සැප්තැම්බර් 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරාපිටිය ජාතික රෝහලේ ආරම්භ කර වැඩ අවසන් කරන ලද සංවර්ධන ව්‍යාපෘති සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

    අගෝස්තු 23, 2024

    වත්මන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත ජාතික රෝහලක් බවට පරිවර්තනය කරන ලද ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ වසරක පමණ කාලයක් පුරාවට සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ එම කටයුතුවල ප්‍රගති සමාලෝචනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය  අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අද(23) කරාපිටිය ජාතික රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත විය.

    මෙහි දී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා තමන් සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත්ව වසරක් පමණ වන ඉතා කෙටි කාලයක් තුල කරාපිටිය ජාතික රෝහල තුළ ක්‍රියාත්මක කර වැඩ අවසන් කරන ලද සියලු සංවර්ධන ව්‍යාපෘති වල වත්මන් තත්ත්වය නිරීක්ෂණය කළ අතර, දැනට ක්‍රියාත්මක සහ වැඩ අවසන් කර නොමැති සංවර්ධන ව්‍යාපෘතීන් ද නිරීක්ෂණය කරන ලදී.

    එම නිරීක්ෂණයේ දී පැවති යම් යම් අඩුපාඩු නිවැරදි කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලද අතර, ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීම සඳහා රෝහල වෙත පැමිණෙන සියලු රෝගීන්ට තදබදයකින් සහ මානසික පීඩනයකින් තොරව සිය ප්‍රතිකාර සේවාවන් පහසුවෙන් ලබා ගැනීමට අවශ්‍ය අවකාශය මෙම සංවර්ධන කටයුතු අවසන් වීමත් සමග ජනතාවට ලැබෙන බව ද පෙන්වා දෙන ලදී.

    නිරීක්ෂණයෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ඩී.යු.එම් රංග මහතා ඇතුළු රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවති අතර, මෙහි දී රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මඟපෙන්වීම සහ උපදෙස් මත පසුගිය වසරක කාලය ඇතුළත රෝහලේ පැවති විශාල අඩුපාඩු රැසක් යථාවත් කර ගැනීමට හැකි වූ බවත්, සංවර්ධන ව්‍යාපෘති රැසක් අවසන් කිරීමට හැකියාව ලැබුණ බවයි. එමෙන්ම රෝහලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු භෞතික සම්පත් රැසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත ලබා ගනිමින් රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට හැකියාව ලැබුණ බව ද පෙන්වා දෙන ලදී.

    මෙහිදී රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිය ගැටළු සහ නව අදහස් හා යෝජනා ද සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලද අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ, රෝහලට වෛද්‍ය උපකරණ ලබාගැනීම සඳහා ලබාදුන් මූල්‍ය ප්‍රතිපාදන මත නවීන තාක්ෂණයෙන් යුත්  CT Scanner යන්ත්‍රයක්, Ultrasound scanner යන්ත්‍රයක් ඇතුලු ඉහළ වටිනාකමකින් යුත් ප්‍රධාන වෛද්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් රෝහලට ලබාගැනීමට හැකි වූ බවත්, තවත් උපකරණ රාශියක් ඇනවුම් කර ඇති බවත්, ඉදිරියේ දී ඉතා කෙටි කාලයක් තුල එම උපකරණ රෝහල වෙත ලැබෙනු ඇති බවත් ය. 

    ඉහත උපකරණ ලැබීමත් සමග රෝහලේ විවිධ අංශ තුළ පැවති ගැටලු රැසක් නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබී ඇති බව ද පෙන්වා දෙන ලදි. රෝහලට විශාල අඩුපාඩුවක් පැවැති ශල්‍ය වෛද්‍ය සංකීර්ණය, දන්ත වෛද්‍ය සංකීර්ණය ඇතුලු සංවර්ධන කටයුතු කිහිපයක සම්පූර්ණයෙන් ම වැඩ ඇනහිට තිබූ බවත්, ඉහත වෛද්‍ය සංකීර්ණවල සංවර්ධන වැඩ කටයුතු මේ වනවිට ආරම්භ කර ක්‍රියාත්මක වෙමින් පවතින බවද පෙන්වා දෙන ලදී. රෝහල දැකුම්කලු සහ සිත් ගන්නා අයුරින් සංවර්ධනය කිරීමටද පියවර ගත් බවත්, හදිසි ප්‍රතිකාර ඒකකය නවීකරණය, පිළිකා ප්‍රතිකාර ඒකක ගොඩනැගිල්ල නවීකරණය, වෛද්‍ය නිල නිවාස නවීකරණය, බාහිර රෝගී අංශය සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීම සිදුකළ බවද එම අලුත් වැඩියා කිරීම් සඳහා රුපියල් මිලියන 500ක පමණ මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රතිපාදන මගින් ලබා දුන් බව ද පෙන්වා දෙන ලදී.

    කරාපිටිය ශික්ෂණ රෝහල ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක සහ දකුණු පළාතෙහි යාබද පළාත්වල රෝගීන් හට මාතෘ සත්කාර සේවා හැර දකුණු පළාතේ විශාලතම තෘතීයක සේවා සපයන ප්‍රධානතම සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන අතර, එකී පළාත්වල ප්‍රාථමික හා ද්විතීයික සෞඛ්‍ය සත්කාරක සේවා ආයතන මගින් විශේෂඥ සේවා සඳහා මෙම රෝහල වෙත රෝගීන් යොමු කරනු ලබයි. මෙම වසර අවසන් වන විට රෝහලෙහි ඇඳන් ධාරිතාවය ද 2,858 ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කිරිම මත එය කොළඹ ජාතික රෝහලට පමණක් දෙවැනි වන තෘතීයික සේවා සෞඛ්‍ය මධ්‍යස්ථානය බවට පත් වනු ඇත.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන දිනිප්‍රිය හේරත්,  ජනප්‍රිය කරුණාතිලක,  කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂ එස්.ඩී.යු.එම්.රංග, යන මහත්වරුන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya