මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා මාර්ග කිලෝමීටර 1,500 ක් ප්‍රතිසැකසීමේ ව්‍යාපෘතිය අද ඇරඹෙයි

    පෙබරවාරි 29, 2024

    රුපියල් කෝටි දෙදහසක වියදමින් රට පුරා මාර්ග කිලෝමීටර 1,500 ක් ප්‍රතිසැකසීමේ ව්‍යාපෘතිය සමාරම්භ කරමින් කහතුඩුව වෙනිවැල්කොළ පාසල් මාවතේ සංවර්ධන කටයුතු ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) ආරම්භ විය.

    පසුගිය වසර කිහිපයක් තුළ කොවිඩ් – 19 වසංතය නිසාත් ආර්ථික අර්බුදය නිසාත් මෙරට මාර්ග පද්ධතිය බරපතළ ලෙස අබලන් වී තිබීම සහ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සිදු වූ නායයෑම් හා ගංවතුර තත්ත්වයන් නිසා විනාශ වූ මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමත් මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

    අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ජාතික ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කිලෝමීටර 500ක ප්‍රතිසැකසීමේ කටයුතු මෙලෙස ආරම්භ වූ අතර,  මාර්තු 16 වැනිදා  එහි දෙවැනි අදියර ලෙස තවත්  කිලෝමීටර 500ක්‌ හා අප්‍රේල් 02 වැනිදා තෙවැනි අදියර ලෙස තවත් කිලෝමීටර 500ක්‌ කාපට් යොදා ප්‍රතිසැකසුම් කිරීමේ කටයුතු ඇරඹීමට නියමිත වේ.

     මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    "දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම යාමට ඒමට පවා නොහැකිව අම්බලන්ව, සංවර්ධනය ඇනහිට පැවති මංමාවත් කිලෝමීටර් 1500ක් ප්‍රති සැකසුම් කිරීම ආරම්භ කිරීම ඉතාමත් වැදගත් අවස්ථාවක්. දිවයිනේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සෑම ප්‍රදේශයකම එකම වේලාවකට අද (29) දවසේ මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ වනවා.

    දේශපාලන වෛරයන් මත විවිධ ප්‍රකාශයන් සිදු කරන්නට හැකියාව තිබුණත් තමන් මුහුණ දෙන ගැටලු  පුද්ගලිකව විසඳා ගැනීමට සියලු දෙනාටම හැකියාවක් නැහැ. රටේ දරුවන්ගේ දෑස් පෑදීම සඳහා, පාසල් පද්ධතිය පවත්වාගෙන යමින් ඔවුන්ගේ හෙට දවස නිර්මාණය කරන වගකීම රජය ඉටු කළ යුතුයි. ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම්, ජලය විදුලිය, මං මාවත් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුයි. එම සියලු කටයුතු උදෙසා දේශීය හා විදේශීය වශයෙන් ණය ලබාගැනීමට සෑම රජයකටම සිදුවනවා.

    එලෙස දීර්ඝ කාලයක් තිස්සේ ලබාගත් ණය නැවත ගෙවීම සඳහා ප්‍රමාණවත් ආදායමක් වසර හයකදී හැර  කිසිදු අවස්ථාවක කිසිදු රජයකට පැවතී නැහැ. රජයකට එදිනෙදා පවත්වාගෙන යෑම උදෙසා රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි, අස්වැසුම ඇතුළු සහනාධාර, මීට පෙර ලබාගත් ණය සඳහා වාරික සහ පොලී, ඇතුළු වියදම් දැරීම සඳහා ප්‍රමාණවත් ආදායමක් කිසිදු රජයකට ලැබී නැහැ. රජයට ලැබෙන බදු ආදායම වැටුප් සහ විශ්‍රාම වැටුප්, සහනාධාර ගෙවීමෙන් අනතුරුව අවසන් වනවා.

    මෙම සැබෑ තත්වය පිළිබඳව බලය ලබා ගැනීමට බලාපොරොත්තු වන කිසිදු දේශපාලන නායකයකු රටට ප්‍රකාශ කරන්නේ නැහැ. මෙහි සැබෑ තත්වය පිළිබඳව ජනතාව තේරුම් ගතහොත් තමන්ට දේශපාලන වශයෙන් අවාසි සිදුවිය හැකි නිසා ඔවුන් එය රටට ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් පුරවැසියන් ලෙස අප සියලු දෙනාම මේ තත්ත්වය අවබෝධ කරගත යුතුයි. පසුගිය වසර තුළද රජය ට්‍රිලියන 10ක මුදලක් දේශීය වශයෙන් ණය ලෙස ලබාගෙන තිබෙනවා.

    ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කරගන්නා තුරු ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව ඇතුළු කිසිදු ආයතනයක් හෝ විදේශයේ රටක් ශ්‍රී ලංකාවට නැවත ණය ලබා දෙන්නේ නැහැ. මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ජනාධිපතිතුමා ඇතුළු රජය ලෝකයේ සියලුම රාජ්‍ය නායකයින් සමඟ සාකච්ඡා පවත්වමින්, විශේෂඥයින්ගේ උපදෙස් ලබා ගනිමින් මෙලෙස ගෙවීමට නියමිත ණය නැවත ගෙවීම පිළිබඳ ගිවිසුමේ අවසන් අදියරට පැමිණ තිබෙනවා. ඒ අනුව අදියර කීපයක් යටතේ තවත් වසර 25 ක පමණ කාලයක් ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 36ක පමණ මේ ණය ගෙවීමේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් සඳහා ශ්‍රී ලංකාව එකඟතාවය පළ කර තිබෙනවා.

    මෙම එකඟතාවයන් උල්ලංඝනය කළ හොත් ඉන්ධන, ගෑස්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය,ඖෂධ ඇතුළු කිසිවක් රටට ගෙන ඒමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලෝකයේ කිසිඳු රටක් අපව පිළිගන්නේ නැහැ. එම නිසා කවුරුන් ආණ්ඩු බලය හිමි කරගත්තත් මේ වැඩපිළිවෙළ සඳහා ජාතික එකඟතාවයක් ඇති කරගත යුතුයි.

    මෙම මාර්ගවල පවතින දැඩි අබලන් තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් ඒ ජනාධිපතිවරයා විසින් මෙවර අයවැය ප්‍රතිපාදන යටතේ මාර්ග කිලෝමීටර් 1500ක් ප්‍රතිසැකසුම් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරදී තිබෙනවා. ලෝක බැංකුවට මෙම මාර්ගවලින් කොටසක් ප්‍රතිසංස්කරණය සඳහා ලබා දී තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවට කොටසක් භාරදී තිබෙනවා. සෞදි සංවර්ධන අරමුදලින්ද අප සහයෝගය ඉල්ලා තිබෙනවා. ඒ අනුව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ තුමිය විසින් මාර්තු මාසයේදී වොෂින්ටන් නුවර පැවැත්වෙන විශේෂ සමුළුවකට සහභාගී වන ලෙස මා හට ආරාධනා කර තිබෙනවා. එම සමුළුවලදී රටක් වශයෙන් අප මේ පොරොන්දු ලබා දෙනවා.

    රට මුහුණ දී ඇති මේ බරපතල තත්ත්වය පිළිබඳව සත්‍යය දරුවන් ඇතුළු සමාජයට අප පැහැදිලි කර දිය යුතුයි. ඒ සඳහා පවතින විසඳුම වන්නේ සියලු දෙනා එක්ව වැඩි වැඩියෙන් රට වෙනුවෙන් වැඩ කිරීමයි. ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරන ලද ක්‍රමවේදය එයයි. එසේ නොකළ ග්‍රීසිය, ඇෆ්ඝනිස්ථානය එවැනි රටවල් වලට අත් වූ ඉරණම අපේ රටට අත්වීම වළක්වා ගැනීම සඳහා අප සියලු දෙනා එක් විය යුතුයි. ඒ සඳහා අප ජනතා සහභාගිත්ව සංවර්ධනයක් ඇති කරගත යුතුයි."

    දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපතිවරුන් විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ඇත.

    අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු මෙම සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රධානව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රද්ධා වීරකෝන් මහතා, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී චින්තක මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරු, ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, ප්‍රදේශවාසින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya