සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    SLT යාපනයේ ‘ඩෙල්ෆ්ට් දූපත’ සුපිරි තොරතුරු තාක්‍ෂණයෙන් සම්බන්ධ කරයි

    ඔක්තෝබර් 27, 2014


    උතුරු පළාත ආශ‍්‍රිත පශ්චාත් යුධ සංවර්ධන ක‍්‍රියාදාමයන්හි තවත් එක් පියවරක් වශයෙන් යාපනය අර්ධද්වීපය ආසන්නව පිහිටා ඇත ඩෙල්ෆ්ට් දූපත ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ජාලය සමඟ සම්බන්ධ කළ බව ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම මහත් අභිමානයෙන් දැනුම් දෙයි. 


    ශ‍්‍රී ලංකා රජය මෙම දූපත හඳුනාගෙන ඇත්තේ ඉමහත් සංචාරක ආකර්ෂණයට ලක් වූ සහ දිවයිනේ ඉතාම වැදගත් ස්ථානයක් වශයෙනි. ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ක‍්‍රියාත්මක කරන ලද I –Sri Lanka ජාල නවීකරණ වැඩසටහන යටතේ සිදු කරන ලද මෙම සන්නිවේදන ජාල ව්‍යාප්තිය තුළින් ඩෙල්ෆ්ට් දූපතේ වාසය කරන ශ‍්‍රී ලාංකිකයන්ට අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් පහසුකම් හරහා ශ‍්‍රී ලංකා ටෙලිකොම් සේවා ලබා ගැනීමට ඉඩ සලසයි.

     

    මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔවුනට ඉතාම ඉහළ ගුණාත්මක භාවයකින්  යුත් අධ්‍යාපන සේවා, සෞඛ්‍ය සේවා, දුරස්ථ අධ්‍යාපන, ක්ලවුඩ් පරිගණක සේවා, ව්‍යාපාරික සන්නිවේදන සේවා සහ නව අවස්ථා වෙත අධික වේගයෙන් ප‍්‍රවේශ වීමට අවස්ථාව සැලසෙනු ඇත. ශ‍්‍රී ලංකාවේ සෑම ප‍්‍රදේශයක ම දිවි ගෙවන ජනතාවගේ ජීවන පැවැත්ම වෙනසකට බඳුන් කරමින් දිවයින පුරාම ව්‍යාප්ත වීමට ඇති අපේක්‍ෂාව ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාග ම මෙමගින් මනාව පෙන්නුම් කරයි.

    උතුරු පළාත ආශ‍්‍රිත ආයෝජන කටයුතු ඉහළ නැංවීම උදෙසා මහා මාර්ග, විදුලි බල සැපයුම්, පානීය ජලය හා අනෙකුත් ජලසම්පාදන කටයුතු, වෙළඳපොළ පහසුකම්, පොදු උද්‍යාන සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක‍්‍රම ආදී යටිතල පහසුකම් ප‍්‍රතිස්ථාපනය කිරීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා රජය ඉතා ම ඉහළ ප‍්‍රමුඛත්වයක් ලබා දී තිබේ. එහි තවත් අරමුණක් වනුයේ මිලියන 1.8කට අධික ජනගහනයක් ජීවත් වන උතුරු පළාත ආශ‍්‍රිත ව නව රැකියා අවස්ථා රැසක්ම නිර්මාණය කිරීමට කැප වීමයි.ඩෙල්ෆ්ට් දූපත, යාපනයේ සිට කිලෝමීටර් 32ක් ඈතින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව ආශ‍්‍රිත අන්තර් ජාතික මුහුදු සීමාවට සමීපව පිහිටා ඇති දූපතකි.

     

    දළ වශයෙන් පුරවැසියන් 5000ක් පමණ දිවි ගෙවන මෙම දූපතෙහි පවුල් 1300ක් පමණ සිටී. මේ වන විට, පොලිස් ස්ථානයක්, දිසා රෝහලක්, රජයේ පාසල් 8ක්, තැපැල කාර්යාලයක්, සහකාර ප‍්‍රාදේශී ලේකම් කාර්යාලයක්, උසාවි සංකීර්ණයක්, ලංකා බැංකු ශාඛාවක්, සමෘධි බැංකුවක්, මහජන පුස්තකාලයක්, ප‍්‍රජා ශාලා 12ක්, බහුකාර්ය සමූපකාර සමිතියක් සහ ශ‍්‍රී ලංකා නාවුක හමුදා කඳවුරක් ද මෙම දූපතෙහි පිහිටා තිබෙන බව සඳහන් කළ යුතුය. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී ලලිත් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ‘දිවයිනේ සෑම ප‍්‍රදේශයක් වෙත ම සංචාරක කර්මාන්තය ව්‍යාප්ත කිරීමද ඇතුළත්ව රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව සතු අපේක්‍ෂා සාධනය කර ගැනීම වෙනුවෙන් සුපිරි යටිතල පහසුකම් පද්ධතියක් දියුණු කිරීමට කැප වීම තම සමාගමේ ප‍්‍රමුඛතම අභිලාශය’ වන බවයි. වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා පැවසුවේ ‘‘අප විශ්වාස කරන ආකාරයට තොරතුරු හා සන්නිවේදනය නිසා සෑම ප‍්‍රජාවක් ම නියෝජනය කරන, විවිධ සංස්කෘතීන්ට අයත් පුද්ගලයින් එකිනෙකා හා යා කරනවා වගේ ම සෑම ආකාරයක ම භෞතික සීමා බාධක බිඳ දමමින් ඔවුන්ට එකා මෙන් බැඳී සිටීමට අවස්ථාව සලසා දෙනවා. දැන් ශ්‍රී ලංකාව පිවිස ඇත්තේ ඉතාම වේගයෙන් සංවර්ධනය කරා දිවෙන මාවතකටයි. මේ වන විට අප සමාගම අනාගතය වෙනුවෙන් සුභදායී දැවැන්ත ආයෝජන රැසක්ම සිදු කරමින් සිටිනවා. ඒ වගේ ම දිවයිනේ සෑම තැනකම ජීවත් වන පුද්ගලයින් වෙත ඉහළ ම ගුණාත්මක භාවයකින් යුත් සේවා සැපයීම වෙනුවෙන් ද අප කැප වී සිටිනවා’’.


     මෙම ව්‍යාපෘතියෙහි මූලික අරමුණ වන්නේ සාගරය හරහා යොදන අති නවීන සන්නිවේදන යටිතල පහසුකම් හරහා යාපනයෙන් කිලෝමීටර් 32ක් ඈතින් පිහිටි ඩෙලෆ්ට් දූපත වෙත අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් සේවා ලබා දීමයි. මේ වන විට ඩෙල්ෆ්ට් දූපත දැනට දිවයිනෙහි භාවිත වන ගෘහස්ථ ප‍්‍රකාශ තන්තු (Optical fibre) පද්ධතිය වෙත සම්බන්ධ කර ඇත.‍

     

    I –Sri Lanka තොරතුරු ජාල නවීකරණ ව්‍යාපෘතිය නිසා දිවයින පුරාම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා භාවිතය විප්ලවීය වෙනසකට බඳුන් කෙරෙමින් පවතී. මේ නිසා පාරිභෝගිකයින්ට නොනවතින අධිවේගී අන්තර්ජාල සේවා අත්විඳීමට ඉඩ ප‍්‍රස්ථාව ලැබේ. දිවයිනේ සෑම නිවසක් හා ව්‍යාපාරික ආයතනයක් වෙත ම ලොව නවතම හා ඉහළ ම තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සේවා ගලා එන බව සහතික කිරීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම නිරන්තරයෙන් කැප වී සිටියි. මෙය නිසැකව ම තිරසාර සංවර්ධනයක් කරා ළඟා වීමට මුළු රටට ම උපකාරී වනු නොඅනුමානය.


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya