"මූලාසනාරූඩ ගරු සභානායකතුමනි, පසුගිය මාර්තු 24 වෙනිදා අපේ රටේ දැවැන්ත පරිවර්තනයකට මුලපුරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව ඓතිහාසික පනත ජනමාධ්‍ය ඇමතිවරයා හැටියට මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කිරීමේ භාග්‍ය ලැබුණා. අද දින සුවිශේෂ පනත ඉදිරිපත් කරමින් මේ සඳහා දැවැන්ත කාර්යභාරයක් කරපු අපේ ගරු අග්‍රාමාත්‍යතුමා රජය වෙනුවෙන් කතා කළාට පස්සේ මේ ආණ්ඩුව වෙනුවෙන් අදහස් ස්වල්පයක් කතා කරන්න ලැබීම ගැන මම අතිශයින්ම සතුටු වෙනවා.
ගරු සභාපතිතුමනි, මේ වන විට ලෝකයේ රටවල් 120ක පමණ තොරතුරු දැන ගැනීමේ අයිතිය මෙවැනි පනත් හරහා සිය පුරවැසියනට ලබා දී තිබෙනවා.ලෝකයේ පළමු වරට තොරතුරු දැනගැනීමේ අයිතිය තම ජනතාවට ලබාදුන්නේ අපේ මන්ත්‍රීතුමා සඳහන් කළාක් මෙන් ස්වීඩන් රටේ.එය මීට වසර 250කට පමණ පෙරදි විම ගැනත් අපි විශේෂයෙන් කල්පනා කළ යුතුයි.
ඒ වගේම ගරු සභාපතිතුමනි දකුණු ආසියාවේ හැම රටකම පාහේ මේ වන විට නීති ක්‍රියාත්මක වුණත් අපිට මේ පනත තාම ගේන්න බැරිවුණා. මේ දක්වා ඒත් අපේ රටේ මෙවැනි නීතියක අවශ්‍යතාවය ,මෙවැනි පනතක තිබෙන වැදගත්කම කතා කරන්න පටන් ගෙන බොහෝ කලක් ගතවෙනවා.අපි දන්නවා 1994 එවකට පැවති රජයේ ජනමාධ්‍ය අමාත්‍ය ධර්මසිරි සේනානායක මැතිතුමා මුලින්ම මෙවැනි කතාබහක් ඇති කරන්න කටයුතු කරපු හැටි.එදත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුව කාලේ මෙවැනි පනතක ඇති අවශ්‍යතාවය පිළිබඳව මූලික වශයෙන් පිළිගැනීමක් සිදුකළා. ඒ අනුව ආර්.කේ.ඩබ්ලිව් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මේක කෙටුම්පත් කරන්න කමිටුවක් පත්කරන්න පවා කටයුතු කළා. ගුණසේකර කමිටුවේ සාමාජිකයෙක් ලෙස එදත් අපේ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මැතිතුමා කටයුතු කළා. අද අපි මේ ඓතිහාසික පනත සකස් කරනකොට එතුමා එහි සභාපතිවරයා ලෙස ක්‍රියාකළා පමණක් නොවෙයි අද මේක විවාද කරල හෙට මේක සම්මත කර ගන්න බලාපොරොත්තුවන මොහොත වෙනකොට එතුමා අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස සිටීම ගැනත් මම ඉතා සතුටුවෙනවා.
සභාපතිතුමනි, විවිධ අවස්ථාවලදී මේ පනත මේ සභාවට ගේන්නට අපි ගත්ත උත්සහයන් හැම එකක්ම ව්‍යර්ථ වෙන හැටි, විශේෂයෙන්ම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස මම දැක්කා.2002 බලයට පත්වුණු එක්සත් ජාතික පෙරමුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පනත ගේන්න එදා කෙටුම්පත් සකස් කරලා ඒ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පවා ලබාගෙන තිබෙද්දී අපේ රජය බලයෙන් ඉවත් වුණා.ඊට පස්සේ බලයට පැමිණි රජයට තොරතුරු දැනගැනීමේ පනත ගැන කතා කරනකොට හරියට නයාට අඳුකොළ වාගේ තත්ත්වයත් තිබුණේ. ඒ ආණ්ඩුවට වසන් කරන්නට දේවල් තිබුණු ආණ්ඩුවක් ලෙස අපි දිගින් දිගටම දැක්කා.එදා හිටපු නායකයන්ගෙන් තොරතුරු දැනගැනීමේ පනත ගැන කතා කරනකොට කියවුණේ මොනවද සභාපතිතුමනි, මට මතකයි එදා හිටපු නායකයෝ කිව්වා තොරතුරු දැනගන්න පනත් මොටද කියලා, ඕන තොරතුරක් තිබෙනවා නම් මගෙන් අහන්න කියන මට්ටමට තමයි එදා නායකයෝ ක්‍රියා කළේ.ඒ නිසා ජනතාවගෙන් වසන් කරමින් තොරතුරු යටපත් කළා මිසක් මෙවැනි පනතක් ක්‍රියාත්මක කරන්න එදා ඉඩක් අපට ලැබුණෙ නැහැ.
2010 ජූලි මාසයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා විපක්ෂනායකවරයා ලෙස හිදගෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගේන්නට උත්සහා කළා.එතකොට ආණ්ඩුව කිව්වා විපක්ෂ නායකයෙකුට පුද්ගලික පනතක් ගේන්නට බැහැයි කියළා .එදා පැවති ආණ්ඩුව මේ පනත පැත්තකට තල්ලු කළා.ඊට පස්සේ මම ඉතාමත්ම කෘතවේදීව සඳහන් කරන්නට ඕනේ ,අපේ වර්තමාන කතානායකතුමා දීර්ඝ කාලයක් තිස්සේ මේ පනතේ වැදගත් කම දැකලා එතුමගේ සිහිනයක් වෙලා තිබුණා මේ පනත කවද හරි දවසක මේ රටේ ක්‍රියාත්මක කළයුතුයි කියලා. දේශබන්ධු කරු ජයසූරිය මැතිතුමා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත ගෙනාවා.
එතකොට පෙර හිටපු ආණ්ඩු පක්ෂයේ විපක්ෂ ප්‍රධාන සංවිධායකවරයා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මේ සභාවෙදී මෙන්න මෙහෙම තමයි කතා කළේ. මම මෙය හැන්සාඩ් වාර්තාවෙන් උපුටල දක්වන්න කැමතියි.
“ගරු කතානායකතුමනි ගරු කරු ජයසූරිය මැතිතුමා ඉදිරිපත් කරන ලද කාරණාව ගැන රජයේ අවධානය යොමු කොට පනත් කෙටුම් පතක් දැනට සකස් කරමින් තිබෙනවා.නුදුරු කාලයේදී රජය විසින් ඒ පනත කෙටුම්පත් කර ඉදිරිපත් කරන්න කටයුතු කරමින් සිටින නිසා අද දින එතුමා ඉදිරිපත් කරන ලද මේ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතට එකඟතාවය පළ කරන්නේ නැහැ” කියලා ඒක බැහැර කරපු හැටි තමයි අපට එදා දකින්න ලැබුණේ.
එතුමා කිව්වා ඉතා ඉක්මනින් ආණ්ඩුව පනතක් ගේනවා කියලා එදා.ඊට පස්සේ නැවත වතාවක් මාස 06කට විතර පස්සේ කරු ජයසූරිය මැතිතුමාත් මෙවැනි පනතක් පාර්ලිමේන්තුවට ගේන්න උත්සාහ කළා.එදා පැවති ආණ්ඩුවට වසන් කරන්න දේවල් තිබුණ නිසා පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි ටික පාව්ච්චි කරමින් මෙවැනි පනතක් අවශ්‍යද නැද්ද කියක එක ඡන්ද විමසීමකට පවා ගිහිල්ලා එදා තිබුණ ඔලුගෙඩි සංඛ්‍යාව පාව්ච්චි කරලා ඒ පනතත් අකර්මන්‍ය කරපු හැටි විපක්ෂයේ ඉදගෙන අපි ඉතා කණගාටුවෙන් බලාගෙන හිටියා.
නමුත් සභාපතිතුමනි, විපක්ෂයේ හිටියත්, බලයේ හිටියත් එක ප්‍රතිපත්තියක් තියෙන පිරිසක් ලෙස අපිට අද මේ පනත පාර්ලිමේන්තුවට ගේන්න ලැබීම ගැන අතිශයින්ම සංතෝෂ වෙනවා.
ගරු සභාපතිතුමනි, 2015 ජනවාරි 08 වෙනිදා මේ රටේ සිදුවෙච්ච මහා විප්ලවයේ මාහැඟි ප්‍රතිඵලයක් හැටියටයි අද මේ රටේ අනාගතයට ස්වර්ණමය අවස්ථාවක් උදා කෙරෙන මේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාවට දායාද කරන්න ලැබෙන්නේ කියන එක මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තොරතුරු දැනගැනීමේ පනත කඩිනමින් ගෙනෙන බවට පොරොන්දුවක් දුන්නා.ඒ පොරොන්දුව තමයි අද ආණ්ඩුව බලයට පත්වෙලා වසර එකහමාරක් යන්නටත් පෙර යථාර්ථයක් වෙමින් පවතින්නේ කියන එකත් මම මේ වෙලාවේ තමුන්නාසේට මතක් කරන්න කැමතියි.
එතුමා මේ පනත ගේන්නට පෙර සිටම බලයට ඇවිල්ලා දින 100ක් ඇතුළත තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන හරහා ව්‍යවස්ථාවට පවා ඇතුලත් කරන්න ක්‍රියාකළා කියන එකත් අපි හැම කෙනෙක්ම දන්නවා.මෛත්‍රී රනිල් ආණ්ඩුවෙන් රටේ ජනතාව ලබන සුවිශේෂී ජයග්‍රහණ බවත් මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. අපේ යහපාලන ආණ්ඩුවට මුද්‍රාව තබන දිනය හැටියටත් මේ තොරතුරු දැනගැනීමේ පනත ගේන දවස මම දකිනවා ගරු සභාපතිතුමනි.අපි මෙතුමා කිව්වා වගේ දින 100 ආණ්ඩුව තුළ තොරතුරු දැනගැනීමේ පනත ගේනවා කියලා එදා ප්‍රකාශ කළා. ඇත්ත වශයෙන්ම අපි ඒ සඳහා වැඩ කටයුතු ආරම්භ කළා.නමුත් මේ පිළිබඳ සිවිල් සමාජයේ අපේ රටේ ජනතාව තුළ විශාල උද්යෝගයක් දකින්න ලැබුණු නිසා ඉල්ලීම් ගණනාවක් ආවා මේක කඩිමුඩි පනතක් හැටියට ගේන්නේ නැතුව හොඳට අධ්‍යනය කරලා කාගේත් අදහස් අරගෙන හොද කෙටුම්පතක් සකස් කරලා මේක ගේන්න යම් කාල සීමාවක් අරගන්න කියලා.ඒ වෙලාවේ මාධ්‍ය සංවිධාන වලින් අදහස් ලැබුණා. සිවිල් සංවිධාන වලින් අදහස් ලැබුණා.අපේ රටේ විද්වතුන්ගේ අදහස් මේකට ලබා ගත්තා.මම දැක්කා ඒ කෙටුම්පත් සම්පාදනය කරන කමිටුව පුවත්පත් දැන්වීම් පවා දාලා සාමාන්‍ය ජනතාවගෙන් අදහස් පවා අරගෙන ඒ හැම අදහසකටම වටිනකමක් එකතු කරලා මේ කෙටුම්පත සකස් කළා කියන එක මම දැක්කා.
ලෝකයේ සමහර රටවල් වල මේ වගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වගේ පනත් ගෙනාවේ ,අල්ලපු ඉන්දියාව වගේ රටවල් වල ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණ කරලා, පෙළපාලි ගිහිල්ලා, විවිධ බලපෑම් කරලා තමයි ආණ්ඩුවකින් තමයි මේ වගේ පනතක් අරගත්තේ.නමුත් මම සංතෝෂ වෙනවා අපේ යහපාලන ආණ්ඩුව ජනතාවට එවැනි තත්ත්වයක් ඇති නොවී ආණ්ඩුව ඉස්සරහට ඇවිල්ලා මේ වගේ පනතක් ගේන්න අද කටයුතු කරා.අද වෙද්දී ලෝකයේ රටවල් 120 ක පමණ මෙවැනි පනත් ක්‍රියාත්මක වෙනවා. දකුණු ආසියාවේ අපේ රට හැරුණු විට අන් සියලුම රටවල් මේ පනත ක්‍රියාත්මක වෙද්දී අපි ප්‍රමාද වෙලා හරි මෙවන් වැදගත් ජනතාවට අතිශයින් වැදගත් ප්‍රයෝජනවත් පනතක් ගේන්න කටයුතු කරලා තිබෙන්නේ.
මම සතුටු වෙනවා බොහෝ කලක සිට නෙයෙකුත් උත්සාහයන් ගෙන ගේන්න බැරිවෙච්ච මේ පනත අපේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ මඟ පෙන්වීම මත අපේ රටේ ඉතාම ,පිරිසිදු දේශපාලන නායකයෙක් හැටියට වසර ගණනක සිට කීර්තියක් දිනාගෙන සිටින ජනනායකයෙකු වන අපේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ඡන්ම දිනය යෙදී තිබුණු මාර්තු 24 වෙනිදා මේ පනත අපට මේ සභාවට ඉදිරිපත් කරන්න ලැබුණේ.ඒ වගේම මට මතකයි මේක එදා ඉදිරිපත් කරන කොට මේක තමන්ගේ සිහිනයක් ලෙස දැක දැක හිටපු අපේ කතානායකතුමා මේ උත්තරීතර සභාවේ මූලාසනයේ තියාගෙන ජනමාධ්‍ය ඇමතිවරයා හැටියට මට භාග්‍ය ලැබුණා ඓතිහාසික පනත මේ සභාවට ගේන්න.
ඒ වගේම සභාපතිතුමනි, පොදු ජනතාවට ඉතාමත් වැදගත් වන මේ පනත අද දෙවනි වර කියවීම සිදුවන දවස ගැන කල්පනා කරද්දී මේ රටේ පොදු ජනතාව අතරින් මතුවෙච්ච අපේ දිවංගත ජනාධිපති ප්‍රේමදාස මැතිතුමාගේ ඡන්ම දිනය තිබුණ දවසේ මේක ගෙනල්ල හෙට දවසේ මේක සම්මත කරගන්න අවස්ථාව ලැබෙන එක ගැන මම ඉතාමත් සන්තොස වෙනවා.
ගරු සභාපතිතුමනි, මේ පනත එසේ මෙසේ පනතක් නෙමෙයි.මම එහෙම කියන්නේ කැනඩාවේ ක්‍රියාත්මක වන “සෙන්ටෆෝ ලෝ ඇන්ඩ් ඩිමොක්‍රසි” කියන නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මධ්‍යස්ථානය ලෝකයේ හත්වෙනි හොඳම තොරතුරු පනත හැටියටයි අපි අද මේ විවාද කරන පනත දකින්නේ ශ්‍රේණිගත කරලා තියෙන්නේ මම විශේෂයෙන් තමුන්නාන්සේට කියන්න කැමතියි.ඒ විතරක් නෙමෙයි දකුණු ආසියාවේ රටවල් අතරින් අපේ පනත දෙවනි වන්නේ අල්ලපු ඉන්දියාවේ පනතට පමණයි.අපේ මන්ත්‍රීතුමා කිව්වා වාගේ ව්‍යවස්ථාවේ යම් යම් සීමාවන් නොතිබුණා නම් අපි ඉන්දියාවට නොදෙවෙනි පනතක් හැටියට මේක ගේන්න තිබුණා.
ඇත්ත වශයෙන්ම අර තොරතුරු දෙන නිලධාරීන්ට ඉන්දියාවේ දඩ ගහනවා හරියට නොදුන්නොත්. නමුත් අපේ ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන අනුව අපිට එවැනි නීතියක් ගේන්න බැරිකමක් තිබෙනවා.මොකද කොමිසන් සභාවකට දඩයක් නියම කරන්න පුළුවන් කමක් නැහැ.ඒක අධිකරණමය ක්‍රියාවලියක් නිසා∙ එවැනි පොඩි පොඩි කාරණා වලට විතරයි ඉන්දියාවට දෙවෙනි වෙන්න සිදු වුණේ.ඒ වගේම දකුණු ආසියාවේ තොරතුරු පනතක් ගේන අන්තිම රටත් අපේ රටයි.අන්තිම ගැටුම් පවතින ඇෆ්ගනිස්ථානය පවා මේ වගේ පනත් ක්‍රියාත්මක වෙනවා.නමුත් සභාපතිතුමනි අපි අන්තිමයා වීම අපේ වාසියට හරවා ගත්තා කියන එක මම කියන්න කැමතියි.ඒ හැම රටකම අත්දැකීම් වලින් අපි පාඩම් ඉගෙන ගත්තා.ඔවුන්ට වැරදුන තැන් ඔවුන්ට , හරිගිය තැන් අපි අධ්‍යනය කළා.එහෙම කරලා තමයි අපේ මේ කමිටුව හත්වෙනි හොඳම පනත හැටියට මේ සභාවට ගේන්න කටයුතු කළේ කියන එක මම විශේෂයෙන් කියන්න කැමතියි. ගරු සභාපතිතුමනි, මෑත කාලීන ප්‍රජාත්‍රන්වාදී ඉතිහාසයේ තොරතුරු දැනගැනීමේ ජනතාව සතු අයිතිය මුලින්ම නීතියක් ලෙස ස්ථාපිත කරන්නේ ස්වීඩනය බවත් ඒ මීට අවුරුදු හරියටම 250කට ඉහත දී බවත් මා මුලින් සඳහන් කළා.නමුත් මීටත් පෙර මහා සම්මත රාජ්‍ය සමයේ පටන් ජනතාවට තොරතුරු දිම රාජ්‍ය පාලනයේ වැදගත් හා අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැළකුනා.මහා සම්මත රජවරු කළින් කළට ජනතාව රැස් කරළා තමන් ගත්ත තීන්දු තීරණ වගේම සම්පත් බෙදී යාමේ පිළිවෙල ගැනත් ජනතාව දැනුවත් කරපු බව අපේ පොත්පත් වල සඳහන් වෙනවා.
සභාපතිතුමනි, ඒ වගේම ධර්මාශෝක රජතුමා රටපුරා අශෝක ස්ථම්භ පිහිටුවමින් තහවුරු කළේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියයි.එම මූලධර්ම අනුගමනය කරමින් ශිලා ලේඛන ,ටැම් ලිපි, අඩ බෙර කරුවන් වැනි විවිධ මාධ්‍යයන් උපයෝගි කර ගනිමින් අපේ පෙර දවස රජදරුවන් ජනතාවට තොරතුරු ලබා දුන්නා.සිතුල්පව්ව රාජ මහා විහාරය සහ එහි වැඩවිසු දොළොස් දහසක් රහතන් වහන්සේලාගේ නඩත්තුව සඳහා අරමුදල් සපයා ගත් ආකාරය පිළිබඳ රාජ නිවේදන ශිලා ලිපියක සඳහන් වන හැටි අදටත් එහි ගියාම අපට දැක ගන්න තිබෙනවා.සභාපතිතුමනි, දේවානම්පියතිස්ස රජතුමාගේ මුණුපුරෙකු වූ ඉලනාග නැමති රජු විසින් පිහිටුවා ඇති එක සෙල්ගිරි ලිපියක සිතුල්පව්ව රාජ මහා විහාරයේ නඩත්තුව සඳහා බෙදා දී ඇති ගොඩ සහ මඩ ඉඩම් පිළිබඳවත් ඒ සඳහා යෙදවිය යුතු බදු මුදල් පිළිබඳ විස්තරත් අපර බ්‍රහ්මීය අක්ෂර වලින් පුරාණ සිංහල භාෂාවෙන් සඳහන් වෙනවා.ක්‍රි.ව 112-134 අතර රජකළ පළවෙනි ගජබා රජු විසින් යහටගම හා අකුඡ මහගම යන ප්‍රදේශ දෙකෙ මහා අධිකරණ මඟින් දෛනිකව ලැබෙන දඩ මුදල් වලින් කහවනු 2ක් චිත්තල පබ්බත හෙවත් සිතුල්පව්වේ වැඩ සිටි මහරහන් වහන්සේලාගේ බෙහෙත් සඳහා යෙදවු බව තවත් සෙල් ලිපියක කියවෙනවා. එසේම දැනට බදුල්ල පුස්තකාල භුමියේ තැන්පත් කර ඇති හෝපිටිගමුව ටැම් ලිපිය හතරවන උදේනි රජතුමා විසින් ස්ථාපනය කරන ලද්දක් එහි වෙළඳ සංකීර්ණයේ කටයුතු විධිමත් කීරීම සඳහා පිහිටුවා ඇති මෙම ටැම් ලිපිය මඟින් මෙම වෙළඳ සංකීර්ණය පරිහරණය කරන අයට වැදගත් තොරතුරු රුසක් පෙන්වා දී තිබෙනවා.විශේෂයෙන්ම ටැම් ලිපියේ නියම කර ඇති රෙගුලාසි කඩකරන්නන් සඳහා දඩ මුදල් නියම කිරීමේ බලය මහාග්‍රාමීන් හා වෙළඳ නියෝජිතයන්ට ඇති බවත් දඩ මුදල් නොගෙවීම හේතුවෙන් අඹු දරුවන් අත්අඩංගුවට නොගත යුතු බවටත් එහි දැක්වෙනවා.
මේ අනුව සභාපතිතුමනි, පුරවැසි අයිතීන් පාරිභෝගික අයිතීන් මෙන්ම රාජ්‍ය පරිපාලන පටිපාටිය පිළිබඳ තොරතුරු ද මෙම බදුලු ටැම් ලිපියෙන් ජනතාවට ලබා දෙනවා දැනට අම්පාර කච්චේරි භූමියේ තැන්පත් කර ඇති කෝණ්ඩුබටුවාන ටැම් ලිපියෙද දීඝවාපි විහාරයේ නඩත්තුව සඳහා ඇරගම නැමති ගම වෙන් කිරීම පිළිබඳවද එම ගමේ ඇති බදු ක්‍රමවේදය පිළිබඳව ජනතාවට තොරතුරු සපයා තිබෙනවා. මෑත කාලයේ කතිකාවට ලක් වු වල්ලිපුරම් රන් සන්නස ද මෙවැනි කරුණු ජනතාවට දුන් තවත් ඵෙතිහාසික ලියවිල්ලක් පෙර රජදරුවන් රට වැසියන්ගෙන් තොරතුරු දැන ගැනීමේ අයිතියට ගරු කළේ ඒ විදිහටයි බව අපි කවුරුත් දන්නවා.
ගරු සභාපතිතුමනි, මෙම පනත් කෙටුම්පත පළමු වරට ඉදිරිපත් කිරීමෙන් පස්සේ එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 05ක් ගොනු වුනා.ඒ වගේම මැදිහත් වීමේ පෙත්සම් 07ක්ද ගොනු වුනා.ඒ නිසා මෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේදී හොදින් තර්ක විතර්ක ඇති වි තිබෙනවා.මේ නිසා මෙහි අවසානයෙදි ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ එක් වගන්තියක හා උප වගන්ති 04ක සුළු සංශෝධන කිහිපයක් සිදු කරන්නේ නම් මේ ගරු පාර්ලිමේන්තුවේ සරළ බහුතරයකින් සම්මත කර ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ බවයි.සභාපතිතුමනි එම සංශෝධන මඟින් පනතේ හරියට කිසිදු හානියක් සිදු වන්නේ නැහැ.අපි ශ්‍රේෂ්ඨාධිකරණයට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරමින් එය සිදු කිරීමට දැන් තීරණය කරලා තිබෙනවා.ඒ වගේම අපේ ගරු මන්ත්‍රිවරු යම් යම් කාරණා අඩුපඩු පෙන්වලා දුන්නා අපට ඒවා පිළිබඳවත් අවධානය යොමු කරගෙන ඒ කාරකසභා වල මේවා සාකච්ඡා කරලා මේක අපි ආරම්භයක් හැටියට දෙමු .ඊට පස්සේ ඔය ඔක්කොම හදාගෙන අපට ඉස්සරහට යන්න ඉඩක තියෙනවා කියන එකත් මං විශේෂයෙන් මේ සභාවට මතක් කරන්න කැමති.
ගරු සභාපතිතුමනි තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් මොටද කියලා සමහරු අහනවා.තොරතුරු දැනගෙන කරන්න පුළුවන් මොනවද කියලා අහන අයත් ඉන්නවා .මේ ප්‍රශ්න වලට දෙන්න පුළුවන් පිළිතුරු බොහොම සරළයි.ආණ්ඩුවෙත් රාජ්‍ය නොවන සංවිධාන වලත් ආණ්ඩුව හා ව්‍යාපාර ගනුදෙනු කරන පෞද්ගලික සමාගම්වලත් තොරතුරු දැන ගැනීමේ අයිතිය වගේම ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන ප්‍රශ්න කිරීමටත් මේ පනත හරහා ජනතාවට අයිතියක් ලැබෙනවා කියනඑක තමයි මට කියන්න තියෙන්නේ ගමේ ඉස්පිරිතාලේ බෙහෙත් නැත්තේ මොන හේතුව නිසා ද කියන එක සුළු මුදලක් දීලා ෆෝම් කොළයක් පුරවලා ලබා ගැනීමේ අයිතිය අපේ සාමාන්‍ය ජනතාවට මේ හරහා ලැබෙනවා.ඒ වගේම ගමේ පාරට ක්‍රොන්ක්‍රීට් දමන කොට ඒකේ ප්‍රමිතිය මොකක්ද මිශ්‍රණය මොකක්ද දිග පළල කීයද අනුමැතිය දුන්නේ කොහොමද ඒ සියල්ල පිළිබඳව දැන ගැනීමේ අයිතිය අපේ සාමාන්‍ය ජනතාවට පවා ලැබෙනවා.එ වගේම මෙතුමා කිව්වා වගේ තමන්ගේ දරුවා පළමු වසරට ඇතුළත් කර ගැනීමේ ප්‍රශ්නය අද බොහො දෙමවුපියන්ට තියෙන ප්‍රශ්නයක් එක දරුවෙක් ඇතුල් වෙනවා අපේ දරුවට ඇතුල් වෙන්න බැරි වෙනවා.අපේ දරුවා ඇතුල් කර ගත්තේ නැත්තේ කුමන හේතුවක් නිසාද කියන එක ලිඛිතව තොරතුරු දැනගැනීමේ නිලධාරීයාගෙන් ලබා ගැනීමේ අවස්ථාවක් මේ හරහා ලැබෙන බව මම විශේෂයෙන් කියන්න කැමති.ඒ වගේම අද කවුරුත් කතා කරන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව වැනි හර බර තොරතුරු මේ පනත භාවිතා කර අවශ්‍ය අයට ලබා ගන්න පුළුවන්.ඉතින් මේ හරහා ජනතාවට ප්‍රයෝජනයක් වෙනවද නැද්ද කියන තෙරුම් ගැනීමට අපට අපහසුවක් වෙයි කියලා මම කල්පනා කරන්නේ නෑ.
දැන් සමහර වෙලාවට සමහරු හිතුවා මේවා මේ මාධ්‍ය නිදහස ස්ථාපනය කරපු ආණ්ඩුවක් නිසා අපේ ආණ්ඩුව මාධ්‍යවේදීන් වෙනුවෙන් පමණක් ඇති කරපු පනතක් දෝ කියලා සමහරුන්ට සැකයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මාධ්‍යටත් මේකෙන් හොඳ අවස්ථාවක් ලැබෙනවා දැන් නිවැරදි තොරතුරක් ලබා දෙනකොට මාධ්‍යවේදීන්ට පුළුවන් හරියට තොරතුරු අරගෙන තමන්ගේ විස්තරය පල කරන්න.ඒ වගේම ආරංචි මාර්ග වලට කටකතා වලට ලැබිච්ච තොරතුරු අහුලගෙන තොරතුරක් දෙනවට වඩා ගවේශණාත්මක මාධ්‍යකරණයකටත් මේ හරහා මාධ්‍යවේදීන්ට ඉඩ කඩ ලැබෙනවා කියනඑක මම විශේෂයෙන් කියන්න කැමතියි.සභාපතිතුමනි දැන් මේ කාරණා කීපයක් තියෙනවා තොරතුරු පනතේ සඳහන් කරලා මේ වගේ තොරතුරු ලබා දිය නොහැකි කියලා එකක් තමයි රටේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිඳු තොරතුරක් ලබා නොදීමටත් දැන් එතනදි රටේ ආරක්ෂාවට කිව්වාම අපි දන්නවා යම් යම් තොරතුරු තියෙනවා ඒවා ලබා දුන්නොත් එළියට ගියොත් රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙයි කියලා.රටවල් අතර ද්විපාර්ශවික වෙළඳ ගිවිසුම් අත්සන් කරන තුරු ඒවායේ තොරතුරු ලබා නොදීමට තමයි මේක කියලා තියෙන්නේ.ගිවිසුම අත්සන් කරායින් පස්සේ ඕනෑම තොරතුරක් ලබා දීමට අයිතිය ලැබෙනවා.අනිත් පාර්ශවයට අගතියක් නොවන විදිහට රටවල් දෙකෙ ගිවිසුම අත්සන් කරන තුරු ඒ තොරතුරු ලබා නොදෙන්නත් දක්වලා තියෙනවා වෛද්‍ය වාර්තා වැනි අතිශය පෞද්ගලික තොරතුරු ලබා දීමට මේකෙන් පුළුවන් කමක් නෑ කියලා සඳහන් කරලා තියෙනවා.අධිකරණ කටයුතු වලට බාධා කරන පාර්ලිමේන්තු වරප්‍රසාද වලට බාධා වෙන තොරතුරු දෙන්න බෑ කියලා මේකේ සඳහන් කරලා තියෙනවා.ආර්ථිකයට අගතියක් වන තොරතුරු දෙන්න බැහැ කියලා දැන් මෙතුමා කිව්වා වගේ සදහන් කරලා තිබෙනවා.හැබැයි මම කියන්න කැමතියි මේ ඕනෑම තොරතුරක් බැරි දේවල් උනත් විශාල මහජන උද්යෝගයක් ඒ තොරතුර ලබා ගැනිම සදහා රට තුළ මතු වෙලා තිබෙනවා කියලා තීරණය උණොත් අර ස්වාධීන තොරතුරු කොමිසමට අයිතිය තියෙනවා ඒ තොරතුරු ලබා දෙන්න පුළුවන් ද කියන එක ගැනත් තිරණය කරන්න.
අපි බලාපොරොත්තු වෙන්නේ හැකි ඉක්මනින් මේ පනතේ ප්‍රතිලාභ ජනතාවට සලස්වන්න.අපි බලාපොරොත්තු වෙනවා මේ පනත සම්මත කරලා මාස 06ක් ගත වෙද්දි ම තොරතුරු දැන ගැනිම පිළිබඳ අයදුම්පත්‍ර ක්‍රමවේදයක් සකස් කරන්න.අග්‍රාමාත්‍යතුමා කිව්වා වගේ ඔක්කෝම එක පාරට කරන්න බැහැ.අලුත් දෙයක් ජනතා ආකල්ප වෙනස් කරන්න වේවි.රාජ්‍ය සේවකයාගේ ආකල්ප හදන්න වෙයි.යම් කාලසිමාවක් අතරේ 8000ක් පමණ පුහුණු කරන්න වේවි.රාජ්‍ය කාර්යාල 4000කට වැඩිය මේවා යොදවන්න වෙයි.අපි බලාපොරොත්තු වෙනවා හැම පාසලකටම තොරතුරු නිලධාරියෙක් පත් කරන්න.හැම පොලිසියකට ම තොරතුරු නිලධාරියෙක් පත් කරන්න.හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ම තොරතුරු නිලධාරියෙක් පත් කරන්න වෙයි.ඒ වගේ ම මේ පනතේ තිබෙන විදියට යම් පුද්ගලයෙක් තොරතුරක් ඉල්ලුවා ම ඒ තොරතුරු නිලධාරියා බැදිලා ඉන්නවා දින 14ක් ඇතුළත තොරතුරු ලබා දෙන්න.යම් විදියකින් ඒ තොරතුරු ලබා නොදුන්නොත් තොරතුරු කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කරා ම තොරතුරු කොමිසමට පුළුවන් ඒ නිලධාරින්ට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගන්න පවා මෙයට ඉඩ කඩ ලැබිලා තියෙනවා.
ගරු සභාපතිතුමනි,මෙවැනි නීතියන් ගෙනාව බොහෝමයක් රටවල් එවැනි නීති තම රටවල සම්මත කලේ තමන්ගේ ආණ්ඩුවේ දෙවැනි ධූර කාල වල දි කියන එකත් අපි මතක් කරන්න කැමතියි. එයට හේතුව මෙහි විශාලම අභියෝගය එල්ල වන්නේ ඇත්තට ම ආණ්ඩුවකට.විදුරු කූඩුවක් ඇතුලේ ඉන්නවා වගේ ආණ්ඩුවට ඉන්න වෙන්නේ.හැබැයි ඇත්තට ම මෙකේ වැඩි වාසිය තිබෙන්නේ විරුද්ධ පක්ෂයට.වැඩි ම වාසිය තිබෙන්නේ මේ රටේ මහජනතාවට.පුරවැසියන්ට.හැබැයි අපි පළමු ධුර කාලයේ පළමු වසර ඉක්මවීමටත් පෙර මෙම නිතිය සම්මත කර ගන්න තිරණය කලේ මේ සදහා වන අපේ දේශපාලන කැපවිම අපේ රජය සතුව තිබෙන බව මුළු ලෝකයටම ප්‍රදර්ශනය කරමින් කියන එකත් මම මේ වෙලාවේ සදහන් කරන්න කැමතියි.විනිවිද පාලනයක් තිබෙන යහපාලන ආණ්ඩුවක් කියන එක අද අපි සනාථ කරනවා මේ තොරතුරු දැන ගැනිමේ පනත ආණ්ඩුව විසින් ම කඩිනමින් ගෙනැල්ලා ජනතාව අතරට දිලා.
සභාපතිතුමනි, මේ පනත මගින් අපේ ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් ඇති වේවි.ජනතාවට වඩාත් ම ශක්තිමත් ව ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාවලියකට එකතුවේවි.රාජ්‍ය සම්පත් ඉතා යහපත් ලෙස ජනතාවාදිව භාවිතා වෙන්න පටන් ගනිවි.මෙම පනත කෝකටත් තෛලයක් නොවුනත් බොහෝ ගැටලු වලට පිළිතුරු සපයාවි යැයි මම විස්වාස කරනවා.අදට වඩා හෙට රට යහපත් වේවි.
මෙම උතුම් සත්කාරයට දායක වි ඉතිහාසය වෙනස් කරන මෙම යෝධ පියවරකට අපට අත්වැල් බැද ගන්න පක්ෂ විපක්ෂ සියලු දෙනා ම එකතු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.ප්‍රජාතන්ත්‍රවාදි සැබෑ ආරක්ෂකයින් අභිබවා මේ සභාවේ සිටින 225 කට පෙන්වන්න මේ හරහා හෙට වෙනකොට අවස්ථාවක් ලැබෙයි කියලා මං කල්පනා කරනවා මේ පනතට සහය දෙන සෑම මන්ත්‍රිවරයෙක් ම ප්‍රජාතන්ත්‍රවාදි මුර දේවතාවුන් හැටියට ඉතිහාසයට එක්වෙනවට කිසිම සැකයක් නැහැ.ඔබේ ඡන්දදායකයාගේ ඡන්දයට වටිනකමක් එකතු කරලා ඡන්දදායකයාගේ ගෞරවයට පාත්‍රවෙන මහජන නියෝජිතයෙක් වෙන්න මේ සියලු ම මන්ත්‍රිවරු මේ පනතට ඒකත් ඡන්දයෙන් සම්මත කරගන්න අපට අවකාශ ලබා දෙයි කියලා මම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා.
මගේ යුතුකමක් තියෙනවා,මේ පනත ක්‍රියාත්මක කරන්න බාරවෙන ජනමාධ්‍ය අමාත්‍යාංශ ඇමතිවරයා හැටියට මේ සදහා මෙය යථාර්ථයක් කර ගැනිමට උදව් කල කිහිප දෙනෙකුට විශේෂයෙන් ස්තුති කරන්න.අතිගරු ජනාධිපතිතුමා,මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අපට මේ සදහා අවකාශ ලබා දුන්නා.එතුමා පොදු අපේක්ෂකයා වෙද්දි දුන් පොරොන්දුව අකුරට ම ඉටු කරමින් මේ පනත කඩිනමින් ගෙන ඒම සදහා අවශ්‍ය මග පෙන්විම එතුමා ලබා දුන්නා.රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට සෑහෙන කාලෙක සිට අවශ්‍යතාවයක් තිබුණා මේ තොරතුරු දැන ගැනීමේ අයිතිය අපේ රටේ ජනතාව වෙත උදා කරදිමට.විපක්ෂ නායකයා හැටියට උත්සාහ කලා විපක්ෂයේ අනිකුත් මන්ත්‍රිවරු හරහා මෙය මෙහෙව්වා බලයට ආවට පස්සෙත් ආණ්ඩුව ගත්තට පස්සෙත් මේ බලාපොරොත්තු අත්හරින්න නැතිව මෙය යථාර්ථයක් බවට පත් කරන්නට විශාල නායකත්වයක් අපට ලබා දුන්නා.
අපේ ගරු කතානායකතුමා,අද දින එතුමාට සභාවට එන්නට බැරි බව වාර්තා කර තිබෙනවා අසනිප තත්ත්වයෙන් සිටින නිසා.ඇත්ත වශයෙන් ම දැඩි කැපවිමකින්, විශාල උනන්නදුවකින්, හැඟිමකින් මේ පනත යථාර්ථයක් බවට පත් කිරිමට සුව්ශේෂි කාර්යය භාර්යයක් ඉටු කලා.ඒ වගේ ම කෙටුම්පත් මණ්ඩලයේ සභාපති හැටියට,වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රි ජනාධිපති නීතිඥ ආචාර්යය ජයම්පති වික්‍රමරත්න මැතිතුමා දක්වපු කැපවිම,සුවිශේෂි කාර්යය බභාර්යය මම ඉතා අගය කොට සලකනවා.දින100 ආණ්ඩුව තුළ අපේ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් හිටපු අද අපේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටින කරුණාරත්න පරණවිතාන මැතිතුමා සියල්ල සම්බන්ධීකරණය කරමින් විශාල කැපවීමකින් යුතුව මෙයට සම්බන්ධ වුනා.ඒ වගේ ම අපේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්යය රංග කලංසූරිය මැතිතුමා ඇතුළු අපේ අමාත්‍යාංශයේ සියලුම නිලධාරින්ටත්, අනිකුත් අමාත්‍යාංශවල, අධිකරණ අමාත්‍යාංශය,රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු ම අමාත්‍යාංශ වලින් ලැබුණු සහයෝගයත්,මෙයට ස්වේච්ඡාවෙන් සහයෝගය දුන් නිතිඥයින්,විද්වතුන්,ආණ්ඩු ක්‍රමව්‍යාවස්ථා සම්පාදන විශාරදයින් ඒවගේ ම සිවිල් සංවිධානවල පුරවැසියන්,මාධ්‍ය සංවිධාන ඒ වගේ ම අපේ රටේ සාමාන්‍ය ජනතාව දැඩි උනන්දුවකින් යුතුව මෙයට තොරතුරු ලබා දුන්නා මේ මේ විදියට මේ පනත සකස් කරලා දෙන්න කියලා.ඒ සදහා උනන්දු වෙච්ච,සහාය දුන් සියලු දෙනාට ම මාගේ ස්තුතිය ප්‍රකාශ කරමින් මම ඉතා මත් ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපේ රටේ පොදු ජනතාව වෙනුවෙන් ජනතාවට ලැබෙන වරප්‍රසාදයක් ඉටු කරන්න අපි 225 දෙනා ම විවිධ මත තිබෙන්න පුළුවන්,අඩුපාඩු පෙන්වලා දෙන්න පුළුවන්කම තිබෙනවා.යම් යම් සංශෝධන කරන්න පුළුවන්කම තිබෙනවා.නමුත්,අපි මේ දකුණු ආසියාවේ සැම රටක් ම ගෙනැල්ලා අපට විතරක් ගේන්න බැරිවුණු මේ පනත අපි මේක හෙට වෙනකොට සම්මත කර ගන්න අපි 225 දෙනා ම එකතු වෙලා අපේ ඡන්දදායකයා අපට දුන් ගෞරවය අපි ශක්තිමත් කරන්න අපි ඔක්කෝම එකතුවෙලා තිරණය ගත්තා.ඉතිහාස ගත වෙයි අපි ඔක්කෝම ජනතාව වෙනුවෙන් වැදගත් කටයුත්තකට එකතු වුණා කියලා.අන්න ඒ එකතුව හෙට වෙනකොට ප්‍රදර්ශනය කරන්න,අපි හැමදෙනා ටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින්,මට අදහස් ප්‍රකාශ කිරිමට ඉඩ දිම ගැන ඔබතුමාට ස්තුති කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
2016.06.25