නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවට විතරයි මේ ආණ්ඩුව මාරු කරන්න පුළුවන්- දේශපාලනයෙන් අනාථ වුණා කියා ජනතාව අනාථ කරන්න එපා

    දෙසැම්බර් 10, 2015

    මෙය වෘත්තීය සමිති අරඟලයක් ද? දේශපාලන අරඟලයක්ද? ජනතාවට විතරයි මේ ආණ්ඩුව මාරු කරන්න පුළුවන්. තමන් දේශපාලනයෙන් අනාථ වුණා කියා ජනතාව අනාථ කරන්න  එපා යැයිඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

     

    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ,අද (10) පාර්ලිමේන්තුවේ දී කරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.කාරක සභා අවස්ථාවේ විවාදයේ හත්වැනි දිනය වන අද දින කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය,සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනේ.

     


    මේ රටේ අඩු වූ සෞඛ්‍ය සේවය  වැඩි කිරීමට කටයුතු කරනවා. පුද්ගලික අංශයේ පඬි වැඩි කරන්න වුවමනා නීතිය ඉදිරිපත් කර තිබෙනවා. ජනවාරි මාසයේ අපි මෙය සම්මත කරනවා. එය ප්‍රමාද වුණා. එයට සමාව ඉල්ලනවා.

     

     මේ රටේ වතුකර ජනතාවගේ වේතන වැඩි කිරීමට අපි පොරොන්දු වුණා. මුදල් අමාත්‍යතුමාට ස්තූතිවන්ත වෙනවා,අතුරු අයවැයෙන් සහ මෙම අයවැයෙන් විශ්‍රාමිකයන්ට අප්‍රේල් මාසයේ රුපියල් 1000ක් වැඩි කළා. සමෘද්ධි දීමනාව වැඩි කළා. ගෑස් රුපියල් 300කින් අඩු කළා. කිරිපිටි රුපියල් 61කින් අඩු කළා, පාන් පිටි අඩු කළා, සීනි රුපියල් 10කින් අඩු කළා, භූමි තෙල් රුපියල් 6කින් අඩු කළා. මේ ඔක්කෝම, ගෑස් ,කිරිපිටි,සීනි මේ සියල්ලම අඩු කළා.

     


    මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 1000කින් ඉහළ දැම්මා. ගොවි ණය සියයට 50%ක් කපා හැරියා. ජ්‍යේෂ්ඨ පුරවැසි තැම්පත් සඳහා සියයට 15%ක පොළිය දුන්නා. ගැබිණි මව්වරුන්ට රුපියල් 20,000ක දීමනාවක් දුන්නා.

     

    වී කිලෝවට රුපියල් 50ක සහතික මිළක් දුන්නා. අර්තාපල්වලට රුපියල් 80ක සහතික මිළක් දුන්නා. තේ,රබර්වලට සහනාධාරය දුන්නා.ජනාධිපති වැයශීර්ෂය අඩු කළා. රණවිරුවන්ට විරු දිරිය නමින් විශේෂ බැංකු ණය ක්‍රමයක් ආරම්භ කළා.ධීවර ජනතාවට ධීවර රක්ෂණ ක්‍රමයක් අරම්භ කළා.

     

    ඉන්ධන මිල අඩු කළා. මේ සියල්ලම එක වර්ෂයක අපි ලබා දී තිබෙනවා. මේ සහන ජනතාවට ගියා. ජනතාව මෙම සහන වින්දා.මේවට විරුද්ධව ද වර්ජනය කරන්නේ? මේ වර්ජනය කරන්නේ තෙල් මිළ අඩු කළාටද? නැත්නම් විශ්‍රාම දීමනාව වැඩි කළාට ද? සමෘද්ධි දීමනාව වැඩි කළාටද?

     


    කරුණාකරලා කියන්න, වෘත්තීය සමිති නායකයින්. මොකක් වෙනුවෙන්ද මේ කෑ ගහන්නේ. අඩු කළ දේ වැඩි කරන්නද?ඒකද අහන්නේ? තව මොනාද කෑ ගහන්නේ? මොනවද ඉල්ලන්නේ? ඒකයි මම අහන්නේ? මේවා ප්‍රතික්ෂේප කරනවා නම් කියන්න.

     

    ''අපිට මේ අයවැය එපා..මේ එකක්වත් එපා...කරුණාකර පරණ තත්ත්වයට යන්''...අපිට එය කරන්න බෑ. අපිට වරමක් දී තිබෙනවා, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනධිපති කර මේවා කරන්න.

     

    ඇයි බැංකු සංගමය කැඩුවේ? ගෙව්වේ නැති ඊ.පී.එෆ්. වහාම ගෙවන්න කියලා වර්ජනය කරන්න. ඒක සාධාරණයි. කම්කරු ඇමැතිතුමාට සහයෝගය දෙන්නේ නැත්තේ, ඇයි ඉතුරු අර්ථ සාධක අරමුදල් එකතු කරන්න?.


    දැන් කියනවා, රුපියල් 10,000 ගැන. අපි 10,000 දීමනාව දුන්නා. එකපාර 10,000 වැටුපට දුන්නොත් ඕකෙන් භාගයක් යයි
    වර්ජනයට. එක එක වැටුප් තල යෝජනා කරන්න. අපිට ප්‍රශ්නයක් නෑ. ජනතාවගේ අතට මුදල් දෙන්න. වාහන බලපත්‍රයක් අවුරුදු 10කට වරක් දෙනවා කිව්වා.

     

    අද උදෙත් බැංකු නිලධරීන් ඇවිත් සාකච්ඡා කළා. සාධාර බයක් තියෙනවා කිව්වා, ලීසින් අඩු වුණොත් බැංකුවල ආදායම
    අඩුවෙයි කියලා. එහෙම කරන්නේ නෑ කියා මම කිව්වා. අදායම අඩුවෙන්න ඉඩ දෙන්නේ නෑ.

     

    ලෑස්තියි කතා කරන්න. වර්ජන වැඩක් නෑ. රෝෂාන් චානකට වෙඩි තියනකොට කොහෙද ඔය බැංකු සංගම් සිටියේ? රතු පස්වල මරණකොට කොහෙද හිටියේ. මාධ්‍යවේදීන්ට ගැහුව වේලාවේ කොහෙද හිටියේ.මොකක්ද ප්‍රශ්නය? මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වී සිටිනවාට අකමැතිද? මේවා කෙළින් කියන්න.

     


    අපි ඊළඟ අවුරුදු පහේ බලන්නේ අවම ජීවන වැටුපක් දෙන්නේ කොහොමද කියලා. අවම වැටුප මදි ජීවත් වෙන්න. ළමයින්ට ටියුෂන් දෙන්න, බෙහෙත් ගන්න තියෙනවා, ප්‍රශ්න තියෙනවා, මේවා ඔක්කෝම ජීවත් වෙන්න වුවමනා ඒවා. ඒක හරි ඉල්ලන්න. කියනවා, සීප එපාලු. සීපා දෙන්නේ නැත්නම් කොහොමද එපා කියන්නේ?නැති දෙයක් අහෝසි කරන්න බෑ. ජීවන වැටුප මදි කියන්න. ඒවා ඉල්ලන්නේ නෑ.ඒවා නෑ.

     

    දැන් අපි සංවර්ධනයට යනවා.එම සංවර්ධනය ප්‍රතික්ෂේප කරනවද? ඉඩම් හා නිවාස සින්නක්කර ලබාදීමට විරුද්ධද? නිවාස ලක්ෂ පහක් හදන එක විරුද්ධ ද? රැකියා ලක්ෂ 10ක් හදන එකට විරුද්ධද? මෙගාපොලිෂ් හදන එකට විරුද්ධ ද? මේවට ද විරුද්ධ වෙන්නේ?


    වකුගඩු රෝගය පොහොර නිසා කියලා වෛද්‍යවරු කිව්වා. ඒ නිසා පාලනයක් ඕන කිව්වා.එමඟින් වකුගඩු රෝගය අඩු කරන්න පුළුවන්.මෙයාලා කියනවා පොහොර ටික ආපසු දෙන්නලු.මම වෛද්‍යවරයෙක් නොවේ.

     

    තමන්ගේ වෘත්තීය සමිතිය කැඩුව,අය කියන්නේ. තමන්ගේ අයට ද්‍රෝහි වුණානම් තමන්ගේ ජනතාවට ද්‍රෝහිවන එක හන්න දෙයක් නෑ. මෙය වෘත්තීය සමිති අරඟලයක් ද? දේශපාලන අරඟලයක්ද?

     

    අපි කතා කරමු. ආණ්ඩුව වෙනස් කරන්න යනවද?. 2016 අවසන් වනවිට තව ආණ්ඩුවක් ඇති කරනවාද? ඔහොම හීන දකින
    අයට වෛද්‍ය භාෂාවෙන් වචනයක් තිබෙනවා. අද ජනතා සහයෝගය නැති නිසා පෙන්වන්නේ රූපවාහිනියෙන්,මාධ්‍යවලින්. මේ අය පරණ යාළුවෝ. එකට හිටපු අය.

     

    වදින්නේ ආණ්ඩුවට නොවේ ජනතාවටයි. ඒකයි සිදු වෙන්නේ. පළමු වරට මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා,මේ රටේ සංවර්ධනය කරනවා. අපි බලන්නේ එකතුවෙලා වැඩකරන්න. ජනතාවට හිරිහැර කරන්න එපා. ජනතාව බලගෙන ඉන්නේ නෑ.ආණ්ඩුව වෙනස් කරන්න නම් ඊළඟ මහමතිවරණයට තරඟ කරන්න.


    ජනතාවට විතරයි මේ ආණ්ඩුව මාරු කරන්න පුළුවන්. එය පිළිගන්න. තමන් දේශපාලනයෙන් අනාථ වුණා කියලා ජනතාව
    අනාථ කරන්න යන්න එපා. වෘත්තීය සමිති ජනතා අයිතීන් ආරක්ෂා කරන්න ඕන. ඒ වෙනුවෙන් අපි කැප වී ඉන්නවා. තවත්
    සහන දෙනවා. තවත් වැඩකටයුතු කරනවා. මේ යන ගමන වෙනස් වෙන්නේ නැතැයි ද අග්‍රාමත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya