ඔක්තෝබර් 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බේරුවල රෝහලට යළි ජීවයක්

    ඔක්තෝබර් 01, 2024

    සෞඛ්‍ය ලේකම්වරයා බේරුවල රෝහලේ විශේෂ නිරීක්ෂණයක
    රෝහලට බාහිර රෝගී අංශ සංකීර්ණයක්, ගෙවන වාට්ටු සහ සංචාරක ප්‍රවර්ධන වාට්ටු
    මාස 02 ක් ඇතුලත අබලන් සියලු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණයට

    මෙරට මධ්‍යම රජය යටතේ සහ පළාත් සභා යටතේ පාලනයවන රජයේ රෝහල් පද්ධතියේ පවතින අඩුපාඩු සොයා බලා කඩිනමින් එම අඩුපාඩු නිරාකරණය කර, එම රෝහල් මගින් විධිමත්, කාර්යක්ෂම සහ ඉහළ ගුණාත්මකභාවයක් සහිත රෝගී සත්කාර සේවාවන් ක්‍රියාත්මක කර, මෙරට ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත.
    එම වැඩපිළිවෙළට අනුව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ (30) කළුතර දිස්ත්‍රික්කයේ කළුතර නාගොඩ ශික්ෂණ රෝහල, බේරුවල මුලික රෝහල, කටුගහහේන ප්‍රාදේශීය රෝහල, නෑබඩ ප්‍රාදේශීය රෝහල, දර්ගා නගරය ප්‍රාදේශීය රෝහල යන රෝහල්වලින් ලබාදෙන ප්‍රතිකාර සේවාවන් සහ එම රෝහල්වල අවශ්‍යතාවයන් නිරීක්ෂණයට ලක් කෙරිණි.
    මෙහිදී බේරුවල මුලික රෝහලේ නව වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාගේ ඉල්ලීම පරිදි එම රෝහල සෞඛ්‍ය ලේකම්වරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය. දිසා රෝහලක තත්ත්වයේ සිට මූලික රෝහලක් බවට පත් කොට වසර නවයකට ආසන්න කාලයක් ගතවී තිබුණ ද රෝහලේ මූලික පහසුකම් වැඩිදියුණු නොවීම සම්බන්ධයෙන් වෛද්‍ය අධිකාරීවරයා සිදුකරන ලද මූලික අධ්‍යයනයකින් පසු ඒ පිළිබදව සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කිරිමට කටයුතු කර තිබුණි.
    දැනට අබලන් තත්වයේ පවතින සියලු ගොඩනැගිලි මාස දෙකක් ඇතුළත වහා ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය උපදෙස් සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිලධාරීන්ට ලබාදෙන ලදී.
    දැනට ඉදිකිරීම් නතරව පවතින නව මහල් වාට්ටු සංකීර්ණයේ පළමු මහල කඩනමින් ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ද සහාය ඇතිව කටයුතු කරන ලෙස මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයට (CECB) උපදෙස් ලබා දුන්නේය.
    දැනට අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙමින් පවතින වාට්ටුව සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරිමට මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද, බාහිර රෝගී අංශයත් සායන මධ්‍යස්ථානයක් රෝහල ඉදිරිපස ස්ථාපිත කිරීමට ද ඒ සඳහා අවශ්‍ය වන සියලු අරමුදල් වෙන් කිරීමට පියවර ගන්නා බව ද මෙහිදී ලේකම්වරයා ප්‍රකාශ කළේය.
    ඊට අදාළ ඇස්තමේන්තු සතියක් ඇතුලත සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙස ද මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන් ලේකම්වරයා රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ඉතා කෙටිකාලයක් තුළ ලබාදීමට පියවර ගන්නා බව ද පැවසීය.
    රෝහල කඩිනමින් ප්‍රතිසංස්කරණය කොට ප්‍රදේශවාසීන්ට උපරිම වෛද්‍ය සේවා ලබාගත හැකි රෝහලක් බවට පරිවර්තනය කිරීමටත්, ගෙවන වාට්ටු සංකීර්ණ හා සංචාරක ප්‍රවර්ධන වාට්ටු සංකීර්ණ ආරම්භ කිරීමටත් කටයුතු කරන ලෙස මෙහිදී සෞඛ්‍ය ලේකම්වරයා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.
    වසර නමයකට ආසන්න කාලයක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවී කැලෑවෙන් යටව පැවති බේරුවල රෝහල කළුතර දිස්ත්‍රිකයේ ප්‍රධාන මූලික රෝහලක් ලෙස ඉතා කඩිනමින් සංවර්ධනය කොට ප්‍රදේශවාසීන්ට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සපයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව බේරුවල රෝහලේ නව වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මෙහිදී සඳහන් කළේය.
    මෙම අවස්ථාවට නි‌යෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයීම්) එච්.එම්.එන්. දිනිප්‍රිය, ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල, කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂ මධුභාෂිනී කරුණාරත්න මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya