ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරාපිටිය රෝහලේ උපකරණ සහ ගොඩනැගිලි සදහා රුපියල් කෝටි 200 ක මුල්‍ය ප්‍රතිපාදන

    පෙබරවාරි 12, 2024

    ජාතික රෝහලට පසු වැඩිම ඇදන් සහිත රෝහල බවට කරාපිටිය රෝහල පත් කරන බවත්, 2024 වසරේ උපකරණ සහ ගොඩනැගිලි සදහා රුපියල් කෝටි 200 ක මුල්‍ය ප්‍රතිපාදන ලබා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

    සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ කරාපිටිය වකුගඩු ආරක්ෂණ සංගමයේ 11 වන සංවත්සරික උත්සවයට සහභාගි වෙමිනි. මෙම උත්සවය ඊයේ  (11) ගාල්ල වාණිජ  හා කර්මාන්ත මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරාපිටිය රෝහලේ උපකරණ සහ ගොඩනැගිලි සදහා මේ වසරේ රුපියල් කෝටි 100 බැගින් කෝටි 200 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබෙන බවයි. එමෙන්ම මේ වසරෙන් පසු කරාපිටිය රෝහලේ කිසිම රෝගියෙකුට ඇදක් නොමැතිව සීටීමට ඉඩ නොතබන බවත්, අවශ්‍ය සියළු ඇඳන් ලබා දී ජාතික රෝහලට පසු වැඩිම ඇඳන් සහිත රෝහල බවට කරාපිටිය රෝහල  පත් කිරිමට පියවර ගන්නා බව ද පැවැසීය.

    රජයේ ගොඩනැගිලි හැදෙන්න විශාල කාලයක් ගිය ද කරාපිටියේ වකුගඩු ඒකකයේ කටයුතු ඉතා කෙටි කාලයකින් වඩාත් හොදින් සිදුකර ගැනීමට හැකියාව ලැබුන බවත්, තිබෙන අඩුපාඩු සියල්ලටම අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන 2024 වසරේ ලබාදී තිබෙන බව ද පැවැසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමත්‍යවරයා - “කරාපිටිය රෝහලේ  මහල් 10 කින් යුත් ශල්‍ය එ්කක ගොඩනැගිල්ලේ වැඩ නතර වෙලා දැනට වසර 03 යි. මෙහි වැඩකටයුතු  සම්පූර්ණ කිරීමට ඉදිරි ඇස්තමේන්තුව මිලියන 600 ක්. එම මුදල මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයට ලබාදීලා ඊට අදාල කොන්ත්‍රාත්තුවත් ගිය සතියේ කැබිනට් තීන්දුවක් මගින් බාරදී අවසන්.දන්ත ශල්‍ය එ්කකය අවසන් කරන්න මිලියන 300 ක් යනවා ඒ මිලියන 300 ත් මේ වසරේ ලබාදී තිබෙනවා. ආඝාත ඒ්කකයේ වැඩ අවසන් කරන්න මුදල් ලබාදී තිබෙනවා. සමස්ත රෝහලේ නවීකරණය සහ තීන්ත අලේප කටයුතු සදහා මුදල් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මහාචාර්ය ඒකකයට ලබාදී තිබෙන ප්‍රතිපාදන කිඩිනම් කර මහාචාර්ය ඒකකයත් මේ වසරේ අවසන් කරනවා.”

    “අළුතින් මිලියන 230 හෘද කැතීටකරණ එ්කකයක්, කැත්ලැබි එකක්, MRI Scanner යන්ත්‍රයක්, CT Scanner යන්ත්‍රයක් වැනි මේ උපකරණ සියල්ලම ඇණවුම් කර අවසන්. දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය රෝහලකටම ලක්ෂ 30 බැගින් ලබාදී තිබෙනවා. සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකටම ලක්ෂ 30 බැගින් ලබාදී තිබෙනවා. දිස්ත්‍රික් රෝහල් සියල්ලටම  ලක්ෂ 30 බැගින් ලබාදී තිබෙනවා.  බලපිටිය හා ඇල්පිටිය රෝහල් වලට රුපියල් කෝටි 10 බැගින් රුපියල් කෝටි 20 ක් ලබාදී තිබෙනවා.” උඩුගම රෝහලට රුපියල් කෝටි 08 ක් ලබා දී තිබෙන බව ද පැවැසීය.  

    2013 වසරේ පෙබරවාරි 04 දින කරාපිටිය වකුගඩු ආරක්ෂණ සංගමය පිහිටුවා ඇති අතර, වකුගඩු රෝගීන්ගේ ජීවිතය සුරැකීමට ඔබත් දායකවන්න (Lend a Hand to save the life of kidney Patients) යන්න තේමා කර ගනිමින් ජීවිතය යදින වකුගඩු රෝගීන්ගේ ජිවිත සුරකීමට හා නගාසිටුවීමට එම සංගමය කටයුතු කරනු ලබයි. කරාපිටිය රෝහලේ ප්‍රථම වකුගඩු සැත්කම 2012 වසරේ නොවැම්බර් මස සිදු කර ඇති අතර, ඉන් අනතුරුව මෙම සංගමය පිහිටුවා කරාපිටිය රෝහලේ මහල් 09 කින් යුත් වකුගඩු ප්‍රතිකාර එ්කකයක් පිහිටුවීමට පියවර ගෙන ඇත.

    මෙහිදී වකුගඩු රෝගී පවුල්වල දරුවන්ට රුපියල් 10,000 ක් පමණ වටිනා පාසල් උපකරණ ලබාදීම, පරිත්‍යාගශීලින් ඇගයීම සහ කරාපිටිය වකුගඩු ආරක්ෂණ සංගමයේ නිලධාරීන් ඇගයීමට ලක් කර සමරුඵලක ලබාදීමට සහ සංගමයේ  නිල තේමා ගීතය එළිදැක්වීම ද සිදුවිය.

    සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සිදු කරන ලද මහජන සේවාව අගයමින් වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා විසින් විශේෂ තිළිණයක් ලබාදීම ද මෙහිදී සිදුවිය.

    මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, නියෝජ්‍ය පොලිස්පති, මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ නිහාල් තල්දූව, දකුණු පළාත් යුධ හමුදා ආඥාපති මේජර් ජනරාල් ජනක  රණසිංහ, රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අංශාධිපති මහාචාර්ය ලංකා දසනායක, කරාපිටිය රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා, කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හර්ෂනී උබේසේකර, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් ක්‍රිෂාන්ත මහේන්ද්‍ර, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ, කරාපිටිය වකුගඩු ආරක්ෂණ සංගමයේ සභාපති කරුණාදාස වීරරත්න, වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව  යන මහත්ම මහත්මින් සහ වකුගඩු රෝගීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya