අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස නීල් ද අල්විස් මහතා වැඩ භාර ගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශයේ නිලධාරින් හමුවීමකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"රාජ්‍ය සේවයේ එකමුතුකමින් වැඩ කරන්න.තමන්ට ඉහළින් සිටින පුද්ගලයාට විරුද්ධව වැඩ කරන්න හිතන්න එපා. එහෙම වුණොත් රාජ්‍ය සේවය ගොඩගන්න ලැබෙන්නේ නැහැ. කණ්ඩායමක් ලෙස වැඩ කරන්න. එහිදී රාජ්‍ය සේවයේ විශාල පිබිදීමක් සිදු වෙයි. උදේ ඇවිත් හවස යනවාට වඩා සේවයක් රට වෙනුවෙන් කරන්න. බොහෝ අයගේ පවතින්නේ යහපත් ආකල්ප නොවෙයි. සීමාවන් ඉරි ගහගන්න එපා.
අපි ප්‍රතිපත්ති තෝරා ගත්තේ සිහිබුද්ධියෙන්. මෙපමණ අපහසුතා මධ්‍යයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපි නිල මෙහෙවර ජාතික ජංගම සේවා වැඩසටහනක් කළා. එය දැකපු බොහෝ දෙනා ඒ ගැන ප්‍රශංසා කළා. එහි අඩුපාඩු අපි සකසා ගත යුතුයි. එවැනි ඉලක්කයකට ගමනක් ගියොත් අපට ඉදිරියට යන්න පුළුවන්. මම මේ කරුණු කිව්වේ කා සමගවත් වෛරයෙන් නොවෙයි. මම ඇමතිවරයා ලෙස අමාත්‍යාංශයට ආවේ අමාත්‍යාංශයේ මොනව හරි අරගෙන යන්න නොවෙයි. අමාත්‍යාංශයට යමක් දීල යන්නයි.
රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී සමහර අය කියනවා අපි ඉන්නේ ආණ්ඩුව කියන දේ කරන්න නෙවෙයි කියලා. එහෙම අය පාසල් ගිහිල්ල නැහැ. එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවල නැහැ කියලා මම කියනවා. අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පත් කරන්නේ ජනාධිපතිවරයා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ ලේකම්වරුන්ගේ වගකීම ඉතාම පැහැදිලියි. ඒ අනුව විෂය භාර ඇමතිවරයා දෙනු ලබන රජයේ ප්‍රතිපත්තිය සිය ආයතනවල නිලධාරින් මගින් ක්‍රියාවට නැංවීම ඔවුන්ගේ වගකීමයි. එසේ ක්‍රියාවට නැංවීමේදී කවරුන් හෝ සිතනවා නම් අපි ඉන්නේ ආණ්ඩුවකියන දේ කරන්න නෙවෙයි කියලා ඔවුන් රජයේ සේවයට සුදුසු නැහැ.
මහජන පරමාධිපත්‍යය තමයි බලවත්. ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය බලවත් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය මහජනතාව මත පිහිටුවා ඇති බව සඳහන් වනවා. මහජනතාවට අවශ්‍ය නම් අපිව පත් කරන්න පුළුවන්. ගෙදර යවන්නත් පුළුවන්. 2015 ජනවාරි 08 ජනතාව ඒ බව පෙන්නුම් කළා. ගෙදර යවන්න බෑ කියපු අය මහජනතාව ගෙදර යැවුවා. ප්‍රතිපත්ති තෝරන්නේ මහජනතාවයි. ඔවුන් තෝරන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස අපෙන් ඉල්ලා සිටිනවා. වසර 5කට වරක් සියලුම මහජන නියෝජිතයෝ ප්රජාතන්ත්රවාදයට අනුව විභාග කරල බලනවා. මොවුන් හොඳද? නරකද? කියලා. හොඳ නැත්නම් මහජනතාව ඔවුන් ඉවත් කරනවා. ආණ්ඩුක්රමව්යවස්ථාවේ ඇති මුක්ත බලය එයයි. රජයේ ප්‍රතිපත්තිය නිවැරදිව ක්‍රියාත්මක කරන රජයේ නිලධාරින් ආරක්ෂා කිරීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස මම බැඳී සිටිනවා.
රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකරන රජයේ නිලධාරින් ආරක්ෂා කිරීමට විෂය භාර ඇමතිවරයා ලෙස මම බැදිල නැහැ. මේ විශාල රාජ්‍ය යාන්ත්‍රණය මහජනතාවට යහපතක් වන ලෙස පාවිච්චි කළ යුතුයි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස ගමේ ජනතාව මුහුණපාන ගැටලු සඳහා කඩිනමින් විසදුම් ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ නිසා වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විෂය භාර අමාත්‍යවරයා ලෙස මට උපදෙස් ලබාදී තිබෙන්නේ අහිංසක, දුප්පත් ජනතාවගේ ප්‍රශ්න සඳහා අවධානය යොමු කර සහනයක් ලබාදෙන ලෙසයි." යැයි කීය.