මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමය පාර්ලිමේන්තුවට

    මාර්තු 18, 2015

    අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමය ඊයේ (17) අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.


    මෙම පනත පසුගිය කාලයේ, පාර්ලිමේන්තුව විසින් සම්මත කරන්නට යෙදුණේ, එවකට රටේ තිබූ බරපතල අපරාධ වැලැක්වීමේ අරමුණින් සහ ඊට අවශ්‍ය නඩු විභාග කඩිනමින් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මුල් කරගෙනයි. එය පනතක් ලෙස සම්මත කරගනු ලැබුවත්, දැනට එම පනතේ විධිවිධාන ආශ්‍රය කරගෙන අපරාධ විනිශ්චය ක්‍රියාදාමය සිදුවෙමින් පවතින අවස්ථාවක එම පනතේ වලංගු කාලය අවසන් වීමට මත්තෙන් තවත් වසර 2ක් සඳහා මෙහි වලංගුතාව දීර්ඝ කිරීමටයි මෙම අවසරය පතන්නේ.

    මෙම පනත පිළිබඳ ව නොයෙක් විවේචන, නොයෙක් අර්ථකතන පසුගිය කාලයේ තිබුණා. 2013 දී පනත විවාද කරන අවස්ථාවේ අපි විවේචන කළා. සාමාන්‍ය පැය 24, පැය 48 දක්වා දීර්ඝ කිරීම තුළ පොලිසිය බලය අයුතු ලෙස යොදාගෙන සැකපිට අත් අඩංගුවට ගන්නා පුද්ගලයන්ට හිංසාපීඩා සිදු වෙයි කියා සැකයක් තිබුණා.

    එහෙත් පසුගිය වසර 2ක කාලය තුළ පනත ක්‍රියාවට නැංවීම තුළ,කරුණු සොයාබලීමේ දී නීතිපති දෙපාර්තමේන්තුවෙන් දුන් උපදෙස තමයි,පොලීසිය විසින් අයුතු අඩත්තේට්ටම් කිරීම් හිංසා කිරීම් කිසිවක් වාර්තා වී නෑ කියන එක.

    මේ පිළිබඳව මත දෙකක් තිබෙනවා.රටේ සිදුවෙමින් පවතින අපරාධ ප්‍රමාණය වැඩිවෙමින් පැවතීම හේතුවෙන් මෙවැනි නීති ක්‍රියාත්මක විය යුතු යැයි කියන එක, එක් මතයක්. අනෙක් පැත්තෙන් තිබෙන විවේචනය තමයි, පැය 24 පරීක්ෂණ කරලා, මහේස්ත්‍රාත්වරයකුට ඉදිරිපත් කිරීමේ ප්‍රතිපාදන තිබියදී, එය දීර්ඝ කිරීම තුළ, බොහෝ විට සැකකරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වෙනවා කියන කාරණය.

    මේ කාරණා දෙක තුලනාත්මකව බැලුවහොත් මෙම පනත අදාළ වන්නේ බරපතල ගණයේ අපරාධ 13ක් සම්බන්ධයෙන් පමණයි. මෙම නීති අදාළ වන්නේ සාමාන්‍ය වරදක් සඳහා නොව බරපතල ගණයේ මිනී මැරුම්, සංවිධානාත්මක අපරාධ, ස්ත්‍රී දූෂණ, බරපතල ගිනි අවි භාවිතයෙන් සිදු කරන අපරාධ සම්බන්ධයෙනි. පොලිසියට මෙවැනි බරපතල අපරාධයක් සම්බන්ධයෙන් පැය 24න් පරීක්ෂණයක් සිදු කිරීමේ ගැටලුවක් තිබෙනවා. පැය 48ක් රඳවාගැනීම තුළ, එම අපරාධ සිදුකළ පුද්ගලයන් හඳුනාගැනීම සහ ඊට අවශ්‍ය සාක්ෂි ලබාගැනීමේ හැකියාවක් ඇතිවෙනවා.

    මෙම පනතේ විධිවිධාන අනුව පැය 24 සීමාව ඉක්මවා තවත් පැය 24ක් තබා ගැනීම පොලිසියේ අභිමතය අනුව සිදුවීමක් නොවේ. ඒ සඳහා අදාළ බලප්‍රදේශයේ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ යුතුයි. මෙවැනි නීති ක්‍රමයක් තුළ ඉතාම ඉක්මනින් කටයුතු කරලා, නඩු කටයුත්තක් මහාධිකරණයට ඉදිරිපත් කරලා, අපරාධ යුක්ති විනිශ්චය ක්‍රියාදාමය, ඉතා වේගවත් ලෙස ක්‍රියාකිරීමේ හැකියාව ලැබෙනවා. වසර දෙකක් දීර්ඝ කළත් පූර්ණ කාලීනව දීර්ඝ කරන්නට බලාපොරොත්තුවක් නෑ. මේ සම්බන්ධව පාර්ලිමේන්තු කමිටුවක් පත් කරලා, මේ සඳහා සුදුසු නීති ක්‍රමවේදය හඳුනාගෙන ඉන් අනතුරුව මෙම නීති ක්‍රමය අවලංගු කිරීමේ බලාපොරොත්තුවක් තිබෙනවා යැයි අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya