මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිම සහනයක් ජනතාවගෙන් උදුරා ගන්නට බලාපොරොත්තු වන්නේ නෑ- අමාත්‍ය ගයන්ත කරුණාතිලක

    නොවැම්බර් 30, 2015

    කිසිම සහනයක් ජනතාවගෙන් උදුරා ගන්නට බලාපොරොත්තු නොවන බවත් සියලු දෙනාගේ වුවමනා විසඳිය හැකි ආණ්ඩුව මෙම සම්මුතිවාදී ආණ්ඩුව බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (30) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ විවාදයේ
    අඳහස් දක්වමිනි.


    ජනවාරි අටවැනිදා ඓතිහාසික විප්ලවයක් සිදු වුණා. ඒ විප්ලවය සිදු නොවන්නට නම් අද තත්ත්වය වෙනස් වන්නට ඉඩ තිබුණා. දකුණු
    පළාත නියෝජනය කරන මා පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ වැඩිම ඡන්දයෙන්. දකුණේ රාජපක්ෂලාටත් වඩා වැඩි ඡන්ද
    ලබාගනිමින් මම පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

    සියලු පක්ෂ අභිබවමින් මට ජයග්‍රනය කරන්න හැකි වුණා.අගෝස්තු 17 පැවැති මහමැතිවරණයෙන් පසුව ප්‍රධාන පක්ෂ දෙක එකතු වී
    සම්මුතිවාදී රජයක් පිහිටවනු ලැබුවා.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා.ඉන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මධ්‍ය කාලීන ආර්ථික ප්‍රතිපත්ති රාමුව ඉදිරි පත් කළා.ඉන් පසු නව රජයේ මංගල අයවැය මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඉදිරිපත් කළා.
    එවැනි අවස්ථාවක් දකුණු පළාතේ වැඩිම මනාප ලබමින් පාර්ලිමේන්තුවට පැමිණ කතා කිරීම සතුටක්.

     

    මෙවර අයවැය නිල්, රතු, කොළ සම්ප්‍රදායන්වලින් බැහැරව නව ක්‍රමවේදයකට ඉදිරිපත් කිරීම,සුවිශේෂී ලක්ෂණයක්. මෙවර අයවැයේ
    ඇති විශේෂ ලක්ෂණයක්. ඒවාගේ ම ප්‍රධාන දේශපාලන පක්ෂ 2ක එකතු වී ඉදිරි පත්කළ පළමු අයවැය ලේඛනය ලෙස මෙය තවත්
    සුවිශේෂියි.

     

    අයවැයක් ඉදිරිපත් කළාම, විපක්ෂය ලෙස වෙනදා කතා කළේ, අල, ළුණු, පරිප්පු ,සීනි ගැනයි. ඒ කාලේ බඩු මිලට ආණ්ඩු පෙරලන්න
    පුළුවන්. ඒ වගේම අයවැය පිළිබඳව එදා ඇසුවේ දුප්පත් මිනිසාට සහන කෝ? කියයි. මෙවර අයවැයෙන් එසේ අහන්න ඉඩ තබ නෑ.
    අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල අඩු කළා.

     

    අපි ඊයේ දැක්ක පාරිබෝගික අධිකාරිය ගොස් ඇතැම් වෙළඳසැල් වටලන ආකාරය. අධ්‍යාපනයට සෞඛ්‍යයට වැඩිම මුදලක් වෙන් කළේ
    මෙවර අයවැයයි.

     

    මෙවර අයවැය ගැන විපක්ෂයට කතා කරන්නට ඉතිරි වී තිබෙන්නේ දුම් පරීක්ෂාව හා වාහන මිල වැඩිවීම ගැන පමණයි.ඒ දෙකටත් අද
    සවස් වනවිට මුදල් ඇමැතිවරයා විපක්ෂයට පිළිතුරක් ලබාදේවී.

     

    අපි නිතර අහපු සටන් පාඨයක් තමයි''කොළඹට කිරි ගමට කැකිරි'' යන්න.නමුත් මෙවර අයවැය ගමට කිරි ලබාදුන් අයවැයක්.මෙවර
    අයවැය මඟින් ගම්මාන 14,000ක් සංවර්ධනය කිරීමට මිලියන 21,000ක මුදලක් වෙන් කර තිබෙනවා.


    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ග්‍රාම රාජ්‍ය සංකල්පය අපි ශක්තිමත් කරනවා.මහින්ද චින්තනය පොත
    නැවත වරක් පෙරලා බලන ලෙස මම විපක්ෂයට කියනවා. ඒ පොතේ කියලා තිබුණා ගම හදනවා කියලා.එත් හැදුවද?අපි ගම්උදා සංකල්පය ශක්තිමත් කරනවා.රාජපක්ෂ පාලනය මොනවද කළේ? අලුත් නිවාස හදනවා වෙනුවට, ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා හදපු ගෙවල්වල තීන්ත ගාපු එකයි ඒ අය කළේ.

    මාර්ග සංවර්ධනය කරනවා කිව්වා, ඒවාගේම ග්‍රාමීය සංවර්ධනය කරනව කිව්වා. මාර්ග සංවර්ධනය කෙසේ වෙතත් කොමිස් කුට්ටි ඇතැම් අයගේ සාක්කුවලට ගියා.

    ග්‍රාමීය සංවර්ධනයට හොඳම නිදසුන තිස්සමහාරාමයේ බඳගිරිය ගම්මානයයි.මේ සුදු අලි ව්‍යාපෘති බලලා බඳගිරිය මිනිස්සුන්ට මඩ
    වතුර බොන්න වුණා.

    ප්‍රජා මණ්ඩලයක්වත් තියන්නේ නැති සම්මන්ත්‍රණ ශාලා හැදුවා, එල්ලේවත් ගහන්නේ නැති ජාත්‍යන්තර ක්‍රීඩාපිටි හැදුවා. ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපලවල්, නැව් එන්නේ නැති වරායවල් හැදුවා.මේ වගේ සුදු අලි ව්‍යාපෘතිවලටයි, පසුගිය රජය මුදල් වෙන් කළේ.


    බඳගිරිය ජනතාවගේ ජලපහසුකම් සඳහ මුදල් වෙන් කළේ අපි. කෑලි කෑලි වූ නන්නත්තාර වූ විපක්ෂය අද ළඳරුවෝ වගේ කතා කරනවා.පසුගිය රජය ගිණි පිළියට ගත්ත ණය ගෙවන්න වී තිබෙන්නේ අපගේ රජයට.පසුගිය රජය කොමිස් කුට්ටි ගැසූ රුපියල්
    මිලියන 44,000කට ආසන්න මුදලක් ගෙවන්න සිදු වුණෙත් අණ්ඩුවටයි.


    හිටපු ජනාධිපතිවරයා, රාජ්‍ය සේවකයන්ට 2500ක් ගෙවනවා කිව්වා. එය ගෙව්වාද?නමුත් අප රජය පොරොන්දු වූ පරිදි රාජ්‍ය
    සේවකයාට රුපියල් 10,000 ලබාදෙන්නට කටයුතු කළා.භූමිතෙල්, පෙට්ට්‍රල් ,ගෑස් මිල අපි අඩු කළා. මහපොළ වැඩි කළා.මේවාගේ සහන ලැබෙන්නේ සමස්ත ජනතාවටයි.මේ සියල්ල සිදු කිරීම වෙනුවෙන් මුදල් සොයන ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යවරයා
    පාරිලිමේන්තුවට ප්‍රකාශ කළා.

     

    යුද්ධය අවසන් කිරීමෙන් පසුව ආයෝජකයන්ට රටා පැමිණෙන්නට ආරාධනා කළා. ආයෝජකයෝ ආවාද?ඇමෙරිකානු ඩොලර් බිලියන
    දෙකක ආයෝජනයක් රටට ගේන්න බැරි වූ ආණ්ඩුවක් පසුගිය කාලයේ තිබුණේ.

     

    පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ දී ව්‍යාපාරික හමුවේ දී පසුගිය රජය වේදිකවේ තියාගෙන හිටියේ කවුද? කැසිනෝ කාරයෝ, ගණිකාවෝ.ඔය වගේ ආයෝජකයෝ තමයි පසුගිය කාලේ ආවේ.ආයෝජකයෝ ආව ගමන්,කොමිස් කුට්ටිය ගැන කතා කළා.
    ආපු අයත් යන්න ගිය.

     

    පසුගිය රජය එසේ කටයුතු කළත්,නව රජය ලෙස ආයෝජකයන්ට හිතකර පරිසරයක් අපි රට තුළ නිර්මාණය කර තිබෙනවා.
    බෙන්තර ඇල්පිටිය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා හෝටල් හා ඊට අදාළ අනෙකුත් අවශ්‍යතා ඇති කරනවා.මේ සමඟ රැකියා විශල ප්‍රමාණයක් බිහි වෙනවා.ආයෝජකයන් ගෙන්වීමකින් තොරව රට සංවර්ධනය කරන්න පුළුවන් නම්, ඒ සඳහා ක්‍රමවේදයක් යෝජනා කරන්න.

     

    අද මාධ්‍ය නිදහස් සුරක්ෂිත වී තිබෙනවා.මේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර අය පන්සල් ගානේ ගිහින් එක එක වැරදි කියනවා.පසුගිය
    කාලේ සංවර්ධනය ගැන මහලොකුවට කතා කරනවා. ජී.එස්.පී සහනය අහිමි වුණා. යුරෝපා මත්ස්‍ය වෙළඳපොළ අහිමි වුණා. නොවැම්බර් විප්ලවයත් සමඟ බිහි වූ මෛත්‍රී ,රනිල් පාලනය නිසා රටේ යහපාලනය ගොඩ නැගී තිබෙනවා.

     

    ගොවිජනතාව, වැඩකරන ජනතාව ඇතුළු සමස්ත ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැක්කේ සම්මුතිවාදී වත්මන් ආණ්ඩුවෙන් 
    පමණයි. කිසිම සහනයක් ජනතාවගෙන් උදුරාගන්න බලපොරොත්තු වෙන්නේ නෑ. සියලු දෙනාගේම වුවමනාවට විසඳුම් තියෙන ආණ්ඩුවත් මෙම සම්මුතිවාදී ආණ්ඩුව බවද අමාත්‍යවරයා පැවසි ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya