අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු රෝගයට කඩිනම් පියවර ගැනීමට නිසි බලධරයෙක්

    ජූලි 04, 2017

    ඩෙංගු උවදුර වැළැක්වීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්  ඊයේ (03) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

    මෙම සාකච්ඡාවේ දී ඩෙංගු රොගීන් සහ ඩෙංගු මරණ පිළිබඳව දත්ත සැකසීම පිළිබඳව අවධානය යොමු විය. දත්ත සැකසීම උදෙසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 10 ක් ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයට අනුයුක්ත කරන අතර ඔවුන් දෛනිකව එම වාර්තා සකස් කළ යුතු වෙයි. මේ වනවිට ඩෙංගු රෝගීන් 71,000 ඉක්මවා ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 226 කි.

    රාගම ශික්ෂණ රෝහලේ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ඉදිකරන ඩෙංගු අධිසත්කාර ඒකකය තව තෙදිනක් තුළ ආරම්භ කිරීමට මෙහිදී තීරණය විය. ඒ සඳහා හෙද හෙදියන් 30 ක් සහ වෛද්‍යවරුන් ලබාදීමට ද ඩෙංගු රෝගීන් සඳහා අවශ්‍ය විපරම් කිරීමේ යන්ත්‍ර 10 ක් ලබාදීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත. ඩෙංගු උවදුර පාලනය කරන තුරු එය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කළමනාකරණය කිරීම සහ අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත් කර ඇත.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම නිලධාරින්ගේ සහභාගීත්වයෙන් දෛනිකව රැස්වීම් පවත්වා අවශ්‍ය පියවර ගැනීම ඔහුට පැවැරී ඇති වගකීම වෙයි.
    ඩෙංගු රෝගීන් සදහා ලබාදෙන ඩෙක්ස්ට්‍රෑන් 40 ඖෂධය අවශ්‍ය තරම් තොඟ පවත්වාගෙන යාම පිළිබදව ද මෙහිදී සකචිඡා කෙරුනි.

    මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුවියක් ඩෙංගු රෝගයට ගොදුරුවීම පිළිබඳව මෙම සාකච්ඡාවෙි දී අවධානය යොමු විය. එම විශ්වවිද්‍යාලයේම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තිදෙනෙකු සිටින බව මෙහිදී හෙළි විය. පළමු ඩෙංගු රෝගියා වාර්තා වූ පසු ධූමායන කටයුතු සහ පරිශ්‍ර පිරිසිදු කිරීම සිදුනොකිරීම ගැටලුවක් බව වෛද්‍යවරුන් මෙහිදී පෙන්වා දුන්හ. සියලුම විශ්වවිද්‍යාලවල ධූමායන කටයුතු සිදු කිරීම හා පරිශ්‍ර පිරිසිදු කිරීම උපකුලපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ විධිමත්ව සිදු කිරීමට ද තීරණය විය. මොරටුව විශ්වවිද්‍යාලයේ ඊයේ (03) උදෑසන ධූමායන කටයුතු සහ පරිශ්‍ර පිරිසිදූ කිරීම් සිදු කළ අතර එහිදී ඩෙංගු මදුරු කීටයින් බෝවන ස්ථාන 15 ක් සොයා ගන්නා ලදි. තව ද එම විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් කලාප වල ද මදුරුවන් බෝවන බව හෙළි වී ඇත. ඩෙංගු රෝගයට ගොදුරුවන පාසල් දරුවන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බව ද හෙළි විය.

    කොළඹ ජාතික රෝහලේ ඩෙංගු රෝගීන් සඳහා අවශ්‍ය පහසුකම් සහිත වාට්ටු 02 ක් සකස් කර ඇති බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.

    මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, රෝහල් අධ්‍යක්ෂවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya