දශක ගණනාවක පශ්චාත් යුද සමයේ යටිතල පහසුකම් හිඟයෙන් පීඩාවට පත්ව තිබූ මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රධාන ක්‍රීඩාංගන තුනක් ජාතික මට්ටමේ ක්‍රීඩා පහසුකම් සහිතව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අද (11) නිල වශයෙන් ආරම්භ කෙරිණි.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් මුලතිව්හිදී මෙම සංවර්ධන ව්‍යාපෘති සඳහා මුල්ගල් තැබීම සිදු කෙරිණි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ, "පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්" යන රජයේ දැක්ම උතුරටත් දකුණටත් එක ලෙස උරුම කරදීම රජයේ අරමුණ බවයි. රටේ සෑම තරුණයෙකුටම සමාන අවස්ථා හිමිවිය යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා, උතුරු පළාතේ ජනතාව වෙත ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවද සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රීඩා පිටි නවීන ධාවන පථ, මලල ක්‍රීඩා පහසුකම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලින් සමන්විත වන පරිදි සංවර්ධනය කිරීමට නියමිතය. ඒ අනුව මෙතෙක් ප්‍රමාණවත් පුහුණු පහසුකම් නොමැතිව ජාතික මට්ටමට පැමිණීමට නොහැකි වූ උතුරු පළාතේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය හැකියාවන් තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා අවස්ථාව උදා වනු ඇත.
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් මහතා පැවසුවේ, දශක ගණනාවකට පසු මුලතිව් දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වන විශාලතම ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය මෙය බවයි. මෙමඟින් තරුණ පරපුර තුළ විනය, නිරෝගීභාවය සහ ජාතික සමගිය ශක්තිමත් වන බවද හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, ක්‍රීඩා සංවර්ධනය කොළඹ හෝ ප්‍රධාන නගරවලට පමණක් සීමා නොකර දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ජාතික ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන්, පාසල් සිසු සිසුවියන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් එක්ව සිටියහ.


