සැප්තැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර නිල වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දෙයි

    සැප්තැම්බර් 12, 2024

    මහව සිට ඕමන්තය දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් දුම්රිය පැයට කිලෝ මීටර් 100 වඩා වැඩි වේගයකින් ධාවනය කිරීමට හැකි වන බවත් එහිදී යාපනයේ සිට කොළඹ ගමනාන්තයට ගත වූ පැය හතහමාරක කාලය පැය පහක්, පහමාරක් වැනි කාලයක් දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
    අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මහව සිට අනුරාධපුරය දක්වා වූ කිලෝ මීටර් 65ක දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර එය නිල වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට භාරදීමේ අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී අද (12) පෙරවරවේ එක්වෙමිනි.
    ව්‍යාපෘති අධ්‍යක්ෂ චින්තක ජයසේකර මහතා විසින් දුම්රිය සාමාන්‍යාධිකාරී (වැඩ බලන) කීර්ති හේවාපතිරණ මහතා වෙත ප්‍රතිසංස්කරණ අවසන් වූ ව්‍යාපෘතිය නිල වශයෙන් භාරදෙන ලදී.
    මෙම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මහව සිට ඕමන්තය දක්වා වූ දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 128ක් ප්‍රතිසංස්කරණය කළ අතර මීට පෙර අනුරාධපුර සිට ඕමන්තය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දිම සිදු විය. මෙම දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා වැය වූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 91කි.
    මෙයට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය ස්ථාන 7ක මාර්ග වැඩි දියුණු කළ අතර යාපනය, අනුරාධපුර, ගල්ගමුව, තඹුත්තේගම වැනි විශේෂිත ආර්ථික මරමස්ථාන සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ පහසුකම් සැලසෙනු ඇත.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා
    "උතුරු දුම්රිය මාර්ගය ආරම්භ කරලා තියෙන්නේ 1894 වර්ෂය දීයි. 1856 වර්ෂයේදී යාල දේවී සීගග්‍රාමි දුම්රිය ආරම්භ කරලා තියෙනවා. කොළඹ සිට කන්කසංතුරේ දක්වා දීර්ඝ කාලයක් මගී හා භාණ්ඩ ප්‍රවාහනයට විශාල සේවාවක් මේ මගින් බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ සිට ඉෂ්ට කර තියෙනවා. නමුත් අවාසනාවන්ත ලෙස ඇති වූ උතුරු යුදමය වාතාවරණය යටතේ 1986දී දුම්රිය මාර්ගය මුළුමනින්ම වසා දැමුණා. ඉන් පසුව යුද ගැටුම් නැතිවෙලා රටට සාමයේ උදා උනායින් පසුව ඉන්දියන් රජයේ පූර්ණ ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතුයි ටෙන්ඩරෙන් ලබා ගත් ඉරිකොන් සමාගම විසින්ම නිම කරනු ලැබුවා. 2014 වර්ෂයේ සිටියේ කොළඹ සිට යාපනයේ කන්කසන්තුරේ දක්වා දුම්රිය සේවාව ආරම්භ වුණා. මේ කාලය තුළදී දුම්රිය ධාවනය වීමට, යාපනයේ සිට කොළඹට ඒම සඳහා ගමන් කාලය පැය හතහමාරක් පමණ ගතවුණා. එයට ප්‍රධාන හේතුව වුණේ මහව සිට ඕමන්තේ දක්වා කිලෝ මීටර් 18ක පමණ ප්‍රමාණය ඉතාම දුර්වල තත්ත්වයක පැවතීමයි. වසර සියයකට වඩා වැඩි කාලයක් තුළ අලුත් වැඩියා නොකිරීමෙන් මහව සිට ඕමන්තේ දක්වා කොටස ඉතාම අබලං තත්ත්වයක පැවතීම. ඒ අවස්ථාවේදී මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘතියක් රාජ්‍ය ආදායම තුළ කිසිසේත් කළ නොහැකි නිසා ලංකා ආණ්ඩුවට ඉන්දීය ආණ්ඩුව සමඟ සාකච්ඡා කරලා ණය ගිවිසුමකට එලඹුණා, දුම්රිය ව්‍යාපෘතිය සඳහා. ඇමරිකානු ඩොලර් මිලියන තුනයි දශම එකයි අටක ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න රජය ගිවිසුම් අත්සන් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2014 දී තමයි ගිවිසුම අත්සන් කළේ. ඒ ණය ගිවිසුමෙන් මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 92ක් පමණ වැයකර මේ දවස්වල විනිමය අනුපාතය අනුව රුපියල් කෝටි 3000කට ආසන්න මුදලක් වැයවන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා 2018 වර්ෂයේ දී ටෙන්ඩර් කැඳවලා තියෙනවා. ඒ අවස්ථාවේ දී තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුව ආයතන තුනක් මේ ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වී තියෙනවා. ඒ අතරින් ‍ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ වඩා තරගකාරී ලංසුකරු ලෙස ඉන්දියානු රජයේ සමාගමක් වන ඉර්කොන් (IRCON) සමාගමට මේ කොන්ත්‍රාත්තුව ප්‍රධානය කරනු ලැබුවා 2019 දී. ඊට පසුව මම මේ අමාත්‍යාංශයේ වගකීම් භාරගන්න විට මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නතර වෙලා තිබුණා විවිධ හේතූන් නිසා.
    2023 වර්ෂය ආරම්භ වන විට මම මේ සම්බන්ධයෙන් අමාත්‍යංශයේ ලේකම්වරයාත් එවකට දුම්රිය සාමාන්‍යධිකාරිවරයාත් සමග ඉන්දියානු තානාපතිතුමා හමුවී මේ කෙසේ හෝ ආරම්භ කරන්න අවශ්‍ය වෙනවා. එසේ නැතිවුනොත් දැනට අවුරුදු හතරක් නතර වී තියෙන ව්‍යාපෘතිය කිරීමට නොහැකි වන බව පැවසුවා. ඉන්දියානු තානාපතිතුමා විශාල උනන්දුවකින් අපේ ඉල්ලීම මත අනුරාධපුර සිට ඕමන්තේ දක්වා කොටස ආරම්භ කිරීමට එකඟ වෙලා එතුමාගේ ප්‍රධානත්වයෙන් 2023 දී ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරලා ජුලි මාසය එවන විට අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වා කොටස ජනතා අයිතියට පත් කිරීමට හැකි වුණා. ඊට පසුව අනුරාධපුරයේ සිට මහව දක්වා කොටස ආරම්භ කර ඒ කොටස ඉතාම හොඳින් නිම කරලා තියෙනවා. ඒ කාලය තුළ මහාව සිට අනුරාධපුරය දක්වා සංඥා පද්ධතියක් සඳහා ගිවිසුම අත්සන් කරත් විදේශ ණය ප්‍රතිව්‍යුහ ගතකරන අවසන් වන තෙක් එය ලබා ගැනීමට නොහැකි වීම නිසා ව්‍යාපෘතිය කිරීමට නොහැකි වුණා.
    මම ගිය සතියේ පැවතුන කැබිනට් මණ්ඩලයේදී එම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රුපියල් වලින් ඇතිවන ගිවිසුමක් ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තා. ඒ නිසා මහාව සිට අනුරාධපුරය දක්වා වඩා කාර්යක්ෂම සංඥා පද්ධතියක් ඇතිකර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. ඉන් ඉක්බිතිව අපට පැය හත හමාරක් ගිය යාපනයේ සිට කොළඹට එන ගමන පැය පහක්, පහ මාරකින් කරන්න පුළුවන්. පැයට කිලෝමීටර් සීයකට වඩා වැඩි වේගයකින් ධාවනය කරන වඩා ඵලදායි කාර්යයක් සම දුම්රිය සේවාවක් ලැබෙන නිසා. ඒ නිසා එය රටක් වශයෙන් ලොකු ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා රටට උදව් කළ අපේ දීර්ඝ කාලීන මිත්‍රයෙක් වන ඉන්දියානු රජයටත් මෝදී අගමැතිතුමා, ඉන්දියානු තානාපතිතුමා ඇතුළු ඒ සඳහා දායක වූ දෙනාටම විෂය භාර ඇමතිවරයා වශයෙන්ම මාගේ ගෞරවයත් ස්තුතිය පුද කරනවා" යයි වැඩිදුරටත් පැවසීය.
    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් Shurab Shablok මහතා, IRCON ආයතනයේ මෙරට නියෝජිත Guru Chadchan මහතා, දුම්රිය සාමාන්‍යධිකාරි (වැඩ බලන) කීර්ති හේවාවිතාරණ මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂක චින්තක ජයසේකර මහතා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ හා දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් මේ අවස්ථාවට එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya