අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාට පත් පාසල් දරුවන්ට සහන පැකේජයක් Featured

    ජූනි 25, 2017

    ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි යථා තත්ත්වයට පත්කරගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදෙන විශේෂ සහන පැකේජය බෙදා හැරීම පසුගියදා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළේය.

    ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් වූ සියලුම පාසල් ගොඩනැගිලි සහ උපකරණ පිළිබඳ මේ වන විට පරීක්ෂා කර තක්සේරු වාර්තාවක් සකසා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එම සියලුම පාසල් ගොඩනැගිලි උසස් තත්ත්වයකින් ඉදිකිරීමට සහ අවශ්‍ය උපකරණ ලබාදීමට ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ සැලසුම් කර ඇති බවත් ඊට අවශ්‍ය අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බවත් අමාත්‍යවරයා පේනවා දුන්නේය.

    පීඩාවට පත් වූ පාසල් දරුවන්ට ලබාදෙන සහන පැකේජයට නිල ඇඳුම් රෙදි කට්ටල 03ක්, සපත්තු වවුචරයක්, පෙළ පොත්, පසුගිය වසර පහක ප්‍රශ්න පත්‍ර කට්ටල සහ අභ්‍යාස පොත් ඇතුළත් වේ. මේ හා සමගාමීව ජාතික පාසල් විසින් සහ ව්‍යාපාරික ආයතන විසින් පාසල් දරුවන්ට අත්‍යවශ්‍ය වන පාසල් බෑග්, කෑම පෙට්ටි, වතුර බෝතල්, ඇඳුම් පැළඳුම්,අභ්‍යාස පොත්, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍යමය ආධාර රැසක් ද ලබාදී ඇති අතර, එම ද්‍රව්‍ය ද මෙම සහන පැකේජයට ඇතුළත් කර තිබේ.

    ඒ අනුව එක් සිසුදරුවකුට රුපියල් 10,000 කට ආසන්න වටිනාකමින් යුත් ද්‍රව්‍ය ඇතුළත් සහන පැකේජයක් බැගින් පීඩාවට පත් සියලු දරුවන් වෙත ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශයට හැකි වී තිබේ.  මීට අමතරව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඉල්ලීමක් අනුව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ සියලුම මැති ඇමතිවරුවරුන්ගේ මාසයක වැටුප් පරිත්‍යාග වශයෙන් ලැබී ඇති රුපියල් මිලියන 5 ක මුදලින් ලබා ගත් අභ්‍යාස පොත් ද මෙම සහන පැකේජයට ඇතුළත් වේ.

    මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් දරු දැරියන් සංඛ්‍යාව 60,000 කට අධික වන අතර ඒ සියලු දෙනාට මෙම සහන පැකේජ ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර අවසන්.

     දිවයිනේ තෝරාගත් පාසල්වල ගුරුවරුන් සහ සිසු දරු දැරියන් විසින් මෙම සහන පැකේජය ආපදා හේතුවෙන් පීඩාවට පත් වූ සහෝදර පාසල් සිසුන් වෙත ගෙන ගොස් ලබා දීමේ වැඩපිළිවෙළක් අනුව මෙම බෙදා හැරීම් කටයුතු ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව අද සිට ආරම්භ කළ මෙම බෙදා හැරීමේ ක්‍රියාවලිය ඉදිරි සතිය තුළ දී ද පාසල් සිසු දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මකයි. මීට සමගාමීව ආපදාවට පත් වූ සිසුන්ගේ මානසික තත්ත්වය යහපත් කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් සංවිධානය කර පවත්වන ලෙස ද මෙම බෙදාහැරීමේ කටයුතුවලට සහභාගී වී සිටින පාසල්වලට උපදෙස් ලබා දී තිබෙනවා.

    මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම්, අධ්‍යාපන රාජ්‍ය ලේකම්, සියලුම අතිරේක ලේකම්වරු, අමාත්‍යාංශ නිලධාරීන් සහ ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya