පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා විසින් අසා ඇති ප්‍රශ්නය සඳහා පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.
ත්‍රිවිධ හමුදාවන්ට, පොලීසියට, බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මෙන්ම රජයේ වෙනත් පොර්තමේන්තුවලට බඳවා ගැනීමේදී, එම තනතුරුවලට අදාළ මූලික සුදුසුකම් සපූරාලීම ප්‍රධාන අවශ්‍යතාවයක්. එම සුදුසුකම් සපුරාලන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට තම ජන වර්ගය නොසළකා මෙම සේවාවන්ට ඇතුළත් වීමේ අවස්ථාව පවතිනවා. ඒ අනුව, දෙමළ කථා කරන තරුණ තරුණියන්ට ත්‍රිවිධ හමුදාවන්ට පොලීසියට හා අනෙක් දෙපාර්තමේන්තු ආදියෙහි සේවයට බැඳීමට කිසඳු අවහිරයක් නැහැ.
මෙම සේවාවන්ට දැනට සිදු කරනු ලබන සියළු බඳවා ගැනීම් සිදු කරන්නේ භාෂා තුනෙන්ම පල කරන පුවත්පත් දැන්වීම් හා ගැසට් නිවේදන හරහායි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ගැන කථා කරනවා නම් 1949 දී එය ස්ථාපනය කිරීමෙන් අනතුරුව ප්‍රථම හමුදාපති බවට පත්වූ මේජර් ජෙනරාල් ඇන්ටන් මුත්තුකුමරු මහතා දමිළ ජාතිකයෙක්. යුද්ධ හමුදාව ආරම්භයේ සිටම සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් ජාතීන්ට අයත් නිලධාරීන් සේවය කරලා තියෙනවා. දැනටත් සේවය කරනවා. යුද්ධ හමුදාවේ මෙන්ම නාවික හමුදාව හා ගුවන් හමුදාවේත් සෑම ජනවර්ගයකම නිලධාරීන් සේවය කරනවා.
ශ්‍රී ලංකා පොලිස් සේවයට දමිළ භාෂාව කථා කරන නිලධාරීන් බඳවා ගැනීමටත් ඔවුන් උතුරු නැගෙනහිර පළාත්වල සේවයෙහි යෙදවීමටත් රජයේ විශේෂ අවධානය යොමු වෙලා තිබෙනවා.
මේ අනුව දැනටමත් 2016.09.05 දිනයට දෙමළ භාෂා ප්‍රවීනතාවය සහිත පොලිස් කොස්තාපල් අයදුම්කරුවන් 216 දෙනෙකු බඳවා ගැනීමට නියමිතයි. මොවුන් අතුරෙන් 151 දෙනෙකු අයත් වන්නේ උතුරු පළාතටයි. නැගෙනහිර පළාතට අයත් ගණන 57 ක්. ඉදිරියේදී උප පොලිස් පරීක්‍ෂක, පොලිස් කොස්තාපල්, පොලිස් කොස්තාපල් රියදුරු යන තනතුරු සඳහා උතුරු නැගෙනහිර පළාත්වලින් නිලධාරීන් බඳවා ගැනීමට නියමිතයි. ඒ වගේම දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම දමිළ භාෂාව කථා කල හැකි නිලධාරීන් අවම වශයෙන් දෙදෙනෙකු බැඟින් හෝ අනුයුක්ත කිරීමට අප විසින් උපදෙස් ලබා දී තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගත්තත් තත්වය මේකයි. බන්ධනාගාර නියාමකවරුන් අවසන් වරට බඳවා ගෙන ඇත්තේ 2015 වසරේයි. එම වසරේ නිලධාරීන් 404 දෙනෙකු බඳවා ගෙන ඇති අතර එයින් නිලධාරීන් 90 ක් දමිළ භාෂාව කථා කරන නිලධාරීන්.
ශ්‍රී ලංකාවේ ගැටුම් පැවති ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම, පුනරුත්ථාපන කටයුතු සිදු කිරීම හා සංහිඳියාව ඇති කිරීම වත්මන් රජයේ ප්‍රමුඛතම කාර්ය භාරයක් බව මා නැවත වරක් අවධාරණය කර සිටිනවා. එම කටයුතු සඳහා අප ජාතික සමඟිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලය, සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය වැනි කාර්යාල පිහිටුවා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. එසේම, පසුගියදා අප අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත සම්මත කළා.
එසේම ඉදිරියේදී සිදු කෙරෙන දැවැන්ත ආයෝජන තුලින් දිවයිනේ අනෙක් ප්‍රදේශ වල මෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ද රැකී රක්‍ෂා විශාල ප්‍රමාණයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ සියළු ක්‍රියාමාර්ග තුලින් සංහිඳියාව තහවුරු කර සියළු ශ්‍රී ලාංකිකයින්ට සමෘද්ධිමත් අනාගතයක් උදා කරලිම අරමුණයැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය