මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ගොවි ජනතාව කිසිවිටෙකත් අසතුටින් තැබීමට සූදානම් නෑ - ජනපති

    නොවැම්බර් 07, 2015

    රටේ ගොවි ජනතාවගේ කදුළින්, සුසුමෙන් සහ දහඩියෙන් ගොඩනැගුණු දේශපාලඥයෙක් ලෙස මේ රටේ ගොවි ජනතාව අසතුටින් තැබීමට තමා කිසිදු අවස්ථාවක සූදානම් නොමැති බව ජනාධිපතිතුමා පවසයි.

     

    තමන් සැමදා හෘද සාක්ෂියට අනුවම ගොවි ජනතාව සමග බව පැවසූ ජනාධිපතිතුමා ගොවි ජනතාවගේ ආර්ථිකයත්, රටේ කෘෂිකර්මාන්තයත් නගා සිටුවීම සදහා රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද ප‍්‍රකාශ කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (06) පස්වරුවේ ලග්ගල පොලිස් කි‍්‍රඩාංගණයේ පැවති ජන හමුවකට එක් වෙමිනි.

     

    පිට රටවලින් කුමන ආකාරයේ ව්‍යාපෘති සහ ආයෝජන අපේ රටට ගලා ආවද රටක් ලෙස අප රටට අනාගතයක් තිබෙන්නේ කෘෂිකර්මාන්තය මත බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

     

    මෙරට ගොවි ජනතාව වෙනුවෙන් ඉදිකෙරුණු මොරගහකන්ද ව්‍යාපෘතියේ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙනයාමට හැකිවීම පිළිබදව සතුට පළ කළ ජනාධිපතිතුමා ව්‍යාපෘතිය හේතුවෙන් දේපළ අහිමිවූ ජනතාවට වන්දි ගෙවීමේ කටයුතු ඔවුන්ගේ ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරමින් කඩිනිමන් ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව පැවසීය.

     

    සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමේදී ඉතා උසස් ප‍්‍රමිතියකින් යුතුව ඒවා කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිතුමා මෙහිදී පැහැදිලි කළේය.

     

    ප‍්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් නියෝජනය කරන මහජන නියෝජිතයින් රැසක් ජනාධිතිතුමා සමඟ මෙම වේදිකාවේ අසුන්ගෙන සිටි අතර ඒ පිළිබද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ කවුරුන් කෙසේ චෝදනා කළද මේ රට ඉදිරියට ගෙනයාමට තිබෙන එකම දේශපාලන සංස්කෘතිය මෙම පූර්වාදර්ශය බවයි.

     

    දේශපාලන වශයෙන් බෙදී වෙන්වී ගහ මරාගත් යුගය නිමා කර ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට එක් කර ගනිමින් නව ගමනක් ඇරඹුයේ මේ රට ඉදිරියට ගෙන යාමට බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

     

    පසුගිය ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව තමා වෙත පැවරූ ජනතාවගේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමේ වගකීමත් දුෂණයෙන්, වංචාවෙන් සහ අක‍්‍රමිකතාවයෙන් තොර රටක් ගොඩනැගීමේ කාර්යයත් කිසිදු අයුරකින් දුර්වලවීමට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

     

    ඇවන්ගාඞ් සිද්ධිය සහ වංචා හා දුෂණවලට අදාළව දැනට කෙරෙන පරික්ෂණ ඉතා නිවැරදිව සහ පිරිසිදුව ඉදිරියට ගෙන යාම සදහා තීන්දු තිරණ ගැනීමට විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා ඒ සදහා බලය ලබාදෙන බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

     

    ජනාධිපතිතුමා මෙම ජන හමුවට එක් වූයේ පළාතේ සංවර්ධනය කටයුතු රැසකට සහභාගීවෙමින් අනතුරුවය.

     

    ශී‍්‍ර ලංකාවේ විශාලතම වාරි ව්‍යාපෘතිය ලෙස සැලකෙන මොරගහකන්ද ව්‍යාපෘති වේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරීම අද පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය. අනතුරුව ජනාධිපතිතුමා මොරගහකන්ද හා කළුගග බහුකාර්ය යෝජනා ක‍්‍රමයේ ඉදිකිරීම් කටයුතු පරික්ෂා කර බැලීම සදහා නිරික්ෂණ චාරිකාවකද නිරත විය.

     

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මහවැලි සංවර්ධන අමාත්‍යවරයාව කටයුතු කරද්දි 2009 ජනවාරි 25 වන දින මොරගහකන්ද සංවර්ධනය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කෙරිණි. පරාක‍්‍රම සමුද්‍රය මෙන් 4 ගුණයක් විශාල මොරගහකන්ද ජලාශය අක්කර අඩි 463,000 ක විශාලත්වයකින් යුතුව ඉදිකරේ. එය වේලි තුනකින් සමන්විතය. අද නිධන් වස්තු තැන්පත් කෙරුණු ප‍්‍රධාන වේල්ලේ උස මීටර් 65 කි. වේල්ලේ දිග මීටර් 463 කි. පළල මීටර් 8 කි. තවත් ඇළ වේලි 2 ක් මීට සමගාමීව ඉදි කෙරේ.

     

    මෙම ජලාශය ඉදිකිරීමත් සමග හෙක්ටයාර් 82,000 ක බිම් ප‍්‍රමාණයක් දෙකන්නයේම වගා කිරීමට හැකි වේ. මාතලේ, අනුරාධපුයර, පොළොන්නරුව, ති‍්‍රකුණාමලය ඇතුළු වියළි කලාපීය ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය මෙමගින් සැපිරේ. ව්‍යාපෘතිය මගින් උත්පාදනය කෙරෙන ජල විදුලි බලය මෙගා වොට් 25 කි. එමගින් වාර්ෂිකව ඉතිරිවන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 කි.

     

    කළුගග ව්‍යාපෘති ඉංජිනේරු කාර්යාලය විවෘත කිරීමද ඉන් අනතුරුව ජනාධිපතිතුමා අතින් සිදු විය. ප‍්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවන්ටද එක්ව සිටී අතර ඔවුන් ජනාධිපතිතුමා වෙත සිය ආචාරය පුද කර සිටියහ.

     

    ප‍්‍රදේශයේ විහාරස්ථාන සදහා මුල්‍යාධාර සැපයීම සහ ශිෂත්ව විභාගය සමත් දරුවන්ට තිළිණ ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    නීතිය හා සාමය පිළිබද අමාත්‍ය තිලක් මාරපන, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පළාත් අමාත්‍ය බන්දුල යාලේගම, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාලක කොලොන්නේ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුර දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

     

    c2

    c3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya