මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් වංචාවන් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන්නැයි උපදෙස් 

    ජූලි 18, 2023

    නිවාස ණය මුදල් පුද්ගලික පරිහරණයට යොදාත් හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිළධාරීන් දෙදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

    නිවාස ණය මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති කුරුණෑගල, ගාල්ල, මහනුවර දිස්ත්‍රික් කාර්යාලවල සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිළධාරීන් තිදෙනෙකු සහ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථිර සේවකයකු සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසයි.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ දැනටමත් නිවාස ණය මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථීර සේවයේ නියුතු සේවකයන් සිව් දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බවයි. ඔවුන් සම්බන්ධයෙන් කලුතර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශණ ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

    දැනට වාර්තාවී ඇති තොරතුරුවලට අනුව මෙම සේවකයන් පිරිස චංචාකර ඇති මුදල රුපියල් ලක්ෂ 78කට අධිකය. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ ඉදිරි විමර්ශණ අනුව මෙම මුදල තවත් වැඩිවිය හැකි බවයි.

    අදාළ මුදල් වංචාවන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමත් සමඟම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙන්නේ මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් විමර්ශණ සිදුකර කඩිනමින් තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසය.

    පසුගිය සමයේදී නිවාස ණය මුදල් අයකර ගැනීමේ කටයුතු බොහෝ සෙයින් අඩාලවී තිබුණි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යධූරයට පත්වීමත් සමඟම ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේ නිවාස ණය මුදල් අයකර ගැනීම වේඟවත් කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකසන ලෙසයි.

    ඒ අනුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගිය වසරේ අගෝස්තු මාසයේදී සියලුම දිස්ත්‍රික් කළමණාකරුවන් කැඳවා ඔවුන්ට මාසකට රුපියල් මිලියන 300 ණය මුදල් අයකර ගැනීමේ ඉලක්කයක් ලබා දුන්නේය.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ තම අමාත්‍යංශය යටතේ ඇති සියලුම ආයතන සම්බන්ධයෙන් විගණනයක් ආරම්භ කර ඇති බවයි. ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිදුව ඇති වංචා සම්බන්ධයෙන්ද පුළුල් විමර්ෂණ ක්‍රියාත්මක කර තිබේ. එම විමර්ශණයෙන් හෙළිදරව්වන සියලුම වැරදිකරුවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද අමාත්‍යවරයා පවසයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි කේ.ඒ ජානක මහතා මෙසේ පැවසීය.

    “ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අයකිරීම් වැඩසටහනේදී පුද්ගලයන්ට ලබා දෙන ණය නැවත අයකිරීමේදී ප්‍රතිලාභීන් විසින් අපේ අධිකාරියට ගෙවනු ලබන මුදල් නිසි ලෙස ගිණුම් ගත නොකර අයකිරීම් කරනු නිළධාරීන් විසින් ඒවා වංචා කරලා තියෙනවා කියලා පසුගිය කාලයේ මාධ්‍ය හරහා දිගින් දිගටම වාර්තා වුණා. ඒක ඇත්තටම සිදු වී තිබෙනවා. මේ ගැන වහාම ක්‍රියාත්මක වෙන්න කියලා ප්‍රසන්න රණතුංග ඇමතිතුමා අපේ සභාපතිතුමාට උපදෙස් දීලා

    තිබුණා. මෙම තත්වය දිගින් දිගටම සිදු වීම ජනතාවට කරන අසාධාරණයක් වගේම එය අපේ ආයතනය ගැන ජනතාවට තිබෙන විශ්වාසය පළදුවීමක්. ඒ නිසා සභාපතිතුමා අපට උපදෙස් දුන්නා මේ ගැන වහාම ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒ අනුව අක්‍රීය වී තිබු වැඩසටහනක් අපි සක්‍රීය කළා. ප්‍රතිලාභීන්ට ලියුම් දාලා හම්බ වුනු ගණන පිළිබදව විමසීමේ ක්‍රිමවේදයක් අපේ තිබුණා. මේක ක්‍රමයෙන් අක්‍රීය වීමකට ලක්වුණා. අපි නැවත මේක ආරම්භ කරලා ණය ලාභීන්ගෙන් ඒ ගැන විමසන විට අපිට හෙළි වුණා, රාජ්‍ය මුදල් වංචාවක් සිදු වී තිබෙනවා කියලා.

    දළ වශයෙන් මීට සම්බන්ධ හම්බන්තොට 03 දෙනෙක්, කුරුනෑගල 01 ක්, ගාල්ල 01 ක්, පුත්තලම 01 ක්, මහනුවර 01 ක් සහ කළුතර 04 දෙනෙක් වශයෙන් පුද්ගලයින් 11 දෙනෙක් අපි හදුනාගෙන තිබෙනවා. මෙම වංචාවේ සම්පූර්ණ වටිනාකම දළ වශයෙන් රුපියල් ලක්ෂ 78 කට ආසන්නයි. මෙම තත්වය ඉතාම භයානය දෙයක්. මේ අයට නිසි දඩුවම් ලබා දෙන්න කියලා ප්‍රසන්න රණතුංග ඇමතිතුමා සහ අපේ සභාපතිතුමා අපිට උපදෙස් දුන්නා. හම්බන්තොට දෙදෙනෙක් දැනට අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ වගේම අනික් කෙනා වංචා කළ මුදල සම්පූර්ණයෙන්ම ගිණුමට බැර කර ගත්තා. ඒ වුණත් ඔහුට විරුද්ධවත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා රාජ්‍ය මුදල් නිසා. ඒ වගේම කුරුණෑගල, මහනුවර, පුත්තලම සිද්ධීන් ගැන පොලිස් පරීක්ෂණ සිදු කරනවා ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා. ලොකුම වංචාව වෙලා තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ. එම මුදල් වංචාවේ ප්‍රමාණය ලක්ෂ 38 ක් පමණ වෙනවා.. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සි.අයි.ඩි එකෙන් සිදු කරනවා. දිගටම අපි මෙම වැඩසටහන සිදු කරනවා.

    සාමාන්‍යාධිකාරීවරයා ලෙස මා පොරොන්දු වෙනවා, අසාධාරණයට ලක්වු ජනතාවට හානියක් නොවන ලෙස අදාළ මුදල් වංචාකළ අයගෙන්ම අයකරගෙන ජනතාව ණය අපිට ලබා දුන්නා සේ සලකා ඉදිරි කටයුතු සිදු කරනවා.

    ප්‍රසන්න රණතුංග ඇමතිතුමා අපේ අමාත්‍යංශය භාර ගන්න විට රුපියල් මිලියන 154 ක වගේ අඩු අයකිරීම් මට්ටමක අපි හිටියේ. ඒ මට්ටමේ සිට දැන් ආසන්න වශයෙන් මිලියන 300 මට්ටමකට අපි පැමිණ තිබෙනවා. නිතරම ඒ ගැන පසුවිපරම් කරනවා. ණය අයකිරීම් නියෝජිතයින් මෙහෙයවීමකට ලක් කරනවා. ඒ වගේම අප අයකර ගන්න ණය ටික විදිමත් ලෙස ගිණුම් ගත කරගන්න අවශ්‍ය කටයුතුති මේවන විටත් සිදු කරගෙන යනවා. මේ සදහා අපේ ඇමතිතුමා ආපෙන් නිතරම විමසීම් කරනවා. පසුවිපරම් කටයුතු සිදු කරනවා. මේ කටයුතු ඉදිරියටත් අපි අඛණ්ඩව සිදු කරනු ලබනවා.” යැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya