මේ අතර ප්‍රදේශයේ දැනට වසා දමා තිබෙන සියලු පාසල් සඳුදා (13) සිට යළි විවෘත කෙරේ. හානියට පත් නිවාසවල පදිංචිව සිටි සිසුන් සඳහා යුද හමුදාව විසින් පොත්පත්, පාසල් උපකරණ හා අනෙකුත් අවශ්‍ය දෑ අඩංගු කට්ටලය බැගින් ලබා දීමට කටයුතු යොදා ඇතැයි මේජර් ජෙනරාල්වරයා සඳහන් කළේය.
හානියට පත් රණවිරු ගම්මානයේ සියලු නිවාස ප්‍රතිසංස්කරණය කොට පදිංචියට සුදුසු පරිදි සකස් කිරීම යුද හමුදාව විසින් සිදු කර ගෙන යන බව ද හෙතෙම කීය.
තව ද හානියට පත් නිවාසවල පදිංචිකරුවන් සඳහා කූඩාරම් 150 ක් යුද හමුදාව විසින් මේ වන විට සපයා ඇතැයි ද අද (11) සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදී ආරක්ෂක සේනා බටහිර ආඥාපතිවරයා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම සඳහා යුද හමුදාව විසින් මේ වන විට සාලාව හා අවට ප්‍රදේශවල හමුදා ක්‍රියාන්විත මධ්‍යස්ථාන 12 ක් පවත්වා ගෙන යන බව ද කීය.
මෙම පිපිරීමෙන් පසුව හමුදාව විසින් එම ප්‍රදේශ ආරක්ෂක කලාපයක් බවට පත් කරනු ලැබීය. විනාශ වී ඇති පුපුරණ ද්‍රව්‍ය ජනතාවගේ ආරක්ෂාව සඳහා පැය 48 ක් යනතුරු ඉවත් නොකළ යුතු වූ නමුත් කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය වූ හෙයින් යුද හමුදාව අවදානමක් දරමින් පුපුරණ ද්‍රව්‍ය පැය 36 කින් ඉවත් කිරීමට කටයුතු කළ බව ද හෙතෙම සඳහන් කළේය.
මෙම අවස්ථාවේදී හමුදාව සිදු කර ගෙන යන ප්‍රතිසංස්කරණ කටයුතුවලට සම්පූර්ණ සහයෝගය දෙන්නැයි යුද හමුදාවේ බටහිර ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.