සැප්තැම්බර් 21දින සිට 27දක්වා වන සතියක කාලය ශ්‍රී ලංකා රජය ලෝක සමුද්‍රීය සතියක් ප්‍රකාශයට පත් කොට ඇත. මෙලෙස ශ්‍රී ලංකාව තුළ සමුද්‍රීය සතියක් ක්‍රියාත්මක වන්නේ ප්‍රථම වරටය.
සමුද්‍රීය සතියක් ප්‍රකාශයට පත් කිරීම හරහා ලෝකය හමුවේ ශ්‍රී ලංකාවට මනා ප්‍රතිමූර්තියක් ගොඩනංවාගැනීමට හැකිවන අතර ජාත්‍යන්තර සමුද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස තම ස්ථානය තහවුරු කරගැනීමට හැකිවීම, නාවික හා සමුද්‍රීය සේවාවන්ට අදාළ ක්ෂේත්‍රයේ නියැලෙන පිරිසට මෙන් ම පාසල් සිසුන්ට, පොදු මහජනතාවට මෙන් ම සියලු ම පාර්ශවයන්ට මෙම ක්ෂේත්‍රය පිළිබඳ දැනුම හා තොරතුරු හුවමාරු කරගැනීමට අවස්ථාව සැලසීම හා අපනයන ක්ෂේත්‍රයේ වැඩිදියුණු කිරීමක් හා වර්ධනයක් සිදු කරගැනීමට ද අවස්ථාව සැලසේ.
ලෝක ආර්ථිකයට නාවික කර්මාන්තයෙන් ලැබෙන දායකත්වය ඇගයීම සඳහා ලෝක සමුද්‍රීය දිනය හදුන්වා දුන්නේ ලෝක සමුද්‍රීය සංවිධානයයි. එක් එක් වර්ෂවලදී එම දිනය යෙදෙන දිනය වෙනස් වුවත් සාමාන්‍යයෙන් සැප්තැම්බර් මස අවසන් සතියේ එම දිනය යෙදීම පිළිගත් සම්මතය වේ. එම පදනම මත ලෝක සමුද්‍රීය සංවිධානය 2015 වසරේ සමුද්‍රීය දිනය ලෙස සැප්තැම්බර් 24දා ප්‍රකාශයට පත් කර ඇත.
නාවික කර්මාන්තයේ ආරක්ෂාව සඳහා අන්තර්ජාතිකව බලපාන පොදු නියාමන පද්ධතියයක් අවශ්‍ය බවට 19වැනි සියවස ආරම්භයේ දීම බොහෝ රටවල් පෙන්වාදුන් කරුණකි. ඒ සඳහා විධිමත් සංවිධාන ව්‍යුහයක් අවශ්‍ය බවද එම රටවල අදහස විය. 1948 ජිනීවාහි පැවැති අන්තර්ජාතික සමුළුවකදී එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ වත්මන් ලෝක සමුද්‍රීය සංවිධානය (IMO) බිහිකිරීමට සාකච්ඡා වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
ලෝක සමුද්‍රීය සංවිධානයේ මුල්නම වූයේ අන්තර්ජාතික නාවික උපදේශක සංවිධානය (Inter-Governmental Maritime Consulative Organization -IMCO) යන්නයි. 1982 වසරේ දී එම නාමය ලෝක සමුද්‍රීය සංවිධානය ලෙස වෙනස් කෙරිණි. නාවික ක්ෂේත්‍රයේ ආරක්ෂාව, නීතිය, තාක්ෂණ හුවමාරු අන්තර් සබඳතා එම සංවිධානය අවධානය යොමු කෙරෙන මූලික ක්ෂේත්‍රයන් වේ. පළමු ලෝක සමුද්‍රීය දිනය වූ 1978 මාර්තු 17දා ලෝක සමුද්‍රීය සංවිධානයේ සාමාජිකයන් ගණන 21ක් විය. වර්තමානය වන විට එහි සාමාජික සංඛ්‍යාව 171ක් වේ. ශ්‍රී ලංකාව එහි සාමාජිකත්වය හිමිකරගත්තේ 1972 වසරේ දී ය.