නොවැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් වෙන්න පටන් ගන්න විල්පත්තුව...

    ඔක්තෝබර් 15, 2020

    සංචාරක දර්ශකයන් හි ඉහලින්ම ඇති වනෝද්‍යානයක් ලෙස විල්පත්තු වනෝද්‍යානය ලෝකය පුරා ප්‍රචලිතය. ඕනෑම වේලාවක දිවියකු දැක බලා ගැනීමට අවශ්‍ය නම් ලොව සංචාරකයින් පැමිණිය යුතු එකම ස්ථානය මෙම මනරම් වන රජ දහන බව ලෝ දනෝ දන්නේ කලෙක සිටයි. හේතු සාධක ගණනාවක් නිසා මෑත කාලීනව මුව මුව රැව් දෙන නමක් බවට විල්පත්තුව පත් වූ බව දෙස් විදෙස් බොහෝ දනෝ දනිති.

    තිස් වසරක් තිස්සේ පැවැති යුද්ධය නිසා වසර ගණනාවක් වසා තිබූ මෙම උද්‍යානය නැවත විවෘත කිරීමෙන් පසුව ඉමහත් ආදායමක් රටට උපයා දෙන්නට පටන් ගත්ත ද කොරෝනා උවදුර හේතුවෙන් නැවතත් එම ආර්ථික සුබ සටහන් වියැකී ගියේ ය. එහෙත් විල්පත්තුව උද්‍යාන සම්පත තිරසර සංවර්ධනයට දායක වීම ගුණාත්මක කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මීට වසර දෙකක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබේ.

     

    වන සත්ත්ව සම්පත සුරැකීමට ඉංග්‍රීසීන්ට තිබූ උනන්දුව


    විදෙස් ආක්‍රමණ හමුවේ මෙරට සම්පත් සම්පත් එම රට වලට රැගෙන ගිය බව හා වනාන්තර හා සතුන් විශාල වශයෙන් විදේශිකයින් හමුවේ විනාශ වූ බවට සාක්ෂි ඕනෑ තරම් පවතී. එසේ මහා විනාශයක් සිදුකර අවසානයේ වුවත් ,  ඉංග්‍රීසි පාලනයෙන් නිදහස් වී වසර කිහිපයක් ගිය තැන 1953 වර්ෂයේ දක්වා ඇති සංඛ්‍යා ලේඛන අනුව මෙරට පැවැති වන ගහණය 50% ඉක්මවී ය. එහෙත් එතැන් සිට ගත වූ වසර 70 ක කාලය තුල දී එම වන ගහණය හරි අඩකින් පමණ අඩු වී තිබේ. එයින් හෙළි වන්නේ නිදහසින් පසුව සිදු වූ ශීඝ්‍ර වන විනාශයක තතු ය. ඉංග්‍රීසි සමයේ වනාන්තර සතුන් විනාශ කළත් , පසු කාලීනව විවිධ ආඥා පනත් , නීතී රීති හරහා වනාන්තර හා වන ජීවීන් රැක ගැනීමට ඉංග්‍රීසීන් විවිධ පියවර ගෙන ඇති බවට සාක්ෂි පවතී.

     

    වන අලින් හා අනෙකුත් වන සතුන් ආරක්ෂා කිරීමේ ආඥා පනත-


    1891 ,මත්ස්‍යයින් හා වන සතුන් ආරක්ෂා කිරීමේ ආඥා පනත - 1893 , ශ්‍රී ලංකාවෙන් සම් අපනයනය වසර පහකට සීමා කිරීම - 1894 , ශ්‍රී ලංකාවේ වන සතුන් ආරක්ෂා කිරිමේ ආඥා පනත - 1902 , ශ්‍රී ලංකාවේ මත්ස්‍යයින් ආරක්ෂා කිරීමේ ආඥා පනත - 1905ශ්‍රී ලංකාවේ පක්ෂීන් ආරක්ෂා කිරීමේ නීති - 1906වියළි මස් ආඥා පනත - 1906 , සියලු ආඥා පනත් එකතු කර වන සතුන් ආරක්ෂා කිරීමට ඒකාබද්ධා ආඥා පනතක් - 1909 , වන සත්ත්ව හා වෘක්ෂ ලතා ආඥා පනත - 1937 ආදී අවස්ථාවන්ගෙන් පෙනෙන්නේ ඉංග්‍රීසීන් මෙරට වන සත්ත්ව සම්පත ආරක්ෂා කිරීමට ද පියවර ගණනාවක් ගෙන ඇති බවයි. ඒසේ සිදුකර ඇත්තේ පරිසර විනාශය මානව පැවැත්මට තර්ජනයක් බව ඔවුන් දැන සිටි බැවිනි.

    ශ්‍රී ලංකාවේ පළමු ජාතික වනෝද්‍යානය , විල්පත්තුව


    ශ්‍රී ලංකාවේ වන ජීවීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදටත් ක්‍රීයාත්මක වන්නේ 1937 දී සම්මත කරගෙන ඇති වන සත්ත්ව හා වෘක්ෂ ලතා ආඥා පනතයි. 2009 සශෝදනය දක්වා සිව් වරක් සංශෝදනය වී තිබේ. එම පනත අනුව යමින් 1938 පෙබරවාරි 25 වනදා, විල්පත්තු වනාන්තරය ශ්‍රීලංකාවේ පළමු ජාතික වනෝද්‍යානය ලෙස නම් කර තිබේ. ඒ අනුව මහජනතාවට බලපත්‍රයක් මත වනජීවීන් නැරඹීමේ අවස්ථාව හා අධ්‍යයන කටයුතු උදෙසා මෙම පරිසර සම්පතට ඇතුළු වීමේ අවස්ථාව පවතී. එමෙන්ම මෙරට ඇති විශාලතම ජාතික වනෝද්‍යානය වන්නේ ද විල්පත්තුවයි. එය හෙක්ටයාර 131,667 කින්
    සමන්විත ය. අනුරාධපුර , පුත්තලම හා මන්නාරම යන දිස්ත්‍රික්ක තුනට ම අයත් ව විහිදෙන මෙම වනෝද්‍යානය ට සමීපව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටක් පවතී. උතුරින් මල්වතු ඔය හා මෝදර ගම් ආරු ද , දකුණින් කළා ඔය ද මායින් වේ. බටහිර කොටස තැනිතලා බිමකි. හුණුවිලගම , විලච්චිය හා තන්තිරිමලේ යන ගම්මාන වලින් උද්‍යානයේ නැගෙනහිර කොටස සීමා වේ.


    විල්පත්තුවේ අසීමිත අපූර්වත්වය


    විල්පත්තු පරිසර පද්ධතිය වියලි මිශ්‍ර සදාහරිත , ශුෂ්ක කටු පඳුරු , කඩොලාන , විල් , වැලි කඳු ආදී විවිධතා දැකිය හැකි සුන්දර පෙදෙසකි. මෙරට විශාලතම වනෝද්‍යානයට විල්පත්තුව යන නම ලැබී ඇත්තේ , මනස්කාන්ත ලෙස දිස්වන ස්වභාවිකව නිර්මාණය වූ විල්ලු විශාල සංඛ්‍යාවක් මෙම පරිසර පද්ධතිය තුල පිහිටා තිබීම හේතුවෙනි. එහි ප්‍රධාන විල්ලු 27 ක් ඇතුළුව විල්ලු 40 කට ආසන්න සංඛ්‍යාවක් තිබේ. කුඩා කුඩා විල්ලු ද ගත් විට සමස්ථ විල්ලු සංඛ්‍යාව 100 ද ඉක්මවයි. ජලජ ශාක ඇතුළුව විවිධ සතුන්ගේ අහාර අවශ්‍යතාව සපුරන බොහෝ දේ මෙම විල්ලු ජල මත පවතී. එම ආහාර ගැනීමට මෙන්ම පිපාසය සංසිඳවා ගැනීමට නිතර විල්ලු ජලයේ බැස සිටින වන සතුන්ගේ සුන්දරත්වය , විල්පත්තුවට පිවිසෙන ඕනෑම සංචාරකයෙකුට දැකගත හැකියි. මෙම විල්ලු පද්ධතියේ ඇති සුවිශේෂීතා අතර වඩාත් වැදගත් සාධකයක් වන්නේ විල්ලු කිහිපයක් වෙත වාර්ෂිකව සංචාරක පක්ෂීන් පැමිණීමයි. ඉන්දියාවෙන් , උතුරු දිග චීනයෙන් මෙන්ම අප්‍රිකානු රටවලින් ද පක්ෂීන් පැමිණේ. ඒ තත්ත්වය මත විල්පත්තුවේ විල්ලු පරිසර පද්ධතිය සහිත කොටසක් 2013 පෙබරවාරි 02 වන දා සිට “ රම්සා තෙත් බිමක්,, ලෙස නම්කර ඇත. කාශ්මීර් සිට එකම එක පිළිහුඩු විශේෂයක් නෙළුම් විල නැමැති විල්ලුව වෙත වාර්ෂිකව පැමිණෙනු දැකිය හැකියි. මෙම පිළිහුඩුවා නැරඹීමට ම ඇතැම් සංචාරකයින් විල්පත්තුව වෙත පැමිණේ.

    විවිධ වර්ගයේ සතුන්ට තෝතැන්නක් වන විල්පත්තුව, කොටියන් බහුලව වෙසෙන වනෝද්‍යානයකි. දැනට හදුනාගෙන ඇති පරිදි මෙහි වෙසෙන කොටින් සංඛ්‍යාව 260 ක් පමණ වේ. ආහාර , ජලය නොඅඩුව ලැබෙන මේ ස්වභා පරිසරයේ අලින් ,තිත් මුවන් , ගොනුන් , ආදී සතුන් ද නිතර සැරිසරන අයුරු අපූරුය. වලසා ද නිතර හමුවේ. උද්‍යානය තුල වෙසෙන සමස්ත ක්ෂිරපායීන් සත්ත්ව සංඛ්‍යාව 41 කි. මීට අමතරව පක්ෂී විශේෂ 149 ක්, මිරිදිය මත්ස්‍ය විශේෂ 29 ක් , උරග විශේෂ 56 ක්, උභය ජීවී විශේෂ 17 ක් හා සමනල විශේෂ 86 ක් දැකිය හැකියි. අවේණික ශාක විශේෂ 35 ක් ද සහිතව විල්පත්තුවේ දී දැකිය හැකි ශාක විශේෂ සංඛ්‍යාව හයසියය ද ඉක්මවන බව හදුනාගෙන ඇත. පදුර පුරා විහිදෙන සේ දම් පාටින් පුංචි පුංචි කොර කහ මල් පොකුරු පිපෙන කාලයට විල්පත්තු වන ගැබ මනස්කාන්ත දසුනකි. කිලෝමිටර් 38 ක පමණ මුහුදු ප්‍රදේශයක් ද විල්පත්තු ජාතික උද්‍යානයට අයත් වේ.


    දේශීය මත්ස්‍ය විශේෂ ලෙස හදුනාගැනෙන තෙලියා , ගං ආරා, වලයා වැනි මත්ස්‍යයින් තවමත් මෝදර ගං ආරු ප්‍රදේශයේ දී දැක ගත හැකියි. ප්‍රමාණයෙන් කිලෝ ග්රෑම් 10 ද ඉක්මවා යන ලෙස වැඩුණු ගං ආරුන් දැකිය හැකි බව විල්පත්තු වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු චමත් ලක්ෂමන් මහතා කියා සිටී. ලෝකයේ ශීඝ්‍රයෙන් වද වී යන මුහුදු ඌරන් ද විල්පත්තුවට අයත් මුහුදු ප්‍රදේශයෙන් හමු වී තිබේ. එමෙන්ම ශ්‍රීලංකාවේ දුර්ලභම කඩොලාන පද්ධතියක් කලාඔය ප්‍රදේශයේ දී දැකගත හැකියි.

    විල්පත්තුවේ සැගව ඇති ඓතිහාසික වටිනාකම


    කොල්ලන් කනත්ත පැරණි වරාය , ක්‍රි.පු. 543 දී සිදු වූවා යැයි සදහන් කුදිරමලේ විජයාවතරණය, අලි අස්බ්‍රානි රැජිණගේ රාජ්‍ය ප්‍රදේශය ලෙස සලකන කුදිරමලේ පෙදෙස , විජය කුවේණි ප්‍රේමවෘතාන්තය සිහි ගන්වන කාලි විල්ලුව ප්‍රදේශය , සාලිය - අශෝක මාලා ප්‍රේම වෘත්තාන්තය සිහි ගන්නවන විලච්චය මරදන්මඩුව ප්‍රදේශය , පොම්පරිප්පුව ප්‍රදේශයේ බදුන්ගත සුසාන භූමි, ආදී වශයෙන් ඓතිහාසික ස්ථාන ගණනාවකගේ නම් විල්පත්තුව සමග බැදේ . එමෙන්ම කුදිරමලේ ප්‍රදේශයේ  හින්දු කෝවිල් වල නටඹුන් ද පවතී. එමෙන්ම අනුරාධපුර යුගයට අයත් බෞද්ධ සිද්ධස්ථාන ද 68 ක් හමු වී තිබේ. ඒවායෙහි ඉහළ
    පුරාවිද්‍යාත්මක වටිනාකමක් පවතී. මයොසින ෆොසිල යුගයට අයත් යැයි සැලකෙන ගල් ආයුධ ද ස්ථාන හතරකින් හමු වී තිබේ. සමස්ත වශයෙන් ගත් කළ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් බවට සාධක ඇති ස්ථාන ද 11 කි. පැරණි වාරි ස්ථාන 42 ක් ද හමු වී ඇතැයි , විල්පත්තු උද්‍යාන භාරකරු පවසයි. මෙම සියලු ඓතිහාසික ස්ථාන පිළිබදව සාමාන්‍ය හදුනාගැනීමක් සිදුකර ඇතත්, තවමත් ඒ පිළිබදව ගැඹරු අධ්‍යයනයක් සිදු කර නැහැ.

    කල්පනාවෙන් විසදිය යුතු විල්පත්තුවේ ගැටලු

    පරිසරය හා ආර්ථිකය සමබර කරවන තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ දී වනාන්තර වලින් ලැබෙන පිටිවහල කියා නිමකළ නොහැකියි. එම නිසා වනාත්තර හා ජීවින් ප්‍රාණ සම සේ ආරක්ෂා කිරීමට
    මිනිසුන් කටයුතු කළ යුතු වේ. ජෛව විවිධත්වය ආරක්ෂා වීමට , යහපත් ජීවන පැවැත්මට , ආර්ථික ප්‍රවර්ධනයට අදී සෑම අංශයක දීම මෙරට පවතින ජාතික උද්‍යාන , අභය භූමි, දැඩි රක්ෂිත ආදීයෙන් විශාල මෙහෙවරක් සිදුවේ.

    එහෙත් විල්පත්තුව ආශ්‍රිතව පමණක්ම නිශ්චිතව හදුනාගත හැකි තර්ජනාත්මක ක්‍රියාකාරකම් රැසකි. වන සතුන් දඩයම් කිරීම, එතරම් ප්‍රබලව නොමැති වුවත් දැව ජාවාරම , හේන් ගොවිතැන , නිදන් හෑරීම
    , වැලි ගොඩ දැමීම , අවිධිමත් ධීවර කටයුතු , අනවසර ඇතලුවීම් ආදිය ගැන නිතර අසන්නට ලැබේ. මේවා දිගින් දිගටම සිදු කිරීමෙන් විනාශ වන්නේ සතුන් හා වනාන්තරය පමණක් නොවන බව මෙම නොමනා ක්‍රියා සිදුකරන මිනිසුන් ට තවමත් වැටහී නැත. විශේෂයෙන්ම මෙබදු ක්‍රියාකාරකම් සිදු කිරීමට ජනතාවගේ ඇති ආර්ථික අපහසුතා ද හේතු වී ඇති බව සැවොම පිළිගත යුතුය.
    විශේෂයෙන් හදුනාගත් නිතර වන අලි ගමන් කරන මාර්ග අවහිර කරමින් ඇති ගම්මාන ද හදුනාගත හැකිවේ. එබදු නිවෙස් සියයක් පමණ මේ වන විට හදුනාගෙන තිබේ. වනෝද්‍යානයට අවශ්‍යම ප්‍රදේශයක් වන පූක්කුලම දැන් ගම්මානයකි. එය ඉතා නුසුදුසු තත්ත්වයක් බව තතු දන්නෝ පවසති. බොහෝ අවස්ථාවන් හි පොම්පරිපුව නැමැති සුන්දර තැනිතලා ස්ථානයට පැමිණෙන සංචාරකයින් එහි වාහන ගාල් කර සතුන් දඩයම් කර එම ස්ථානයේ ම පිසූ අවස්ථා පවා අසන්නට තිබීම ඛේදනීය තත්ත්වයකි. ගං ආරා, තෙලියා , වලයා වැනි දේශීය මත්ස්‍ය විශේෂ ශීඝ්‍රයෙන් වදවෙමින් පවතින කාලයක මෝදර ගං ආරු කලපුවේ වෙසෙන මෙම මත්ස්‍යයින් දැන් ලබා ඇත්තේ නරක කල දසාවකි. මෝදර ගං ආරු කලපුවෙන් අසීමිත ලෙස වැලි ගොඩදැමීම නිසා ගග ඇතුලතට මුහුදු ජලය කාන්දු වන්නට පටන් ගෙන ඇත. එය ඒ අවට
    පරිසර පද්ධතියට දැඩි තර්ජනයකි. ගග දෙපස ඇති කුඹුක් ගස් සියල්ල විනාශ වීමට මෙය හේතුවක් විය හැකි යැයි , විල්පත්තු උද්‍යාන භාරකරු කියා සිටී. මෙම මෝදර ගං ආරු පෙදෙසට සිදුව ඇති තත්ත්වය ගගේ වාඩිය ප්‍රදේශයට සිදු වීමේ තර්ජනයක් ඇති බවට ද කතිකාවතක් තිබේ. තහනම් පන්න භාවිත කරමින් අනවසර ලෙස ධිවර කටයුතු වල නිරත වන නිසා දිකට මියගිය කැස්බෑවන් 300 ක් තරම් සංඛ්‍යාවක් වෙරළට ගොඩ ගසන බව ද අනාවරණ කරගෙන තිබේ. විල්පත්තුව අවට වනාන්තර හෙලි කිරීම සෘජුවම වනෝද්‍යානයේ පැවැත්මට තර්ජනයක් ව පවතී. අනාගතය උදෙසා මෙම උද්‍යානය නිරුපද්‍රිතව
    පවත්වා ගැනීමට නම් විල්පත්තුව අවට පවතින වනාන්තර ප්‍රදේශයන් ද නීතියෙන් ගැසට් කළ යුතු බව නිලධාරීන් පෙන්වා දේ. අපේ දේ අපට ආරක්ෂා කරගැනීමේ උනන්දුවක් නොමැති වුවද 1938 තරම් ඈත
    කාලයක දී පවා විදේශිකයන්ට මෙරට වනාත්තර හා ජීවීන් ආරක්ෂාකර ගැනීමේ උනන්දුවක් පැවැත තිබෙන බව එවක වන ජීවී සුරක්ෂාව සදහා ගෙන ඇති පියවරයන් ගෙන් ගම්‍ය වේ.
    විල්පත්තුවට පමණක් නොව මුලු මහත් ලංකාවේම වනජීවි සංරක්ෂණය උදෙසා සිටින නිලධාරීන් සංඛ්‍යාව 2000කටත් අඩුය. වනෝද්‍යාන වෙත එල්ලවන විවිධ තර්ජන වලැක්වීම බොහෝ අසීරු වී ඇත්තේ මෙම තත්ත්වය තුලයි. එමෙන්ම මෙම නිලධාරීන්ට ජනතාවගේ විවිධ පීඩාවන්ට ද ලක්වීමට සිදුව තිබීම කණගාටුදායක තත්ත්වයකි.


    සංවර්ධනය කළ යුතුම විල්පත්තුවේ කුඩා විලච්චය වැව


    දැනට ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන ඇති විලච්චිය පහළ මල්වතු ඔය ජලාශය ගොඩ නැගීමෙන් ඇතිවන ප්‍රතිලාභයන්ට වඩා විසල් ප්‍රතිලාභයක් විල්පත්තුව වනෝද්‍යානය ඇතුලත පවතින කුඩා විලච්චිය වැව සැකසීමෙන් ලද හැකි බව හදුනාගෙන තිබේ. වසර 250 කින් පමණ කිසිදු ප්‍රතිසංස්කරණයක් නොකර ඇති කුඩා විලච්චිය වැව දැනට ඇති විලච්චිය ජලාශයට වඩා සය ගුණයකින් පමණ විශාල විය හැකි බව විශ්වාසය යි. එම වැව ප්‍රතිසංස්කරණය කළ හොත් අලි ගං වැදීම විශාල වශයෙන් අඩුකර ගත හැකි යැයි විල්පත්තුව උද්‍යාන භාරකරු චමත් ලක්ෂමන් මහතා කියා සිටී. එමෙන්ම ඉඩෝර කාලයට වැව හිදෙන්නට හිදෙන්නට ඒ අවට වැවෙන තෘණ වර්ග වන අලින්ට විශේෂ ආහාරයක් බවට ද පත්වේ. ඉතා පිරිසිදු පානීය ජලය ලබා දිය හැකි ත්ත්වයක් ද උදාකරගත හැකියි. මෙම වැව ප්‍රතිසංස්කරණය සදහා මැනීම් කටයුතු සිදුකර ඇතත් එය ක්‍රියාත්මක කර නැහැ. විල්පත්තුවේ මරදන්මඩුව සිට මහ විලච්චයට කිලෝමිටර් 30 ක් පමණ පවතී. ඒ අතර තුර කිසිදු වැවක් දක්නට නැහැ. එම නිසා මෙම වැව ප්‍රතිසංස්කරණය කළහොත් අලි ගං වැදීම පාලනය කරගත හැකි වේ.
    නමුත් දැනට යෝජිත පහළ මල්වතු ඔය ජලාශය ඉදිකර විදුලි වැට එක්ක වී වගා කිරීමෙන් වන අලි ගැටලුව තවත් උග්‍ර වීම වැලැක්විය නොහැකි බව මේ පිලිබදව අදහස් දක්වන්නෝ කියති. ඉන් පසුව අනුරාධපුර නගරය කරා අලි පැමිණිම වැලැක්විය නොහැකිම ත්ත්වයක් වීමට ඉඩ තිබේ. ඒ නිසා කුඩා විලච්චිය ජලාශය කඩිනම් කිරීම කාලෝචිත කටයුත්තකි.

    ජනතා ආකල්ප වෙනස් කර විල්පත්තුව රැකුමේ ජන විහිදුම්කරණ වැඩසටහන

    විල්පත්තුව වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරී ඉතිරී යන විට දිනකට රුපියල් ලක්ෂ දහයක පමණ ආදායමක් සංචාරක ප්‍රවේශ පත්‍ර වලින් පමණක් ලැබේ. ඊට අමතරව වනෝද්‍යානය අවට ප්‍රදේශයේ ජනතාවට ආදායම් මාර්ග රැසක් ගොඩ නැගී ඇත. එහෙත් උද්‍යානය අවට ඇතැම් ගම්මාන වල ජනතාව තුල පවතින වැරදි ආකල්පමය ස්වභාවයන් හා වැරදි ක්‍රියා හේතුවෙන් ගැටළු පැන නැගී තිබේ. ඒවා මගහරිමින් ජනතාවට සංවර්ධන මාර්ගයන් ද උදාකර ඔවුන් හරහාම විල්පත්තුව රැක ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම උදෙසා ජන විහිදුම්කරණ වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතී. අඩු නිලධාරීන් සංඛ්‍යාවක් සිට වනජීවී දෙපාර්තමේන්තුවට එම නිලධාරීන්ගෙන් පමණක් මෙරට වන සත්ත්ව සම්පත ආරක්ෂා කිරීම අපහසු වී තිබේ. ඒ නිසාම විල්පත්තුව අවට ජනතාව ද ඒකරාශී කරගෙන මෙම සම්පත ආරක්ෂා කිරීමට රජය අරමුණු කරයි. ජන විහිදුම්කරණ වැඩසටහන ආරම්භ කර ඇත්තේ මේ අරමු‍ණෙනි. අවශ්‍යතා සපුරා ගැනීම සදහා ගමෙන් පිටට යන ජනතාව ගම තුලම රදවා ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරවන ආකාරයේ ආකල්පමය හා චර්යාමය වෙනසක් ඇති කිරීම ජන විහිදුම්කරණ වැඩසටහනේ මුඛ්‍ය අරමුණ යි. ජනතාවගේ සහය ඇතිව රක්ෂිතය ආරක්ෂාකර ගැනීමට නම් ජනතාවගේ ආර්ථික සමාජ සංවර්ධනයට යම් සහයක් ලබාදිය යුතුව ඇත. එහිදී නිලධාරීන් ප්‍රජාවගේ කොටස්කරුවන් ලෙස ද ප්‍රජාව රක්ෂිතය ආශ්‍රිත ගැටලු නිරාකරණය කරන හවුල් කරුවන් ලෙස ද හැඩගැන්වීම මෙයින් බලාපොරොත්තු වේ. ඒ අනුව විල්පත්තුව අවට ග්‍රාම සේවා වසම් 47 ක ජනවිහිදුම්කරණ වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතී. ග්‍රාමීය සංවිධාන බිහිකර ඒ ඔස්සේ ගම්මානවල පවතින ගැටළු හදුනාගෙනඑම ගැටලු ප්‍රමුඛතාවකට අනුව විසදීමේ ක්‍රමයක් මෙයින් ගොඩනැගී ඇත. වසර පහක් තුල ක්‍රියාත්මක කරන මෙම නව වැඩසටහනේ දී ගම්මාන තුල ගෙවතු වගාවන් , කිරි ගව පාලනය , කුකුළු
    පාලනය , අත්කම් පුහුණු ආදි වැඩසටහන් ක්‍රියාත්මක කර ඔවුන්ට ආදායම් උත්පාදනය කරගැනීමේ මාර්ග සැකසීමට පටන්ගෙන තිබේ. අනෙක් අතින් වැව් අමුණු අලුත්වැඩියාව මෙන්ම මාර්ග , විදුලි බලය ආදී යටිතල පහසුකම් සංවර්ධනය ද අපේක්ෂාවයි. ධීවර ප්‍රජාව සවිබල ගැන්වීමෙන් තහනම් ආම්පන්න ආදිය හරහා
    ධීවර කටයුතු අවම කිරීම බලාපොරොත්තුවයි. එලෙස අවට ගම්වාසීන්ගේ අවශ්‍යතා සඵල කිරීම හරහා විල්පත්තුව වනෝද්‍යානයට ඇතිවන තර්ජන අවම කරගැනීමට හැකිවේ. බොහෝ පිරිස් මෙම වැඩපිළිවෙළ සමග එක්ව සිටීම සතුටට කරුණකි.

    විල්පත්තුව ආරක්ෂා කිරීමට සවියක් වන ජර්මන් රජයේ මැදිහත්වීම

    මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ සම්පූර්ණයෙන්ම ජර්මන් රජයේ ආධාර යටතේයි. ගෝපා හා ජී.අයි.ඉසෙඩ් යන ජර්මානු ආයතන මෙම වැඩසටහන ක්‍රියාවට නන්වයි. එහිදී දැනටමත් උද්‍යාන පිවිසුම නවීකරණය කර තිබේ. එමෙන්ම නිලධාරීන් ගේ ප්‍රවාහන පහසුකම් ද සලසා තිබීම විශේෂත්වයකි. උද්‍යානය ඇතුලත සංචාරක පහසුකම් නැන්වීම වෙනුවෙන් දෙවන අදියර ආරම්භ කිරිමට නියමිතයි. ජන විහිදුම්කරණ වැඩසටහනට සහය වෙමින් ගම්මාන වල ජනතාගේ ආර්ථික ශක්තිය නැන්වීමට ද කටයුතු යොදා තිබේ. පාසල් දරුවන් දැනුවත් කරමින් කුඩා කළ සිටම වන සතුන්ගේ අගය පැහැදිලි කිරිමට අවට ගම්මානවල දරුවන් විල්පත්තු වනෝද්‍යානයට ගෙන්වා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. මී කැඩීම වැනි දෑ සදහා මෙන්ම දඩයම් කිරීම ආදිය උදෙසා වනාත්තරයට පිවිසීම වැලැක්වීමට මිමැසි
    පාලනයට ජනතාව දැනුවත් කිරීම හා ඒවාට ආධාර ලබා දීම විශේෂ පියවරකි. ජනතාවගේ නිෂ්පාදන වැඩිකර ඒවා සංචාරකයින්ට අලෙවි කිරීමේ අරමුණින් අලෙවි සැල් උද්‍යාන පිවිසුම් දොරටුවල ඉදිරිකිරීමට ද සැලසුම් කර ඇත. වනෝද්‍යානය ට අමතරව එම ගම්මාන අශ්‍රීතව ද සංචාරක ආකාර්ශනය ඇති ස්ථාන රැසක් හදුනාගෙන තිබේ. එම ස්ථානවල සිට සංචාරකයින්ට විවිධ දේ නැරඹීමට මෙන්ම අලි ඇතුන් නැරඹිමේ ස්ථාන ඉදිකරමින් ඒවා හරහා ජනතාවට මුදල් ඉපයීමට මං සැලසීමට කටයුතු සැලසුම් කරමින් පවතී. මෙම සංචාරක ස්ථාන හැටියට අලි නැරඹීමේ මධ්‍යස්ථාන වලට අමතරව කුරුල්ලන් නැරඹීමේ මධ්‍යස්ථාන , ගම තුලට සංචාරකයින්ට පැමිණිමට අවස්ථාව ලබාදීම , බෝට්ටු සවාරි, ආහාර සැපයීම ආදී ක්‍රමවේද ගැන ද අවධානය යොමුකර ඇත. ඉදිරි වසර කිහිපය තුල මෙම සියලු වැඩපිලිවෙල සම්පුර්ණ

    කිරීම ජර්මානු ආධාර වැඩසටහනේ අරමුණයි. දෙමට මල්ගම , තන්තිරිමලේ , කිරල්පැටියාව , හැළඹවැව , දුණුමඩලාව, කුකුල්කටුව , හුණුවිල ගම , කටුපත්වැව වැනි ගම්මාන දැනටමත් මේ සදහා තෝරාගෙන මුලික සංවිධාන කටයුතු සිදුකරමින් පවතී. මෙම සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 160 කට අධික වේ.
    ඉලක්ක මට්ටමින්ම මෙම වැඩසටහන් ජනතා සහයෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වුව හොත් ජනතාව තුල වන්නාත්ර ආක්‍රමණයට ඇති මානසිකත්වය වෙනස් කර විල්පත්තුව වනෝද්‍යානය ද සුරක්ෂිත කර ඒ අවට ජනතාවගේ ජීවන තත්ත්වය නැන්වීමේ තිරසාර විසදුමකට එළඹීමට හැකියාව උදාවේ.

     

    ෂෙල්ටන් බණ්ඩාර

    ප්‍රවෘත්ති නිලධාරී-අනුරාධපුරය

    (විල්පත්තු සංචාරයෙන් පසුව)

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya