සැප්තැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් හා ශිෂ්‍යභට නිලධාරීන් 76 කට පත්වීම් ප්‍රදානය කෙරේ

    සැප්තැම්බර් 28, 2024

    ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගත් 67 වන ශිෂ්‍යභට බඳවා ගැනීමේ නිලධාරීන් පනස් එක් දෙනෙකු (51), ඉඳුරාම බඳවාගත් නිලධාරීන් දහ අට දෙනෙකු (18) සහ විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් ශිෂ්‍යභට නිලධාරීන් හත් දෙනෙකු (07) ඇතුළු හැත්තෑ හය දෙනෙකු (76) වෙත පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම, ඊයේ (27) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ දී සිදුකෙරිණි.  

    ඒ අනුව, ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ විධායක අංශය වෙත ශිෂ්‍යභට නිලධාරීන් විසි දෙදෙනෙකු (22), ඉංජිනේරු අංශය වෙත හත් දෙනෙකු (07), සැපයුම් අංශය වෙත නව දෙනෙකු (09), විදුලි හා විද්‍යුත් අංශය වෙත තිදෙනෙතු (03), නාවික පාබල අංශය වෙත හත් දෙනෙකු (07) සහ විනයාරක්‍ෂක අංශය වෙත තිදෙනෙකු (03) වශයෙන් ශිෂ්‍යභට නිලධාරීන් පනස් එක් දෙනෙකු (51) වෙනුවෙන් පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණි.

    එමෙන්ම, 2023/2 ඉඳුරාම බඳවා ගත් විධායක අංශයේ නිලධාරීන් තිදෙනෙක් (03), සැපයුම් අංශයේ නිලධාරීන් සිව් දෙනෙක් (04), තොරතුරු තාක්‍ෂණ අංශයේ නිලධාරීන් දෙදෙනෙක් (02) ඇතුළු නිත්‍ය නිලධාරීන් නව දෙනෙකු (09), ස්වේච්ඡා විධායක අංශයේ නිලධාරීන් නව දෙනෙකු (09) සහ විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් වෛද්‍ය අංශයේ සිව් දෙනෙකු (04) සහ ඉංජිනේරු අංශයේ තිදෙනෙකු (03) ඇතුළු ශිෂ්‍යභට නිලධාරීන් හත් දෙනෙකු (07) වෙනුවෙන් පත්වීම් ලිපි පිරිනැමීම ද ඊයේ සිදු කෙරිණි.

    මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ප්‍රථමයෙන් ඔවුන් හ‍ට සිය සුභාශිංසන පිරිනමන ලද අතර, අලුතින් බඳවාගත් ශිෂ්‍යභට නිලධාරින් සඳහා අභිප්‍රේරණාත්මක දේශනයක් පවත්වමින් ඔවුන්ගේ නාවික දිවියේ ඉදිරි ගමන පිළිබඳව දැනුවත් කළේය. තමා නාවික හමුදාවට බැඳුණු අවස්ථාවේ තමන් මුහුණ දුන් අභියෝගාත්මක අත්දැකීම් ආවර්ජනය කරමින් නව නිලධාරීන්ට වඩාත් සුරක්‍ෂිත සහ ආරක්‍ෂිත මාවතකට මඟ පෑදූ පෙර පරම්පරාවල කැපකිරීම් අගය කළේය. ඔහු තම දේශනයේ දී වෘත්තීයභාවයේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කළ අතර, පුහුණුවන නිලධාරීන් පුහුණුවේ දුෂ්කරතා නොතකා, තම පුහුණු කාලසීමාව තුළ නොපසුබට උත්සාහයෙන් සහ දැඩි කැපවීමෙන් කටයුතු කළ යුතු බව අවධාරණය කළේය. තවද, ඔවුන් හට ඉදිරි දිනක නාවික හමුදාවට මඟ පෙන්වන නායකයින් වීමට සුභාශිංසන පතමින්, ඔවුන්ගේ භූමිකාවන්හි අරමුණ සහ වගකීම පිළිබඳ පැහැදිලි කළේය. 

    දෙමව්පියන් වශයෙන් ඔවුන්ගේ ජීවීතය සාර්ථක කර ගැනීම සඳහා මහඟු අවස්ථාවක් උදාකර දෙමින් තම දරුවන් නාවික හමුදාවට එක්කර දීම, ඔවුන්ගේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් ගත් බුද්ධිමත් තීරණයක් බවත්, මෙමඟින් දෙමව්පියන් තම ජාතික වගකීම ඉටුකල බවත් තමා තරයේ විශ්වාස කරන බව වැඩිදුරටත් අවධාරණය කරන ලදි.

    මෙම පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ ඇතුළු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා මූලස්ථානයේ හා බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නව පත්වීම් ලද නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya