අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොව බොහෝ රටවල පරිසරය විනාශ කරන්නේ දේශපාලන බලය සහිත පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් බව ජනපති පවසයි

    සැප්තැම්බර් 11, 2019

    ශ්‍රී ලංකාවේ මෙන් ම ලොව බොහෝ රටවල පරිසරය විනාශ කරන්නේ දේශපාලන බලය ඇති පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ   (10) පස්වරුවේ තුල්හිරිය මාර්ස් ඇතිනා ශාලාවේ දී ආරම්භ වූ නිවර්තන ජීව විද්‍යාව සහ සංරක්ෂණය පිළිබඳ සංවිධානයේ ආසියා – ශාන්තිකර සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි.

    තිරසර මානව හා සාමාජීය පැවැත්මක් තහවුරු කිරීම උදෙසා මිනිසා හා පරිසරය මනා තුල්‍යතාවයකින් යුතුව පවත්වා ගැනීම අතිශය වැදගත් කාලීන අවශ්‍යතාවයක් බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ ය.

    ලෝක තිරසර පරිසර කළමනාකරණ ක්‍රියාවලියේ දී ඉතා වැදගත් කාර්යභාරයක් ආසියා-ශාන්තිකර කලාපයේ නිවර්තන රටවල වෙසෙන සියලු දෙනාට පැවරී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා ජෛව විවිධත්වයෙන් අනූන, ආවේණික හා ඒකදේශීය අතිවිශාල ශාක හා සත්ත්ව ප්‍රජාවක් කලාපය සතුවීම එයට හේතුව බව ද සඳහන් කළේය.

    හුදෙකලා වූ වනාන්තර පද්ධති එක්වන පරිදි නැවත වන වගා කිරීම මගින් එම හුදෙකලා වනාන්තර කොටස් සම්බන්ධ වී ශාක හා සත්ත්ව ප්‍රජාවේ අනාගත පැවැත්ම තහවුරු කෙරෙන බව ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශ හඳුනාගෙන ඒවා සංරක්ෂණ කොට ආවේණික හා දුර්ලභ ශාක හා සත්ත්ව විශේෂ රැක ගැනීමේ හෙට දවස වෙනුවෙන් වූ අද දවසේ වගකීම ද පැහැදිළි කළේය.

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විටත් ලෝකයේ නිවර්තන කලාපීය රට වල ජෛව විවිධත්වය පිළිබඳ ප්‍රබල කථිකාවක් ගොඩනැගී ඇති බවයි. එබැවින් ආසියා -ශාන්තිකර කලාපයේ නිවර්තන ජෛව සංරක්ෂණය උදෙසා වූ දෙස් විදෙස් විද්‍යාර්ථින් සහභාගීවන මෙම සමුළුව ශ්‍රී ලංකාව තුළ පැවතීම අප රට ලැබූ මහඟු ජයග්‍රහණයක් බව සඳහන් කළ ජනාධිපතිතුමා එය ලාංකීය විද්වත් ප්‍රජාව ලද වටිනා අවස්ථාවක් බව ද කියා සිටියේය.

    එමෙන් ම ශ්‍රී ලංකාවේ විශාල ආහාර බෝග ප්‍රමාණයක් වන සතුන් විසින් විනාශ කිරීමේ ගැටලුව කෙරෙහි ද මෙහි දී අවධානය යොමු කළ ජනාධිපතිතුමා කියා සිටියේ ඊට ලබාදිය හැකි ස්ථීරසාර විසඳුමක් පිළිබඳ මෙම සමුළුවේ දී ලෝකවාසි සියලු පර්යේෂකයන්ගේ මෙන්ම විද්වතුන්ගේ ප්‍රමුඛ අවධානයක් යොමු වනු ඇති බව තමා විශ්වාස කරන බවයි.

    නිවර්තන ජීව විද්‍යා හා සංරක්ෂණ සංගමය 13 වන වරටත් පවත්වන ආසියා -පැසිපික් සම්මේලනයේ රැස්වීම ශ්‍රී ලංකාවේ දී පළමු වරට 10 සිට 13 වන දා දක්වා පැවැත්වෙන අතර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය කොළඹ විශ්වවිද්‍යාලය සහ සබරගමුව විශ්වවිද්‍යාලය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සම්බන්ධීකරණයෙන් එය සංවිධානය කරනු ලබයි.

    ජනාධිපතිතුමා අතින් සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීම ද සිදු විය.

    සම්මේලනයට අදාළ වැඩසටහන් නිබන්ධනය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසන්ත අලගියන්න, තිලංග සුමතිපාල යන මහත්වරුන් ද, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු ප්‍රමුඛ රාජ්‍ය නිලධාරින් ද, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya