මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව ජපානය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට

    ජූලි 30, 2014
    ජපානය සමඟ ද්වීපාර්ශ්වීය නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව සුදුසු තත්ත්වයේ පවතින බවද, එහිලා ශ්‍රී ලංකාවේ ආර්ථික හා වෙළෙඳ ප්‍රතිපත්තිවල යම් යම් අංශ තවදුරටත් ශක්තිමත් කිරීම වැදගත් බවද, ජපාන ආර්ථික, වෙළෙඳ හා කර්මාන්ත කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අමාත්‍ය, කාසුයෝෂි අකාබා මහතා (Hon.Kazuyoshi Akaba) පැවසීය. 
     
    ජපන් - ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වීය වෙළෙඳ සාකච්ඡා අතරතුර, කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා කළ යෝජනාවකට පිළිතුරු වශයෙන් ජපන් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බැව් පැවසීය.
     
    අමාත්‍ය, බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසට, ජපානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශ ලේකම් අනුර සිරිවර්ධන, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති බන්දුල එගොඩගේ, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඩී.එස්. කුමාරරත්න ඇතුළු පිරිසක් සහභාගී වූහ. සය දෙනෙකුගෙන් යුත් ජපන් දූත පිරිසේ නායකත්වය දරන ලද්දේ, ජපාන ආර්ථික, වෙළෙඳ හා කර්මාන්ත කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අමාත්‍ය, කාසුයෝෂි අකාබා මහතාය.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, බදියුදීන් මහතා "2013 වසරේ දී ශ්‍රී ලංකාව හා ජපානය අතර වූ ද්වීපාර්ශ්වික වෙළෙඳ අගය ඩොලර් මිලියන 894ක් වුණා. එම වසරේ ශ්‍රී ලංකාව ජපානය වෙත සිදු කළ අපනයනවල 4%ක වර්ධනයක් ද පෙන්වනු ලැබීම මෙහි විශේෂත්වයක්. ශ්‍රී ලංකාව මේ වන විටත් ඉන්දියාව හා පකිස්ථානය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් පවත්වාගෙන යනවා. එමෙන්ම චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගැනීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කොට තිබෙනවා".
     
    "ජපානය හා ශ්‍රී ලංකා අතර වෙළෙඳාම සැලකිය යුතු ලෙසින් වර්ධනය කිරීමට අප විශේෂයෙන් උනන්දු වෙනවා. එමෙන්ම අප දෙරට අතර ඉතා කිට්ටු, දීර්ඝ කාලීන වෙළෙඳ සබඳතා පවතිනවා. මේ හේතුවෙන් අප දෙරට අතර ද්වීපාර්ශ්වීය නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගැනීමට දැන් කාලය එළඹ ඇතැයි මා විශ්වාස කරනවා. ඒ වගේම ජපාන දූත පිරිස් වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාව දෙසට නැඹුරු කිරීමට කටයුතු කරන මෙන්ද, ඇඟලුම්, පිඟන් භාණ්ඩ, සම්භාණ්ඩ හා සංචාරක අංශයේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාව තුළ තම කර්මාන්ත ආරම්භ කරන ලෙසද ජපන් ආයෝජකයන්ට මා ආරාධනා කරනවා" යැයි ද කීය.
     
    මීට පිළිතුරු ලබාදුන් ජපාන ආර්ථික, වෙළෙඳ හා කර්මාන්ත ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ආයෝජන අවදානම් මට්ටම හා අනාගත ආර්ථික අවස්ථා දෙස බලන කළ ශ්‍රී ලංකාව ධනාත්මක ප්‍රගතියක් අත්කර ගෙන ඇතැයි පැවසීය. ද්වීපාර්ශ්වීය වෙළෙඳාම ප්‍රවර්ධනයෙහි ලා නිදහස් වෙළෙඳ ගිවිසුම් කදිම මෙවලමක් බවද කාසුයෝෂි මහතා සඳහන් කළේය. එමෙන්ම ජපානය සමඟ ද්වීපාර්ශ්වීය නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව සුදුසු තත්ත්වයේ පවතින බවද, එහිලා ශ්‍රී ලංකාවේ ආර්ථික හා වෙළෙඳ ප්‍රතිපත්තිවල යම් යම් අංශ තවදුරටත් ශක්තිමත් කිරීම වැදගත් බවද හෙතෙම අවධාරණය කරන ලදී.
     
    ඉන්දීය සාගර කලාපයේ වෙළෙඳාම ගැන සැලකීමේ දී, ශ්‍රී ලංකාව පිළිබඳ තම රට විශේෂ අවධානයකින් කටයුතු කරන බවද, ශ්‍රී ලංකාවේ ආර්ථික හා ආයෝජන පරිසරය තමා සිතුවාටත් වඩා හොඳ මට්ටමේ පවතින්නේ යැයි ද ජපාන නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මේ හේතුවෙන් ජපාන ආයෝජකයන්ට මධ්‍ය කාලීන හා දිගු කාලීන ආයෝජන අවස්ථා ශ්‍රී ලංකාව තුළ දක්නට ඇතැයිද ඔහු විශ්වාසය පළ කළේය.
     
    DB
     
     
     
     
    unnamed 2
     
    unnamed 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya