මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ තෝමස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයින් සහ ප්‍රදේශවාසීන් ‘ වත්මන් යුද්ධ හමුදාධිපති ඇගයුමට ලක් කරයි

    නොවැම්බර් 04, 2019

    මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ‘තරුණ සහ මහළු’ පාර්ශවයන් ඇතුළු විවිධ තරාතිරමේ පුද්ගලයින් ඉකුත් සිකුරාදා (01) දින තම විදුහල් මාතාවගෙන් බිහි වූ කැපී පෙනෙන ආදී ශිෂ්‍යයෙකු වන වීරත්වයෙන් පරිපූර්ණ වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  මහතාට  මාතලේ නගරයට ආරාධනා කරමින් ඇගයුමට ලක් කරන ලදී.

    ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ගුරුවරුන් හා සිසුන්, ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය, මාතලේ ව්‍යාපාරිකයින්ගේ සංගමය මෙන්ම ප්‍රධාන පෙළේ ජ්‍යෙෂ්ඨ ස්වදේශිකයින් ප්‍රමුඛ පුරවැසියන් ඒකාබද්ධව දියබුඹුල ප්‍රදේශයේදී සංවිධානය කරන ලද මෙම දැවැන්ත උපහාර උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවූ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ ලේඛම් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ විජය විද්‍යාලය වෙත රථ පෙළපාලියකින් කැඳවාගෙන යනු ලැබිණි.

    රථ පෙළපාලියකින් විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි මාතලේ ප්‍රදේශයෙන් බිහිවූ ශ්‍රී ලංකාවේ දෙවන යුද්ධ හමුදාධිපතිවරයා එම විද්‍යාලයේ සිසුන් සහ ආචාර්ය මණ්ඩලය එක්ව ප්‍රධාන දොරටුව අභියසදී මල් මාලාවක් පළඳවා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, පුරාණයේ මුළු දිවයිනේම හොකී ක්‍රීඩාවේ ප්‍රතිමූර්තිය ලෙස හැඳින්වූ මාතලේ නගර මධ්‍යයේ හොකී ක්‍රීඩා ශූරයෙකුගේ ස්මාරකයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමට යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කරනු ලැබීය.

    එම මුල්ගල් තැබීමේ උත්සවය අවසන් වූ විගසම, මාතලේ තැපැල් කාර්යාලය අසල දී ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති  සහ මාතලේ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ නියෝජිතයින් කිහිපදෙනෙකු විසින් වත්මන් යුද්ධ හමුදාධිපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව පැවැති පිළිගැනීමේ පෙළපාළියකට ද යුද්ධ හමුදාධිපතිතුමන් එක් විය. බටහිර හා නැගෙනහිර සංගීත කණ්ඩායම්, ධජ දරන්නන්, ශාන්ත තෝමස් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් හා ශිෂ්‍ය නායකයින්, එම විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සේවයේ නියුතු හා විශ්‍රාමික සාමාජිකයින් මෙන්ම ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වූ පෙරහැරකින් ප්‍රධාන ආරාධිත අමුත්තා විද්‍යාල පරිශ්‍රය වෙත පැමිණියහ.

    ශාන්ත තෝමස් විද්‍යාලයෙහි ප්‍රධාන දොරටුව අභියසදී ශාන්ත තෝමස් දේවස්ථානයේ පියතුමන්, සහෝදර ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ විදුහල්පති, ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ කුඩා සිසුවෙකු විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් වෙත හඳුන්වාදෙන ලදී.

    ශාන්ත තෝමස් විද්‍යාල පරිශ්‍රයේදී, සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන පාසල් මාතාවට විශිෂ්ඨත්වය එක් කල ආදී ශිෂ්‍යයෙකු වන වත්මන් යුද්ධ හමුදාධිපති  වෙත සම්මාන අචාර පෙළපාලියක් පිරිනමන ලදී. ශාන්ත තෝමස් විද්‍යාලයේ ජාතික ශිෂ්‍ය භට කණ්ඩායම විසින් යුද්ධ හමුදාධිපති වෙත ගෞරවාචාර පිරිනැමීමෙන් අනතුරුව ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන්, එම විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් සහ සිසුන් සමඟ සමුහ ඡායාරූප ලබාගැනීම සඳහා ද යුද්ධ හමුදාධිපතිතුමන් එක් විය. තවද, එම විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට විද්‍යාලයේ සේවය කරන ආචාර්ය මණ්ඩලය හඳුන්වාදීමෙන් අනතුරුව මෙම අවස්ථාව සංකේතවත් කරමින් විද්‍යාල පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීම සඳහා එතුමන් හට ආරාධනා කරන ලදී.  

    ඉන් අනතුරුව, එම විද්‍යාලීය විදුහල්පතිවරයාගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති  ප්‍රතිසංස්කරණය කරන ලද විද්‍යාලීය ක්‍රීඩාපිටියේ සමරුඵලකය නිරාවරණය කර විවෘත කර විද්‍යාලයේ සිසුන් වෙත භාරදෙන ලදී. එම විද්‍යාලයේ ක්‍රීඩාපිටිය තෙත් පසෙන් යට වී තිබූ හෙයින් විදුහල්පතිවරයාගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් එම ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණය කර භාරදුන්හ.

    අනතුරුව, ප්‍රතිසංස්කරණය කරන ලද ක්‍රීඩාපිටියේ සිය ගණනක් සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරන ලද සරඹ කුසලතා සහ මහජන ප්‍රදර්ශනය දැකබලාගැනීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් එක්විය. එහිදි, ශාන්ත තෝමස් විද්‍යාලයේ සිසුන් විසින් ඉදිරිපත් කරන ලද නව නිපැයුම් කිහිපයක් දැකබලාගැනිම සඳහා යුද්ධ හමුදාධිපතිවරයාට  ආරාධනා කළ අතර එය විද්‍යාලයේ නව නිපැයුම්කරුවන් හට නව ආශ්වාදයක් සහ දිරිගැන්වීමක් එක් කරනු ලැබීය.

    විද්‍යාල ශ්‍රවණාගාරයේ පැවැති පිළිගැනීමේ උත්සවය සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දල්වා ආගමික වතාවත් සිදුකර රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කර විද්‍යාල ගීතය, පිළිගැනීමේ ගීතය සහ මෙම අවස්ථාව වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කරන ලද ‘අභිමානී’ ගීතය ගායනා කිරීමෙන් අනතුරුව ආරම්භ විය. විද්‍යාලයේ විශ්‍රාමික ගුරුවරයෙකු සහ විද්‍යාලයේ සිසුවෙකු විසින් පිළිගැනීමේ දේශන සහ ආරම්භක දේශන සිදුකරන ලද අතර ඉන් අනතුරුව දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සම්මාන කිහිපයක් පිරිනමනු ලැබීය.  

    විද්‍යාලයේ ආදර්ශ පාඨය වන ‘ ධෛර්යය සහ ඉරණම’ (Animo Et Fide) කෙරෙහි බොහෝ සෙයින් ඇලී සිටින ශාන්ත තෝමස් විදුහලේ ආදී සිසුන් විසින් ඉන් අනතුරුව ඔවුන්ගේ ආදරණීය විදුහල් මාතාව වෙනුවෙන් උපහාර දැක්වූ සිසුන් හට හොකී සහ ක්‍රිකට් ක්‍රීඩා උපාංග තොගයක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, පැමිණ සිටි සියලුදෙනා ආමන්ත්‍රණය කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිවරයාට ආරාධනා කරන ලදී.

    “විද්‍යාලය සමඟ මා කටයුතු කළ ආකාරය සිහිපත් කිරීම අමරණීය වන අතර වැඩෙන තරුණ තරුණියන්ට නව මඟකට යොමුවීමට එය උපකාරී වනු ඇත.  මගේ පාසල් කාලය තුළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා, සංගීත කණ්ඩායමේ නායකයා, ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ ශිෂ්‍යභට කණ්ඩායමේ සැරයන්වරයා වීමේ වරප්‍රසාදය මට ලැබුණා. එය මා අද සිටින තත්ත්වයට පත්වීමට හේතු වූ බව මම තරයේ විශ්වාස කරමි.” යනුවෙන් යුද්ධ හමුදාධිපතිවරයා පැවසීය.

    යුද්ධ හමුදාධිපතිවරයා විද්‍යාල භූමියෙන් නික්ම යාමට ප්‍රථම, තම දිවි පරදුවට තබා මාතෘභූමිය කුරිරු ත්‍රස්තවාදයෙන් ආරක්‍ෂා කළ එම විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු ලෙස එතුමන්ගේ ඡායාරූපයක් විද්‍යාලයේදී නිරාවරණය කිරීමේ ගෞරවය ද එතුමන් හට හිමි විය. ඉන් අනතුරුව, විද්‍යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් තැබූ යුද්ධ හමුදාධිපතිවරයා පාසලේ විවිධ කණ්ඩායම් සමඟ සමූහ ඡායාරූප ලබාගැනීම සඳහා ද එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya