අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා මහ බැංකුව, එක්සත් ජනපදයේ සන්නිවේදන වැඩසටහන අඛණ්ඩව සිදු කරයි

    අගෝස්තු 22, 2014

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමෙරිකානු එක්සත් ජනපදය තුළ ශක්තිමත් සන්නිවේදන වැඩසටහනක් 2013 මාර්තු සිට දියත් කරන ලද අතර මේ සඳහා 2013 මාර්තු මාසයේ සිට 2014 ජූනි දක්වා තොම්සන් ඇඩ්වයිසරි ගෘප් එල්.එල්.සී. ආයතනයේත්, 2014 අගෝස්තු මාසයේ සිට ලිබර්ටි ඉන්ටර්නැෂනල් ගෘප් එල්.එල්.සී. ආයතනයේත් දායකත්වය ලබා ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.


    මෙම සන්නිවේදන වැඩසටහන තුළින් ශ්‍රී ලංකාවේ දේශපාලනික සහ ආර්ථික පරිසරය
    පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය තුළ නිසි අවබෝධයක් ඇති කිරීමටත් එමඟින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශපාලනික සහ ආර්ථික අභිලාෂයන් ඉහළ නැංවීම මෙන්ම එක්සත්
    ජනපදයේ ආයෝජකයන් හා අනෙකුත් පාර්ශවයන් හට ශ්‍රී ලංකාව පිළිබඳ පැහැදිලි සහ නිවැරදි තොරතුරු ලබා ගත හැකි පුළුල් ක්‍රමවේදයක් ඇති කිරීමත් අපේක්ෂා කරන අතර ඒ හරහා පෞද්ගලික අංශයේ ආයෝජනයන් විශාල වශයෙන් ශ්‍රී ලංකාව තුළට ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇත. මෙම සන්නිවේදන වැඩසටහන මුදල් නීති පනත මඟින් ශ්‍රී ලංකා මහ බැංකුව වගකීමට ලක්කොට ඇති ආර්ථික හා මිල ස්ථායීතාව සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව යන පුළුල් අරමුණු ළඟා කර ගැනීමට දායක වන අයුරින් මෙන් ම
    ශ්‍රී ලංකාවේ ඵලදායී සම්පත් සංවර්ධනය සඳහා දිරිගැන්වීම සහ ප්‍රවර්ධනය ද අරමුණු කොට ගෙන ක්‍රියාවට නංවා ඇත.

    රට තුළ පැවැති ගැටුම් අවසන් වීමෙන් අනතුරුව ගත වූ පසුගිය වසර කිහිපය පුරාවට විදේශයන්හි වාසය කරන සමහර සංවිධානාත්මක කණ්ඩායම්, ඇතැම් ජාත්‍යන්තර මෙන් ම දේශීය මාධ්‍යයන් සහ සමහර දේශීය හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විසින් විශාල වශයෙන් අරමුදල් යොදවා ශ්‍රී ලංකාවට එරෙහිව සිදු කරනු ලබන අතිමහත් හානිදායක ප්‍රචාරයන් පිළිබඳ නිසි අවධානය යොමු කොට ඒවා අභියෝගයට ලක් කිරීම හා නිසි පිළිතුරු සැපයීමත් නොකළහොත් ඒ මඟින් ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තර ආයෝජකයන් අතර ඇති විශ්වාසය පළුදු වීමටත් එමඟින් රටේ ආර්ථික වර්ධනයට ඇති විය හැකි අහිතකර බලපෑම හා අවදානම ශ්‍රී ලංකා මහ බැංකුවේ දැඩි සැලකිල්ලට හා විමර්ශනයට භාජනය කරන ලදී. මෙම වාතාවරණය තුළ මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන තත්ත්වයන් පිළිබඳ නිවැරදි හා යථා තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තරය තුළ විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය නිසි අවබෝධයක් ඇති කිරීම සඳහා ජාත්‍යන්තර වෘත්තීමය ආයතනයක සහය ලබා ගැනීමට තීරණය කරන ලදී. ඇමෙරිකා එක්සත් ජනපද ආයෝජකයන් විසින් ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්, ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර, කොටස් ආයෝජන හා ඍජු ආයෝජනවල සිදු කර ඇති සැලකිය යුතු ආයෝජන ප්‍රමාණය හා සසදා බැලීමේ දී මෙකී ප්‍රයත්නය ඉතාමත් වැදගත් පියවරක්
    වේ.

    පසුගිය මාස කිහිපය තුළ සිදු කරන ලද ශක්තිමත් සන්නිවේදන ප්‍රයත්නය තුළින් ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික තත්ත්වයන් පිළිබඳ වඩා නිවැරදි වූත්, තුලිත වූත් අවබෝධයක් ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභිකයන්, කොංග්‍රස් සභිකයන්, බුද්ධි මණ්ඩල
    සාමාජිකයන්, වෙළෙඳ සංගම් සාමාජිකයන් ඇතුළු ඉහළ මට්ටමේ ඇමෙරිකානු නායකයන් ද ඇතුළත් වූ ඇමෙරිකානු ජනතාව අතර ඇති කිරීමට හැකි වී තිබේ. එක්සත් ජනපද ආයෝජකයන් විසින් විශේෂයෙන් ම බැංකු අංශය ද ඇතුළත්ව සිදු කරන ලද සැලකිය යුතු
    මට්ටමේ ආයෝජනයන් මෙන් ම ඇමෙරිකානු නායකයන්, බුද්ධිමතුන් සහ පුරවැසියන් තුළ ශ්‍රී ලංකාව පිළිබඳ ව වඩාත් තුලනාත්මක අවබෝධයක් හා දැක්මක් ඇති වෙමින් පැවතීම ද ඇතුළු සතුටුදායක ප්‍රතිඵල ඉහත වැඩසටහන හරහා දැනටමත් ලැබෙමින් පවතී.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya