මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ මධ්‍යකාලීන ආර්ථික දැක්ම පිළිබඳ පාර්ලිමේන්තුවේදී අගමැතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්

    නොවැම්බර් 02, 2015

    එළඹෙන නොවැම්බර් 05 වෙනිදා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා රජයේ මධ්‍යකාලීන ආර්ථික දැක්ම පිළිබඳ පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    එමගින් සමස්ථ ශ‍්‍රී ලාංකීය ජාතිය තිරසාර සංවර්ධන ඉලක්ක වෙත ගෙන යාමේ තාක්‍ෂණික ගමන් මාර්ගය අග‍්‍රාමාත්‍යවරයා විසින් පැහැදිළි කරනු ඇත.

     

    වත්මන් රජය නිරන්තරයෙන්ම තිරසාර සංවර්ධනය පිළිබඳව උපරිම විශ්වාසයකින් කටයුතු කරනු ලබයි. රටක් සෑම අංශයක් ඔස්සේම සංවර්ධනය කළ හැක්කේ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමෙන් පමණි.

     

    අප රට පෞඩ හා ශ්‍රේෂ්ඨ මානව ඉතිහාසයකට හිමිකම් කියනු ලබයි. එම ඉතිහාසයෙන් උරුම වූ අනන්‍යතාවන් හා වටිනාකම් බොහෝමයක් පවතී. වත්මන් රජය එම අනන්‍යතාවන් හා වටිනාකම් නොනසා ආරක්‍ෂා කරමින් කටයුතු කරන බවට ලබා දුන් ජනතා පොරොන්දු ඉටුකිරීමේ කාර්යභාරයට මේ වන විට අත ගසා අවසන්ය.

     

    අද ශ‍්‍රී ලාංකීය ජනතාවට අවශ්‍යව ඇත්තේ හුදෙක් ම දෘෂ්‍ය සංවර්ධනයක් නොවේ. ඉන් ඔබ්බට ගිය ගෝලීය සංවර්ධන මූලධර්ම හා ගැලපෙන සංවර්ධන ව්‍යුහයක් යුගයේ අවශ්‍යතාව යයි.

     

    යුග පෙරලියක අවශ්‍යතාව ඉටුකළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාත්, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාත් එම දේශීය අවශ්‍යතාව මැනැවින් හදුනාගෙන ඇත.  ඒ අනුව රටේ සියළු ජාතික ප‍්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීම මේ වන විට සිදුවෙමින් තිබේ.   

     

    හුදු ප‍්‍රදර්ශනශීලී සංවර්ධන තේමාවන්ගෙන් බැහැරට යම්න් සැබෑ ලෙස මෙරට ආර්ථීක, සාමාජීය, දේශපාලන, හා සංස්කෘතික, අවශ්‍යතාවයන් මොනවාදැයි වත්මන් රජය හදුනාගෙන තිබේ.

     

    සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු  යන පංච මහා බලවේග එක්කර ගනිමින් සංවර්ධන ඉලක්ක සපුරා, ආර්ථික විෂමතා බැහැර කිරීම අප රජයට පැවරෙන ප‍්‍රධාන වගකීම ලෙස හදුනාගෙන තිබේ.

     

    ජාතික ආරක්‍ෂාව පිළිබඳ නව මානයන් ඔස්සේ විමසා බැලීමටත්, නිරන්තරයෙන් ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමටත් රජය කැපවෙයි.

     

    කෘෂී, ධීවර කර්මාන්තවල ප‍්‍රගතිය සැලසීමටත් අධ්‍යාපනය උසස් අධ්‍යාපනය නව මානයක් ඔස්සේ ඉදිරියට ගෙන යාමටත් විදෙස්ගත ශ‍්‍රමිකයන් සිය ශ‍්‍රමයෙන් උපයන ධනයට සැබෑ වටිනා කමක් ලබා දීමටත් යහපාලන නව රජය සතුව තාක්‍ෂණික සැලසුම් පවතී.

     

    ඒ ඔස්සේ ශ‍්‍රී ලාංකීය ජන සමාජය සංවර්ධනයේ නව පුනරුදයක් වෙත කැඳවාගෙන යාමට ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් පෙරටුකර ගනිමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය කැපවී සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya