මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එළැඹෙන අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළ මුදල හතර ගුණයකින් වැඩිවෙයි

    ඔක්තෝබර් 19, 2015
    අධ්‍යාපනය සඳහා මෙතෙක් වෙන් කළ මුදල් මෙන් හතර ගුණයක් ලබන අයවැයෙන් වෙන් කිරීමට තීරණය කළ බවත් එය 2016 වසරේ සිට ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම අදහස පළ කලේ "රජරට නවෝදය – ජනපති වැඩසටහන" "පිබිදෙමු පොලොන්නරුව" දිස්ත‍්‍රික් ව්‍යාපෘතියේ සමාරම්භයට සමගාමීව අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සව අවස්ථාවන්ට එක්වෙමිනි.
     
    පහුගිය දශකයේ ලංකාවේ ඇතැම් ප‍්‍රදේශ වේගවත් පරිවර්තනයන් කර යනවිට පොලොන්නරුවට අදාළ පර්වර්තනයක් කරගත නොහැකිව පොලොන්නරු නියෝජිතයා ලෙස තමන් සුසුම් හෙළු බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.
     
    රජය විසින් රට සංවර්ධන කරා ගෙන නොයන බවට දේශපාලන ප‍්‍රතිවාදීන් විසින් විවිධ මුසාවන් ගෙනහැර දක්වමින් මහජනයා රජය කෙරෙහි අප‍්‍රසාදය ඇති කිරීමට කටයුතු කළ ද රට සංවර්ධනය කිරීමට ප‍්‍රමාණවත් මුදල් රජය සතුව ඇති බැවින් ආරම්භ කළ සංවර්ධන වැඩසටහන් කිසි ලෙසකින් නොනවත්වන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
     
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා අප රටට ඇතිවීමට තිබූ අයහපත් යෝජනා වැළැක්වීමට හැකිවූයේ අප රට තුළ සිදු වූ දේශපාලන පරිවර්තනය නිසා බව සිහිපත් කළ ජනාධිපතිතුමා, රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් ආදිය ස්ථාපිත කිරීම තුළ ජාත්‍යන්තර සංවිධාන හා රටවල් ශ‍්‍රී ලංකාව දෙස යහපත් දැක්මකින් බලන බවද පැවසීය.
     
    මෙරට පාසල් සියල්ලේ ම ගුරුවරුන්ගේ ගුණාත්මක භාවය සමාන බැවින් ජනප‍්‍රිය පාසල්වලට දරුවන් ඇතුලත් කිරීමට දෙමව්පියන් අතර පවතින තරගය අවම කරමින් ගුරුවරුන් හිඟ පාසල් සඳහා ගුරු හිඟය අවසන් කිරීමට වැඩපිළිවෙළවල් රාශියක් ආරම්භ කර ඇති බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
     
    පොලොන්නරු දිස්ත‍්‍රික්කයේ පස් අවුරුදු සැලැස්ම යටතේ ක‍්‍රියාත්මක වන ව්‍යාපෘතීන් හි දුෂණ, වංවා, අක‍්‍රමිතතා සිදුවන්නේ නම් වහාම තමන්ට ඒ පිළිබඳ ව පෞද්ගලිකව දන්වන ලෙස ද ඉල්ලා සිටි ජනාධිපතිතුමා එම ව්‍යාපෘතීන් හි ඉදිකිරීම් බොහොමයක් ත‍්‍රිවිධ හමුදාවෙන් සිදුවන බැවින් ඔවුන් අතින් එවැනි වරදක් සිදු නොවන බව තම විශ්වාසය බව ද කීය.
     
    මෙම අවස්ථාවට සමගාමීව මහවැලි "බී" සහ "සී" කලාප ඉඩම්ලාභීන්ට බලපත‍්‍ර ප‍්‍රදානය කිරීම සිදුවූ අතර 2500 කට අධික බලපත‍්‍ර හිමියන් අතුරින් සංකේතාත්මකටව "බී" කලාප ඉඩම් ලාභී 20 දෙනෙකුට හා "සී" කලාප ඉඩම්ලාභී 12දෙනෙකුට ජනාධිපතිතුමා අතින් බලපත‍්‍ර ප‍්‍රදානය කෙරිණි.
     
    තවද මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් පාසලෙන් වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යාවකට ද ජාත්‍යන්තර තැපැල් දිනය නිමිත්තෙන් පැවැත්වූ රචනා තරගයෙන් ප‍්‍රථම ස්ථානය දිනාගත් ශිෂ්‍යයෙකුට සහ 2014-2015 නව නිර්මාණ ප‍්‍රදර්ශනයේ දී වැඩිදියුණු කළ සංයුක්ත කැලිපරය සහ රෝධක පද්ධතිය නිර්මාණය කළ ශිෂ්‍යයෙකුට ජනාධිපතිතුමා අතින් ත්‍යාග ප‍්‍රදානය කෙරිණි.
     
    දිඹුලාගල ගෞරව ශාස්ත‍්‍රවේදී අති පූජ්‍ය පණ්ඩිත මාදුරුඔය සීවලී ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ සමා සංඝරත්නය ද සර්ව ආගමික පූජකතුමන්ලා ද, ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, වසන්න සේනානායක, සිරිපාල ගම්ලත්, සිඩ්නි ජයරත්න, නාලක කොළොන්නේ, බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තේනුක විදානගමගේ ඇතුළු ප‍්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේනතු සහ පළාත් සභා මැති ඇමතිවරුන් ද සියළු රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya