මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාරි ඉංජිනේරුවෙකු සමාන වාරි දැනුමක් පැරණි ගොවියාට තිබෙනවා

    දෙසැම්බර් 08, 2015

    වර්තමාන වාරි ඉංජිනේරුවරයෙකුට සමාන වාරි දැනුමක් අපේ ඇතැම් පැරණි ගොවියන් සතුව පවතින බැවින් ගොවි ජනතාව සමඟ කටයුතු කිරීමේදී ඔවුන් සතුව පවතින දැනුම, අත්දැකීම් හා පරිණත බව කිසිවිටෙක බැහැර නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය පැවසීය.

    ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලාවේ පැවති ගල්ගමුව අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමාධාරී ඉංජිනේරු සහකාරවරුන්ගේ සහතිකපත් ප‍්‍රදානෝත්සවයට ඊයේ (07) එක්වෙමිනි.

     

    ගොවියාගේ ලෙයින්, කඳුලෙන් සහ සුසුමෙන් ගොඩනැගෙන කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමේ පුළුල් වගකීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පැවරී ඇති බව සිහිපත් කළ ජනාධිපතිතුමා රටකට කොතෙක් ආයෝජනයන්, සංවර්ධන ව්‍යාපෘති පැමිණියත් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ගොවි ජනතාව දක්වන දායකත්වය සම කළ නොහැකි බව ද කියා සිටියේය.

     

    තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා පැවසුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වෘත්තීකයනට එහි වටිනාකම තම රුධිරයට බද්ධ වී තිබිය යුතු බවත් පරාක‍්‍රම සමුද්‍රය අසල ගොවි ගම්මානයක උපන් තමන් තුළද එවන්ම බැඳීමක් වාරි කර්මාන්තය සම්බන්ධයෙන් ඇති බවත්ය.

     

    ගොවි ජනතාව නිරන්තරයෙන් ආර්ථිකය හා වෙනත් ගැටළු සමග වෙළී බැඳී සිටින පිරිසක් බව වාර්මාර්ග දෙපාර්තමේන්තු නිළධාරීන් වටහා ගත යුතු බවද ගොවීන් සමග කටයුතු කිරීමේදී ගැටුමි ඇති නොකර බුද්ධිමත්ව ක‍්‍රියා කිරීම ඉතා වැදගත් වන බවද ජනාධිපතිතුමා වැඩි දුරටත් සඳහන් කළේය.

     

    ඩිප්ලෝමාධාරී ඉංජිනේරු සහකාරවරුන් 170 දෙනෙක් හට ජනාධිපතිතුමා අතින් සහතික පත් පිරිනැමුණු අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වසර 30 කට වැඩි කාලයක් සපිරූ වෘත්තීකයන් 10 දෙනෙකුද ජනාධිපතිතුමා අතින් මෙහිදී තිලිණ ලැබීය.

     

    ජනාධිපතිතුමා විසින් අපේ වාරි සංස්කෘතිය වෙනුවෙන් කළ විශිිෂ්ඨ දායකත්වය අගය කරමින් විජිත් විජයමුණි සොයිසා අමාත්‍යවරයා සහ වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන් සංගමයේ සභාපති ඞී.බී.යූ. විතාන මහතා විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනැමීය.

     

    වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍යාංශය විසින් ප‍්‍රථම වරට එළි දක්වනු ලැබූ ”රළපනාව” පුවත්පත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙම අවස්ථවේ දී සිදුකෙරිණ.

     

    තවදුරටත් අදහස් දක්වමින් ගොවියාට කලට වේලාවට ගොවිතැන් සඳහා ජලය, පොහොර මෙන්ම වෙළඳපළ සකස් වේ නම් ඔවුන්ගේ සිත් සන්සුන් කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ගොවි ගැටලු තේරුම්ගෙන ඔවුන් සමඟ මානූෂීය ලෙස කටුයතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ද සඳහන් කළේය.

     

    ඞී.එස්. සේනානායක මහතා එදා ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කරමින් ඇරඹූ ජාතික කෘෂිකර්ම ප‍්‍රතිපත්ති අදටත් ගැළපෙන බව සිහිපත් කළ ජනාධිපතිතුමා එදා සිට අද දක්වා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉටු කෙරුණු සේවය ඉතා විශිෂ්ට බව ද කියා සිටියේය.

     

    ඇළ මාර්ග ඔස්සේ ගලායන ජලයෙන් විශාල ප‍්‍රමාණයක් අපතේ යන බව සිහිපත් කළ ජනාධිපතිතුමා අප භූමිය මෙන් දස ගුණයක ප‍්‍රමාණයක් සඳහා අප සතුව පවතින ජල සම්පත නිසි ලෙස කළමනාකරණය කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කළේය.

     

    මෙම සහතිකපත් ප‍්‍රදානෝත්සවයට වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩබි. රත්නායක වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු අබිදුල් මජීඞ් යන මහත්වරු ද හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya