සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විජයග‍්‍රහණය සහතිකයි! එය සාමකාමීව සමරමු!! - එජනිස මහ ලේකම්

    ජනවාරි 08, 2015

    තිස් වසරක බිහිසුනු යුද්ධයෙන් රට නිදහස් කරගෙන සංවර්ධන මාවතේ ජය ටැඹ කරා ගෙන යාමට තෙවන ජන වරම ලබා ගැනීමට ඉදිරිපත්ව සිටින මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව නැගී සිටින දෙස් විදෙස් බලවේගයන්ගේ අරමුණ දැයේ දිනූ නිදහස සහ ස්වෛරීභාවය විනාශ කිරීම බව මුළුමනින් අවබෝධ කරගෙන සිටින ශ‍්‍රී ලංකා වාසී ජනතාව එතුමාගේ විජයග‍්‍රහණය සහතික කරන බව ඔබටත් මටත් විශ්වාසය.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා වශයෙන් මට දැන් අප ජනතාවගෙන් ඉල්ලා සිටීමට ඉතිරිව ඇත්තේ ඊර්ෂ්‍යාවේ, ක්‍රෝධයේ සහ ප‍්‍රචණ්ඩත්වයේ අභියෝග එල්ල වුවද අප ජාතියේ සහ අප ආගමික කර්තෘවරුන්ගේ ඉගැන්වීම්වලට අනුකූලව නිහතමානීව සහ සාමකාමීව විජයග‍්‍රහණය භුක්ති විඳින ලෙසටය.

     

    මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ඒකීය රාජ්‍යයක් ලෙස සුරක්‍ෂිත වී ඇති ශ‍්‍රී ලංකාව යළි බෙදා වෙන් කිරීමට දෙස් විදෙස් කණ්ඩායම් දරණ ප‍්‍රයත්නය පරාජය කිරීම අප දේශපේ‍්‍රමී පුරවැසියන්ගේ යුතුකමක් සහ වගකීමකි. ශ‍්‍රී ලංකාව අස්ථාවර කර බෙදුම්වාදයට යළි හිස එසවීමට අවශ්‍ය වාතාවරණය ස්ථාපිත කිරීමට පැමිණ සිටින දේශීය සහ විදේශීය බලවේගවලට මුහුණ දීමට ශක්තිය සහ ධෛර්යය ඇති එකම නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා බවට ඔබ තැබූ විශ්වාසය එලෙසම ඉටු කෙරුණ අතර වර්තමානයේ රට තුළ ක‍්‍රියාත්මක වන සීග‍්‍ර ආර්ථික සංවර්ධන ක‍්‍රියාදාමය එලෙසින්ම ඉදිරියට පවත්වාගෙන යා හැකි එකම නායකයා එතුමා බවට යළි සනාථ කිරීමට ජනවාරි 08 වන දින ඔබට අවස්ථාවක් උදා වී ඇත.

     

    වෙනසක නාමයෙන් කෙරෙන වෙනසක් තුළින් අස්ථාවරත්වය සහ බෙදුම්වාදය හිස එසවීමට ඉඩ නොතබා දිනාගත් සාමය රැක ගැනීමටත් ස්ථාවරත්වය යළි සහතික කිරීමටත් සංවර්ධන මාර්ගයේ ඉදිරි පියවර තැබීමටත් මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යළි පූර්ණ විශ්වාසය තැබීමටත් ශ‍්‍රී ලාංකික ජනතාව නොපසුබට වන බව අද එතුමා වටා ඒකරාශී වී සිටින ජනතා නියෝජිතයින්, ප‍්‍රබුද්ධ දේශපේ‍්‍රමීන් ඇතුළු සමාජයේ සෑම ජන කොටසක්ම නියෝජනය වන පොදු ජනතාව පිළිබිඹු කරයි.

     

    මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධව ඒකරාශී වී ඇති පාර්ශ්වයන්හි නියම මුහුණුවර එල්ටීටීඊය සමග ගිවිසුම් අත්සන් කළ එජාප නායකයින් ද මිනීමරු ප‍්‍රභාකරන්ට ගෞරවාන්විත ලෙස ප‍්‍රභාකරන් මහතා ලෙස හඳුන්වන චන්‍ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන් ද රාජපක්‍ෂ පැරදවීම සඳහා බෙදුම්වාදීන් සමඟ ද එකතුවීමට සූදානම් බව ඔප්පු කළ ජාතික හෙළ උරුමයෙන් කැඞී ගිය නායක දෙපළගෙන් ද එම අරමුණම උඩ දැන් විපක්‍ෂයට සහය දෙන දිගටම එල්ටීටීඊයේ මුහුණුවර ලෙස පෙනී සිටි දෙමළ සන්ධානයේ නායකයින්ගෙන් ද මහින්දව පැරදවීමට ඡන්දය දෙන්නැයි උගුරට හොරා බෙහෙත් කන ජවිපෙ නායකත්වයෙන් ද ඔප්පුවී තිබේ.

     

    මේ පසමිතුරු හවුලට පිටුපසින් සිටින්නේ කවුදැයි යුද්ධය අවසන් අදියරේ දී එය කෙසේ හෝ නැවැත්වීමට උත්සාහ දැරූ යුරෝපීය රටවල හවුල ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ද කඩිමුඩියේ යහ පාලනය සහ සාධාරණ මැතිවරණයක් ගැන විදේශික න්‍යාය පත‍්‍රයක් මගින් අපට උපදෙස් දීමට දරණ උත්සාහයන්ගෙන් ද පැහැදිලිවේ. වසර අවුරුදු 80කට වැඩි සර්වජන ඡන්ද බලය පිළිබඳ ඉතිහාසයක් සහිත ශ‍්‍රී ලංකාවට වැදි බණ අනවශ්‍යය.

     

    යුද ජයග‍්‍රහණයට පසු දීර්ඝ කාලීන සංවර්ධනයක් උදෙසා රට පුරා යටිතල පහසුකම් ඉදි කළ ආකාරය තුළින්ම ඔබට අප රජය පිවිස ඇති ප‍්‍රගතියේ මාවත ගැන මනා අවබෝධයක් ලැබිය හැක. එම අඩිතාලම මත ලොව දිනන ළමා පරපුරක් සහිත සමෘද්ධිමත් ශ‍්‍රී ලංකාවක් නුදුරු අනාගතයේදීම බිහි කිරීමේ අප අධිෂ්ඨානයට ඔබේ අත්වැල දෙන්න.

     

    මැතිවරණය සාධාරණ සහ සාමකාමී ලෙස පැවැත්වෙන්නේ අප ජනතාව ලබා ඇති බුද්ධිය හා සංයමය තුළිනි. අපි සාධාරණ මැතිවරණයක අවශ්‍යතාව ප‍්‍රායෝගික ලෙස උගත් පාඩමකි. ඒ අනුව අප බුද්ධිමත් ඡන්ද දායකයා රටේ සාමය, ඒකීයත්වය සහ ස්ථාවරත්වය උදෙසා සිය විශ්වාසවන්ත නායකයාව යළි පත්කර ගනිමින් ලොවට මහඟු උදාහරණයක් ගෙන හැර දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ස්ථිර ය.


    විජයග‍්‍රහණයේ උච්ඡස්ථානයට පත්ව සිටින විට අප වඩාත් නිහතමානී විය යුතුයි. අපේ ජයග‍්‍රහණය යළි සහතික කරන අප ඡන්ද දායකයාට මා කරන ආයාචනය නම් ජයග‍්‍රහණයේ සතුට නිහතමානීව සාමකාමීව භුක්ති විඳීමෙන් අප සදාචාර සම්පන්න ජාතියක් බවට ලොවට ඔප්පු කර දෙන මෙන්ය.

     

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    2015.01.05


    සටහන: පසුගිය 05 වැනි දින නිකුත් කරන ලද මේ නිවේදනය මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස්වලට අනුව මැතිවරණය පැවැත්වෙන තුරු පළ නොකර සිටීමට අපට සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya