සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “මන්තන් සම්මාන-2014” උළෙලේ දී ඉ-තක්සලාව ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතියට සම්මානයක් Featured

    දෙසැම්බර් 06, 2014
    අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන ඉ-තක්සලාව ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතිය, දකුණු ආසියා සහ ආසියා පැසිපික් කලාපයේ ජාත්‍යන්තර ඉ-අන්තර්ගත සම්මාන ප්‍රධානෝත්සවය වන “මන්තන් සම්මාන-2014” උළෙලේදී දකුණු ආසියානු හා ආසියා පැසිපික් කලාපයේ හොඳම ඉ-ඉගෙනුම් අන්තර්ගත පද්ධතිය ලෙස ජයග්‍රහණයට පාත්‍රවිය.
     
    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පසුගියදා 04දා ඉන්දියාවේ නව දිල්ලියේ හැබිටෑට් මධ්‍යස්ථානයේ (Indian Habitat Center) පැවති මන්තන් සම්මාන නිල ත්‍යාග ප්‍රදානෝත්සවයේදී මෙම සම්මානය ලබා ගන්නා ලදී. එම ත්‍යාග ප්‍රදානෝත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමේ අවස්ථාව ද,  එකම නිල රාජ්‍ය නියෝජිතයා ලෙස එම උත්සව සභාව ඇමතීමේ ගෞරවනීය අවස්ථාව ද එතුමාට හිමි විය.
     
    මෙම උත්කර්ෂවත් අවස්ථාව සඳහා ඉ-තක්සලාව ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතිය නිර්මාණය මෙහෙයවනු ලබන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාවේ අධ්‍යක්ෂ ජී.එම්. නීල් ගුණදාස මහතා ද එම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කරනු ලබන එම ශාඛාවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුමුදු විජේසූරිය මහත්මිය ද අදාළ ව්‍යාපෘතියේ නිර්මාණ කාර්යය සම්බන්ධීකරණය කරනු ලබන කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ වයි.කේ.ජී. සංජීවනී මෙනෙවිය ද ඉ-තක්සලාව නිර්මාණකරණයේ යෙදෙන ගුරු භවතුන් වෙනුවෙන් මෙම අවස්ථාව නියෝජනය කරන ලදී.
     
    දකුණු ආසියානු හා ආසියා පැසිපික් කලාපයේ එකම ඉ-අන්තර්ගත ඇගයීමේ තරගාවලිය වන “මන්තන් තරගාවලිය -2014” සඳහා කාණ්ඩ 13ක් යටතේ එම කලාපයේ රටවල් 36කින් ඉදිරිපත් වූ ඉ-නිර්මාණ අතරින් නිර්මාණ 294ක් මූලික ඇගයීමේදී තෝරා ගන්නා ලදී. එහිදී අවසාන වටයට තේරී පත් වූ නිර්මාණ 67ක් අතුරින් ඉ-ඉගෙනුම් හා අධ්‍යාපන කාණ්ඩය යටතේ අවසන් වටයට තේරී පත් වූ ඉ-තක්සලාව ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතිය හොඳම ඉ-ඉගෙනුම් නිර්මාණය ලෙස ජයග්‍රහණය කරන ලදී. 
     
    ඉ-ඉගෙනුම් හා අධ්‍යාපන කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද නිර්මාණයක් සඳහා ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලද ප්‍රථම අවස්ථාව ද මෙය වේ.
     
    අවසන් වටයට තේරී පත් වූ ඉ-ඉගෙනුම් හා අධ්‍යාපන කාණ්ඩය යටතේ වූ නිර්මාණ අතුරින් අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය හා ආසියානු සංවර්ධන බැංකුව එක් ව ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් වන ඛාන් ඇකඩමි දේශීයකරණ (Khan Academy Localization) වැඩසටහන වෙනුවෙන් නිර්මාණය කරන ලද ගණිත අධ්‍යාපන වීඩියෝ වැඩසටහන් සඳහා විශේෂ සම්මානයක් (Special Mention) පිරිනමන ලදී.
     
    විවිධ කාණ්ඩ යටතේ ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණ 15ක් අවසන් වටයට තේරී පත් වී තිබීම ද ඒ අතුරින් අවසාන ජයග්‍රහණ 7ක් ශ්‍රී ලංකාවට හිමි වීමද සුවිශේෂී වේ.
     
    ඉ-තක්සලාවේ මෙම ජයග්‍රහණය, වඩාත් සුවිශේෂී ජයග්‍රහණයක් බවට පත් වන්නේ එය සම්පූර්ණයෙන්ම රජයේ පාසල්වල සේවය කරන දේශීය ගුරු භවතුන්ගේ මහත් වූ කැපවීමක අග්‍ර ඵලයක් වන බැවිනි. එහි වැදගත්කම සම්බන්ධයෙන් එම සමුළුවේදී ඉන්දියානු ඉ-අධ්‍යාපන විශේෂඥයෙක් විසින් ප්‍රකාශ කරන ලද්දේ “මෙය ඉන්දියාව විසින් ද අත්හදා බැලිය යුතු අගනා ක්‍රමවේදයක්” බවයි.
     
    NDH/kpm
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya