේ මාධ්‍යවේදීන්ට පුහුණු වැඩමුළුවක්
    පැවැත්වීම, මාධ්‍ය හැඳුනුම්පත ලබාදීමේ ක්‍රමවේදය විධිමත් කිරීම, මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පුහුණු පාඨමාලාවක්
    සංවිධානය කිරීම, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ලෙස ජනමාධ්‍යවේදීන් සඳහා මාසිකව සම්මන්ත්‍රණ දෙකක් පැවැත්වීම,
    වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ ගාස්තුව අඩු කිරීම කෙරෙහි සලකා බැලීම, පසුගිය රජය සමයේ ඇතැම් වෙබ් අඩවි හා
    මාධ්‍යවේදීන්ට නඩු පවරා පොලීසිය සන්තකයේ තබාගෙන ඇති මාධ‍්‍යවේදීන්ට අයත් භාණ්ඩ ලබාදීමට කටයුතු කිරීම, දෙමළ
    මාධ්‍යවේදීන්ට ආරක්ෂක අංශ විසින් තවමත් සිදු වේ යැයි කියන බලපෑම් සම්බන්ධයෙන් සොයා බැලීම යනාදි කරුණු රැසක්
    පිළිබඳව සාකච්ඡා කෙරිණි.


    මේ අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව, රජයේ ප්‍රවෘත්ති
    අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනි ගුණතිලක, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර
    සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි, වෘත්තීය ප්‍රවෘත්ති පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපති දීප්ති
    අධිකාරි යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya