පිදිය යුතු, ගරු කළ යුතු, මහ තෙරණමක් ලෙස සමස්ත ජනතාවගේම ගෞරව පූජෝපහාරයට පාත‍්‍ර වූ අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියෝ දැයෙන් සමුගෙන ගිය ද නාහිමියන්ට ම ආවේණික වූ මනුෂ්‍යත්වයෙන් පිරිපුන් සුපේශල ශික්ෂාකාමී ප‍්‍රතිපත්තිගරුක භික්ෂු චරිතය ජන හදවත් තුළ සදාතනික වන්නේය.
භික්ෂු විනය ආරක්ෂා කර ගනිමින් ශාසනයේ චිර පැවැත්ම උදෙසා ප‍්‍රතිපත්තිකාමී භික්ෂු පරපුරක් ශාසනයට දායාද කිරීමේ ලා කළ අපිරිමිත ශාසන සේවාව නිසා අප නාහිමියෝ ජීවමාන සඟරුවනක් ලෙස ඉතිහාසයට එක් වනු ඇත. ගුණ සුවඳ සදා මතකයෙන් දුරස් නොවන්නේය.
අස්ගිරි පාර්ශවයේ මහා නායක ධූරය වසර 18ක් හොබවමින් වගකිව යුතු තනතුරක් දරන්නා තීන්දු තීරණ ගත යුතු ආකාරයත්, හැසිරීම කතාබහ කළ යුතු ආකාරයත් පිළිබඳ ව අනාගත පරපුරට නිසි මග පෙන්වූහ. තනතුරු බලයෙන් අනුන් තලා පෙලා අකටයුතුකම් කරන මිනිසුන්ට මහඟු ආදර්ශයක් ලබා දුන් නාහිමියෝ තනතුරේ ගෞරවයත්, භික්ෂූත්වයත් නිසි ලෙස ම ආරක්ෂා කළහ.
රටේ සිදුවන විවිධ සමාජමය කාරණාවලදීත්, රට දැය සමය විපත්තියට පත්වන අවස්ථාවලදීත් කාලාත‍්‍රයම විනිවිද දැක එරෙහි විය යුතු තැන්වලට තරාතිරම නොබලා එරෙහි වීමට තරම් අධිෂ්ඨානශීලී වූහ. ජාතිමාමකත්වය සැමවිටම ප‍්‍රකට කළහ.
දුල්ලභෝ පුරිසාජඤ්ඤෝ - න සො සබ්බත්ථ ජායතී
යත්ථ සො ජායතී ධීරෝ - තං කුලං සුඛ මේධතී
"පුරුෂ ශ්‍රේෂ්ඨයා දුර්ලභ කෙනෙකි. හෙතෙම හැමකල, හැමතැන ම නූපදී. ඒ ශ්‍රේෂ්ඨයා යම් කලෙක, යම් කුලයක උපදී නම් ඒ කුලය සැපයට පමුණුවයි" යන ධම්ම පද දහම සදාතන අනුශාසනාවක් බව සනාථ කරමින් උතුම් වූ පැවැදි කුලයට පැමිණ භික්ෂූත්වය ශෝභමාන කළ අතිපූජ්‍ය උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත නාහිමියන් පැතූ ආකාරයෙන්ම උතුම් වූ නිවනට පැමිණේවා යි බොදු බැති සැමගේ ප‍්‍රාර්ථනය යි.
ගයන්ත කරුණාතිලක - ජනමාධ්‍ය අමාත්‍ය
ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක
NDH