ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික් මහ රෝහලට රුපියල් මිලියන 100 ක නවීන තාක්ෂණික විශේෂිත ඩිජිටල් X-ray පරීක්ෂණ යන්ත්‍රයක්

    දෙසැම්බර් 05, 2023

    ලබන සතියේ සිට රෝගී ප්‍රතිකාර සේවා සදහා යොදා ගැනීමට සියළු කටයුතු සුදානම්.

    මාතර දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත කර ඇති රුපියල් මිලියන 100 ක පමණ වටිනාකමකින් යුතු නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත ඩිජිටල් X-ray පරීක්ෂණ යන්ත්‍රය (Optima TM XR646 HD) ලබන සතියේ සිට රෝගී ප්‍රතිකාර සේවා සදහා එක් කිරීමට නියමිතය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ලබාදී ඇති මෙම X-ray පරීක්ෂණ යන්ත්‍රය දකුණු පළාතටම ඇති එකම නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත X-ray පරීක්ෂණ යන්ත්‍රය වේ. මෙම X-ray පරීක්ෂණ යන්ත්‍රය රෝහලේ ස්ථාපිත කර සතියක පමණ කාලයක් වන අතර, මේ වනවිට යන්ත්‍රයට මෘදුකාංග ඇතුලත් කිරිම ඇතුලු මුලික පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතී.

    මාතර දිස්ත්‍රික් මහ රෝහල සහ මාතර කඹූරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහලෙන් ලබාදෙන රෝගී ප්‍රතිකාර සේවාවන් සහ රෝහලේ මානව හා භෞතික සම්පත් හි පවතින ගැටළු සොයාබලා කඩිනම් විසදුම් ලබාදීම අරමුණු කරගනිමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ (03) එම රෝහල්වල විශේෂ නිරීක්ෂණයක නිරත විය. එහිදී මෙම නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත X-ray පරීක්ෂණ යන්ත්‍රය සහ එහි මූලික පරික්ෂණ කටයුතු සෞඛ්‍ය ලේකම්වරයාගේ පරීක්ෂාවට ලක්විය.

    විශේෂිත වූ X-ray පරීක්ෂණ සදහා මෙම යන්ත්‍රය යොදා ගැනෙන අතර, සාමාන්‍ය X-ray පරීක්ෂණ සදහා ද මෙම යන්ත්‍රය භාවිත කළ හැක. සාමාන්‍ය X-ray යන්ත්‍රයකින් ලබාගන්නා වාර්තාවකට වඩා මෙම යන්ත්‍රය මගින් වැඩි කාලයක් ලබාගෙන මූළු ශරීරයම ආවරණය වන පරිදි X-ray පරීක්ෂණ වාර්තා ලබාගත හැක. X-ray පරීක්ෂණ සිදු කිරීමේ දී මිනිස් සිරුරට ඇතුලත් කෙරෙන විකිරණ ප්‍රමාණය ඉතා අවම වන අතර, රෝග නිර්ණයට අදාල නිවැරදීම තොරතුරු ලබාගැනීම සදහා වන නවීනතම තාක්ෂණික පහසුකම් වලින් මෙන්ම ස්වසන රෝග හදුනා ගැනීම සදහා වන විශේෂිත වූ මාදුකාංග වලින් මෙම X-ray යන්ත්‍රය සමන්විත වේ. විකලාංග සහ ස්වසන රෝගීන් සදහා ප්‍රධාන වශයෙන් මෙම යන්ත්‍රය යොදා ගැනීමට නියමිතය.

    මාතර දිස්ත්‍රික් මහ රෝහලට X-ray පරීක්ෂණ සේවා ලබාගැනීමට දෛනිකව රෝගීන් 150 ක් 200 ක ප්‍රමණයක් පැමිණෙන බවත්, මෙම යන්ත්‍රය මගින් දිනකට රෝගීන් 100 ඉක්මවා X-ray වාර්තා ලබාදීමට හැකි වනු ඇති බව රෝහල් නිලධාරීන් මෙහිදී සෞඛ්‍ය ලේකම්වරයාට පෙන්වා දෙන ලදි.

    සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මාතර දිස්ත්‍රික් මහ රෝහලේ සාමාන්‍ය රෝගී වාට්ටු, බාහිර රෝගී අංශය, අපද්‍රව්‍ය කළමණාකරණ ඒකකය, නඩත්තු අංශය, මාතෘ ඒකකය, සැළසුම් සහ සංවර්ධන අංශය, ඇතුලු අංශ රැසක් සහ මාතර කඹූරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහලේ ළදරු දැඩිසත්කාර ඒකකය, නොමේරු ළදරු ඒකකය, මව් ළදරු ඒකකය, නව ජන්ම ඒකකය, මාතර බෝධි ආරක්ෂණ සභාව ඉදිකරන ලද “අපේක්ෂා පියස” නිරීක්ෂණයට ලක් කළ අතර, රෝහලේ සියළු අංශ නියෝජනය වන පරිදි රෝහල් කාර්ය මණ්ඩලය සමග දැනට පවතින ගැටළු හදුනාගැනීම සහ විසදුම් ලබාදීමට විශේෂ සාකච්ඡාවක් ද පවත්වන ලදි.

    මෙහිදී සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ මාතර දිස්ත්‍රික් මහ රෝහල විශාල සේවාවක් සපයන සහ ජනතා ප්‍රසාදය හිමිකරගත් රෝහලක් බවයි. රෝහල නගා සිටුවීමට සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහයෝගය අවශ්‍ය බවත්, නඩත්තු අංශය වැඩිදියුණූ කිරීමට සහ රෝහලේ වන හදිසි ගැටළු කඩිනමින් විසදීමට පියවර ගන්නා බව ද පැවැසූ අතර, මාතර කඹූරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහලේ කාර්ය මණ්ඩල ප්‍රවාහන සේවාවන් පිළිබදව ද අවධානය යොමු විය.

    මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය උපාලි රත්නායක, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya